පොලිසිය වෘත්තිකයන්ගේ සේවාවක් කරනවා - ජනපති | දිනමිණ

පොලිසිය වෘත්තිකයන්ගේ සේවාවක් කරනවා - ජනපති

පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් බවට පත් කිරිමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
 
ජාතික පොලිස් ඇකඩමිය උපාධි මට්ටමට ගෙන ආ යුතු අතර ඊට යම් බාධාවන් තිබේනම් එම සියලු බාධා ඉවත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
 
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය අමතමිනි.
 
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට, හා එහි ගුණාත්මකභාවය ඉහළ නංවමින් උසස් ප්‍රමිතියක් ඇති කිරීමට කළයුතු බොහෝ කාර්යයන් පසුගිය කාලය තුළ අතපසු වී ඇති බවයි. තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එය ශක්තිමත් කිරීමට පියවර රැසක් ගත් බව සඳහන් කළ ජනාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට අවශ්‍ය නීති සංශෝධන රැසක් මේ වන විට සිදුකර තිබෙන අතර, තම උපදෙස් පරිදි නව නීති රීති සම්පාදනය කිරීමේ කටයුතු ද නීතිපතිවරයා විසින් මේ වන විට සිදුකරමින් සිටින බව කියා සිටියේය.
 
එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ අපරාධ මර්දනයේ දී සහ බරපතළ අපරාධකරුවන් පිළිබඳව කටයුතු කිරීමේ දී මානව හිමිකම්වලට මුවා වූ ඇතැම් පිරිස් ඊට එරෙහිව කඩුව ඔසවන බවයි.
 
පාතාලය මර්දනය කිරීම, අපරාධ මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට හෝ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ඇතුළු සමාජයේ සිදුවන නීතිවිරෝධි ක්‍රියාවන් වැළැක්වීමට ඔවුන් සිය හඬ අවදි නොකරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තමාට ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලදී කෙතරම් අවාසි සහගත වුව ද රටත්, ජනතාවත් වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ කිසිසේත් අතපසු නොකරන බව ද අවධාරණය කළේය.
 
එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ ජීවිත පරිත්‍යාගයෙන් රට සහ ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටුකරන පොලිස් සේවාව සඳහා ලබාදිය යුතු ඉහළම වටිනාකම ලබාදීමට කටයුතු කරන බවයි.
 
පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස් කොමිසම සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් එය කිසිසේත් හෙට දවසට කල් දැමිය හැකි කාරණයක් නොවන බවත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
 
‘ප්‍රඥාව තුළින් වෘත්තිකත්වය’ යන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රථම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙලෙස අභිමානවත් අයුරින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් දෙසිය හැට හතර දෙනෙකු වෙත ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.
 
ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව කිහිප දෙනෙකු වෙත සහතික පත් ප්‍රදානය කෙරිණි.
 
පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න