සෙනෙටර් විලියම්ස් ලණුව ගිලියි | දිනමිණ

සෙනෙටර් විලියම්ස් ලණුව ගිලියි

වෙයින්බර්ග් එදින සවසම එෆ්.බී.අයි. අධීක්ෂණ නිලධාරි ජෝන් ගුඩ් හමුවන්නට ගියේ කේන්තියෙන් දුම් දමමිනි. එදින උදෑසන නගරාධිපති එරිචෙට්ටිගෙන් අසන්නට ලැබුණු අසුබ ආරංචිය නිසා හටගත් කම්පනය වෙයින්බර්ග් වෙතින් පලාගොස් තිබුණේ ද නැත. ඔහු තම කේන්තිය පිටකර දැම්මේ අසරණ ගුඩ් මතිනි. වරද සිදුව ඇත්තේ බියුරෝවේ නොසැලකිලිමත්කම හේතුවෙන් නිසා වෙයින්බර්ග්ට එරෙහිව කිසිවක් කීමට ගුඩ්ට හැකියාවක් තිබුණේ නැත. ඔහු ඉවසීමෙන් රුදුරු වාග් ප්‍රහාරය දරා සිටියේ, වෙයින්බර්ග්ගේ කෝපය සාධාරණ නිසාය. කෝපය නිවෙන තුරු කියවන්නට වෙයින්බර්ග්ට ඉඩ හැර බියුරෝව වෙනුවෙන් ගුඩ් සිය කණගාටුව ප්‍රකාශ කළේය.

“මෙල්, ඔයා කියන හැම දෙයක්ම ඇත්ත. ඒත් මට ඒක වළක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කොටින්ම මියාමි බියුරෝ එක එදා පාටියට ඔත්තුකාරයෙක් එව්වා කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. මම එහෙම දෙයක් දැනන් හිටියා නම් කොහෙත්ම ඉඩ දෙන්නෙ නැහැ. ඒ වගේම මියාමි කට්ටියට මට හොරෙන් වැඩ කරන්නෙ නැහැ කියලාත් මම දන්නවා. අපේ සන්නිවේදන ජාලයේ පොඩි අවුලක් හින්දා එයාලාට මට ඒ ගැන දන්වන්න බැරිවෙලා.“

“ඔය කෙහෙම්මල් සන්නිවේදනේ. හැමදාම අවුල්නේ. මාර්ගෝගේ ෆොටෝ ලීක් වෙච්ච ජරමරේ බිල් රොසෙන්බර්ග් දැකලා වෙන්න ගිය හුටපටේ යාන්තම් බේරගෙන හුස්ම ගන්නවත් හම්බවුණේ නැහැ, දැන් මේ මරාලේ කඩන්වැටුණා. අපි මේ වැඩ කරන්නේ එෆ්.බී.අයි. එකත් එක්කද නැත්නම් දෙකේ පන්තියේ නොදරුවෝ ටිකක් එක්කද ?“

වෙයින්බර්ග්ගේ අපහාසාත්මක වදන් හමුවේ වුවද ගුඩ් වෙතින් පළවුණේ කෝපයක් නොව විඩාබර බවකි. මුලු කාලය පුරාවටම ඇබ්ස්කැම් නිසා ඔහු බියුරෝව සමඟ බරපතළ අරගලයක් කර තිබිණි. ඇබ්ස්කැම් වෙනුවෙන් ඔහු මුලු බියුරෝවම පරදූවට තැබුවේය. වොෂින්ටනයේ එෆ්.බී.අයි. මූලස්ථානයේ ඉහළම පුටු සමඟ සෘජුවම සන්නිවේදනය කිරීමට අවශ්‍ය බව එකහෙළා කියමින් ඇබ්ස්කැම් වෙනුවෙන් මහත් පෙරළියක් කළේය. නමුත් තමාගේ පාලනයකින් තොරව මෙවැනි බරපතළ අතපසුවීම් තවමත් සිදුවෙමින් තිබේ.

“මෙල්, මේ අහන්න. දැනට නීතිය ක්‍රියාත්මක කරන්න ඇමරිකාවේ තියෙන හොඳම ආයතනය එෆ්.බී.අයි. එක. අනික ඇබ්ස්කැම් කියන්නේ ටී.වී. ෂෝ එකක් නෙවෙයි. ඒවායේ කාගේවත් අතින් කවදාවත් කිසිම වැරැද්දක් වෙන්නේ නැහැ. ගේමක් නැතුව අපරාධකාරයෝ කොටුවෙනවා. බියුරෝ එක කියන්නේ ඇත්තම ලෝකේ පයගහලා තියෙන දෙයක්. ඒකේ ඉන්නෙත් සාමාන්‍ය මිනිස්සු. ඉතින් එයාලටත් වැරදි සිද්ධ වෙනවා. හැබැයි කලාතුරකින්. මෙහෙම දෙයක් ආයේ වෙන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙනවා.“

ගුඩ් කතාකරන නිවුණු, සෞම්‍ය විලාශය දෙස වෙයින්බර්ග් බලා සිටියේ මීට පෙර ඉතාම කලාතුරකින් තමාට දැනුණු හැඟීමකින් හිත පිරී යද්දීය. ඒ නම් ගුඩ් කෙරෙහි ඇතිවූ අනුකම්පාවකි. ඇබ්ස්කැම් මෙහෙයුමට සම්බන්ධ වී වැඩකළ කාලය තුළ හේ ජෝන් ගුඩ්ට බෙහෙවින් සමීපව සිටි අතර ඔහු කෙරෙහි විශ්වාසයක්ද ගොඩනඟාගෙන සිටියේය. පියාට පසුව වෙයින්බර්ග් ඒ හා සමාන ගෞරවයක් හා විශ්වාසයක් දැක්වුයේ එෆ්.බී.අයි. නිලධාරි ජෝන් ගුඩ්ටය. මෙතෙක් සිතේ තිබූ කෝපය නීවී යද්දී හේ කතාව වෙනතකට හැරවූයේය.

“හරි අපි දැන් ඊළඟට මොකද කරන්නේ ?“

“සෙනෙටර් විලියම්ස් කොටු කරගන්න අපිට තව අඩුපාඩු ටිකක් තියෙනවා. ටයිටේනියම් සංස්ථාවේ එයාගේ කොටස් වෙනුවෙන් පෙනී ඉන්නේ ඇලෙක්ස් (ෆෙයින්බර්ග්) හින්දා කෙළින්ම එයාට විරුද්ධව කේස් එකක් හදන්න බැහැ. ඒකට අපි මුලින්ම සෙනෙටර් ලව්වාම එයාගේ කොටස් ටික අරගන්න සලස්වන්න ඕනේ.“ ගුඩ් පැවසුවේ වෙයින්බර්ග් යළිත් සාමාන්‍ය තත්වයට පත්වීම ගැන හටගත් උද්යෝගයකිනි.

කලින් යොදාගත් පරිදි ඇමරොසෝ, එරිචෙට්ටි හා වෙයින්බර්ග් 1979 ජූලි 11 දා, කෙනඩි ගුවන්තොටුපළ පර්යන්තයේදී සෙනෙටර් විලියම්ස් මුණගැසුණහ. ඔහු සිය බිරිය සමඟ ඉතාලියේ හා ස්කැන්ඩිනේවියාවේ තෙසතියක සංචාරයකට පිටත්ව යාමට පෙර හිමි කොටස් ඔහුට ලබාදීම හමුවේ අරමුණ විය. එහිදී පතල් සංස්ථාවේ මිලියන දාහතක් වටිනා කොටස්වලට අදාළ ලියකියවිලි සෙනෙට්වරයා අතට පත්කෙරිණි. වෙයින්බර්ග්ගේ කපටි මොළයට පහළ වූ තවත් කදිම අදහසක්ද ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඇත්තෙන්ම කිව්වොත් මෙතෙක් කල් කොටස් පිළිබඳ වගකීම තම නීතිඥයා පිට පටවා පස්ස ගසමින් සිටි සෙනෙටර් ලව්වා කොටස් කෙසේ හෝ බාගන්නට හැකි වූයේද වෙයින්බර්ග්ගේ මෙම අලුත්ම සැලැස්ම නිසාය. සැලැස්ම ගැන වෙයින්බර්ග් මුලින්ම කියා තිබුණේ එරිචෙට්ටිටය. වෙයින්බර්ග්ගේ උපාය වූයේ ඔහු ලවා කොටස් සියතට ගැනීමට සෙනේටර් පොළඹවා ගැනීමය. අනික් හැම විටක මෙන්ම මෙහිදීත් ඇමට දැමුණේ එරිචේට්ටිගේ මුදල් කෑදරකමයි.

“ඇන්ජි, වැඩේ හරියනකම් මේ කතාව රහසක් විදිහට තියාගන්න එක හරිම වැදගත්. අලුත් අරාබිකාරයෝ සෙට් එකකින් අපේ මේ ටයිටේනියම් කම්පැනි එක මිලට ගන්න හොඳ යෝජනාවක් ඇවිත් තියෙනවා. එයාලා හිතන් ඉන්නේ අපි කම්පැනි එක රන් කරන්න පටන් අරගෙන කියලයි. මේකේ කොටස්කාරයන්ට ඩොලර් මිලියන පනහක ලාභයක් ලැබෙන විදිහට වැඩේ කෙරෙනවා කියලා එයාලා පොරොන්දුවෙලා තියෙනවා. යසීර්ගෙන් එන්න තියෙන ලෝන් එක ආපු ගමන් අපිට පුළුවන් කම්පැනිය මෙයාලට විකුණන්න. හැබැයි යසීර්ට මේ ගැන කෙළ බිඳක්වත් හළන්න එපා. මිනිහා දැනගත්තොත් ලාභෙන් කොටහක් කඩාගන්න එයාටත් ඕනේ වෙයි. තියෙන එකාට කොච්චර තිබුණත් ඇතිවීමක් නැහැ.“

“නියමයි මෙල්, නියමයි. ඔයා තමයි දවසකටවත් මිනිහා.“

වෙයින්බර්ග්ගේ අලුත් යෝජනාව ඇසූ විට එරිචෙට්ටි පැවසුවේ, ඔල්වරසන් නඟමිනි. වෙයින්බර්ග්ගේ ඇම කොක්කත් සමඟම ගිල දැමූ එරිචෙට්ටිට තවදුරටත් සෙනේටර් විලියම්ස්ගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් ළතැවෙන්නට ඉස්පාසුවක් තිබුණේ නැත. කඩාවැටෙන්නට යන අනපේක්ෂිත වාසනාව විලියම්ස් නිසා නැතිකර ගන්නට ධන ලෝභ නගරාධිපති කොහොමටවත් කැමති නොවන බව වෙයින්බර්ග් දැන සිටියේය. අලුත් අරාබිකාරයන්ට සමාගම අලෙවි කිරීමට නම් විලියම්ස්ගේ කොටස් ඔහුගේ නමින්ම ඔහු භාරගෙන තිබිය යුතු බවට වෙයින්බර්ග් ඉදිරිපත් කළ කොන්දේසියට හේතු විමසීමට තරම්වත් සිහියක් එවෙලේ එරිචෙට්ටිට තිබුණේ නැත. එවෙලේම සෙනේට්වරයා ඇමතූ එරිචෙට්ටි ඔහුට කිව්වේ ටයිටේනියම් සංස්ථාවේ ඔහුට හිමි කොටස් භාරගත යුතු බවයි. නගරාධිපතිගේ කේවල් කිරීමෙන් ගැලවෙන්නට ආත්ම විශ්වාසයක් සෙනේටර්ටද නොතිබිණි. ඒ හැරත් සෙනෙට්වරයකු වුණත් විලියම්ස්ටද නගරාධිපතිට නොදෙවැනි මුදල් අවශ්‍යතාවක්. සෙනේටර් විලියම්ස් යළිත් වරක් නගරාධිපති එරිචෙට්ටිගේ අණසකට යටත් විය.

කෙනඩි ගුවන්තොටුපළ පර්යන්තයේදි ලියකියවිලි භාරගැනීමෙන් පසු තක්කාලි යුෂ වීදුරුවක රස බලමින් කතාවට එක්වූ සෙනේටර් වයන්නට ගත්තේ අලුත් තනුවකි. තමන්ගේ නමින් කොටස් භාරගැනීමට පස්ස ගසමින් සිටි සෙනේටර් කවුරුත් පුදුම කළේ තමා දැනටමත් ටයිටේනියම් සමාගමට කොන්ත්‍රාත්තු ලබාදීමට වැඩ පටන්ගෙන ඇති බව හෙළි කරමිනි.

“ඔයාල මං ගැන සම්පූර්ණ විශ්වාසේ තියන්න. මම දැනටමත් මේ වැඩේට මගේ පවර්ස් පාවිච්චි කරන්න පටන් අරගෙනයි ඉන්නේ. වැඩිය ඕනේ නැහැ, ඇමරිකාවේ තියෙන ලොකුම සමාගම් ජාලයක සභාපති ඊයේ මාව හම්බවෙන්න ආවා. එයාගේ නම අද ඉපදෙන නොදරුවෝ පවා දන්නවා. ඒ තරම් ප්‍රසිද්ධ කෙනෙක්. එයාට ඕනේ වුණේ, ආණ්ඩුවෙන් එයාට කරගන්න තියෙන වැඩ ටිකක් මං හරහා කරගන්නයි. දන්නවානේ ඉතින් වැඩ කිව්වම. එයාට තියෙන තත්වේ හැටියට එයා එක දවසින් මේ ටයිටේනියම් එක ඇමරිකාවේ නොම්මර එක කරාවි. ඒ තරම් කෙරුමෙක්. මමත් මගෙන් කෙරෙන උදව්වවේ හිලව්වට එයාගෙන් සපෝට් එක ඉල්ලුවා. ටයිටේනියම් එක වෙනුවෙන් මම මගේ සෙනේට් බලතලත් පාවිච්චි කරනවා, ඒ නිසා මේකට උදව් කරන්න කියලා කිව්වා.“ ටයිටේනියම් සංස්ථාවේ අභිවෘද්ධියට සෙනේටර් විලියම්ස් තම සෙනේට් බලතල යොදාගන්නා බව අනම් මනම් නැතිව කෙළින්ම ප්‍රකාශ කිරීම අතිශයින්ම වැදගත් විය. එය ඔහුට විරුද්ධව නඩුවක් ගොනුකිරීමට ප්‍රමාණවත් සාක්ෂියකි.

“ඔය තියෙන්නේ බඩු“ වෙයින්බර්ග් කියවෙන්නට ගිය වචන ටික ආපස්සට ඇද ගත්තේය.

මේ සියලු සිදුවීම් මැද නිව් ජර්සි මෙහෙයුම්ද උද්යෝගිමත් සිරියක් ගෙන තිබිණි. එරිචෙට්ටි හා ෆෙයින්බර්ග් එවූ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ඉදිරිපත් කළ කැසිනෝ අවන්හල් ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තු වෙයින්බර්ග්ට හා ඇමරොසෝට සොයාබැලීමට නොහැකි තරමට ගොඩගැසී තිබිණි. අලුත් කොන්ග්‍රස් සාමාජිකයන් ඇබ්ස්කැම් දැලට ගෙනඑන්නට නගරාධිපතිතැනගෙන් ඉදිරිපත්වන යෝජනාවලද කෙළවරක් තිබුණේ නැත. ඊට අමතරව ඔහු නිව් ජර්සි ප්‍රාන්ත නගරාධිපතිවරු හා කැසිනෝ කොමිසම් සාමාජිකයන් අලුතින් හමුවෙමින් තවත් අලුත් ගනුදෙනුවලට අර අඳිමින් සිටින බවත් කාටත් රහසක් නොවීය. නෙවාර්ක් නගරාධිපති ගිබ්සන් සමඟ කරන්නට නියමිත ගනුදෙනුව වෙනුවෙන් ජෝර්ජ් කැට්ස්ගෙන් කෙරෙන පෙළඹවීම්වල අඩුවක් තිබුණේද නැත. ඒ සියල්ල මදිවාට කාටත් අමතක වූ බිල් රොසෙන්බර්ග් දිනපතාම පාහේ දුරකතනයෙන් වෙයින්බර්ග් අමතමින්, තමා අමතක නොකරන ලෙස පිණ්සෙන්ඩු වෙමින් කරදර කළේය.

රොබට් ඩෙල් ටෆෝගේ කේන්තිය ඉහවහා ගොස් ඇති බව වෙයින්බර්ග්ට කනින් කොනින් ආරංචි විය. ඔහුගේ සහායක එඩ් ප්ලාසා ඇමරිකානු නීතිපතිවරයාට ලිපියක් පවා යවා තිබුණේ නිව් ජර්සි කේන්ද්‍ර කරගත් ඇබ්ස්කැම් විමර්ශනය නෙවාර්ක්වල නීතිපති කාර්යාලයට භාරදෙන්නේ නැති නම් තමාත් ඩෙල් ටෆෝත් එය විශ්වාසභංගයක් ලෙස සලකන බැව් දන්වමිනි. කවර විශ්වාසභංග ගෙන ආවත් වෙයින්බර්ග්ගේ තීරණය වෙනස් නොවන බව ජෝන් ගුඩ් හැරෙන තැපෑලෙන් නීතිපතිවරයාට දන්වා යැවීය.

“ඔය මොන වෙට්ටු දැම්මත් ඩෙල් ටෆෝටයි, ප්ලාසාටයි මෙල් වෙයින්බර්ග්ව එයාලගේ පැත්තට නම්මගන්න පුළුවන්කමක් නැහැ. මෙල් කියන්නේ ලෝකේ කාලා වතුර බීපු මිනිහෙක්. මිනිහාව තම්බන්න බැහැ. එයා ටෆෝවයි, ප්ලාසාවයි කොහොමටවත්ම විශ්වාස කරන්නේ නැහැ. “

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

හෙට - යසීර්ට හොරෙන් අලුත් කුමන්ත්‍රණයක්

නව අදහස දක්වන්න