නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයේ ප්ලාස්ටික් පොලිතින් ඉවත් කිරීමේ ශ්‍රමදානයක් | දිනමිණ

නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයේ ප්ලාස්ටික් පොලිතින් ඉවත් කිරීමේ ශ්‍රමදානයක්

මස්කෙළිය සමන් දේවාලය අසල සිට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ, ශ්‍රීපාදස්ථානය දක්වා දිවෙන මාර්ගය දෙපසට හා ශ්‍රීපාද පුදබිමේ රක්ෂිතයට වන්දනාකරුවන් විසින් මුදා හැර ඇති ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය රැස් කිරීමේ ශ්‍රමදානයක් පසුගියදා පැවැත්විණි.

“අසිරි සුරකිමු සමනොළ” යන පාරිසරික වැඩ සටහන යටතේ ලින්ක් නැචුරල් (සමහන්) පෞද්ගලික ආයතනයේ අනුග්‍රහයෙන් හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත් වූ මේ පාරිසරික ශ්‍රමදාන ව්‍යාපාරයේ ආරම්භක උත්සවය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මස්කෙළිය සමන් දේවාල පරිශ්‍රයේදී පැවැත්වීමෙන් අනතුරුව මේ ශ්‍රමදානය ආරම්භ කෙරිණි.

මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ, අති පූජනීය සිද්ධස්ථානයක් වන ශ්‍රීපාද පුදබිම ඇතුළු හරිත වනාන්තරය ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍යවලින් තොර පරිසර හිතකාමී කලාපයක් බවට පත් කිරීම සඳහා ගන්නා මේ ප්‍රයත්නය සඳහා සමස්ත වන්දනාකරුවන්ගේ සහාය ඉල්ලා සිටින බවය. ජාතික උරුමයක් වන මේ පුදබිම පරිසර හිතකාමී කලාපයක් බවට පත් කිරීම සඳහා සමහන් ආයතනය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් ලබා දෙන දායකත්වයට විශේෂ ස්තූතියක් මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා පුද කරන බවද කීය.

කලාප 11ක් යටතේ කණ්ඩායම් 11ක් යොදා පවත්වනු ලැබු මේ ශ්‍රමදානය සඳහා ප්‍රදේශයේ සිංහල, දමිළ පාසල්වල පරිසර කණ්ඩායම්වල සිසු සිසුවියන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන සාමාජිකයන්, යුද හමුදා නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුලු 700කට ආසන්න පිරිසක් සහභාගී වූහ. ශ්‍රමදානය මඟින් එක් රැස් කරනු ලැබූ ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය තොගය මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ රිකාටන් හී පිහිටි කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත බාර දෙනු ලැබීය. මේ අවස්ථාවට අඹගමුව ප්‍රාදේශිය ලේකම් ආර්.පී.ජී.සුමණසේකර, නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා, නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ප්‍රභාත් කරුණාතිලක, ලින්ක් නැචුරල් ආයතනයේ අංශ ප්‍රධානී ප්‍රියන්ත කොළොන්නේගේ, එම ආයතනයේ නල්ලතන්නිය සමහන් මධ්‍යස්ථානයේ ප්‍රවර්ධන විධායක නිලධාරි චමින්ද බණ්ඩාර, ලක්ෂපාන යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරි මේජර් දමින්ද ගුණවර්ධන, කපිතාන් ජයම්පති, මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් රාජවීරන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සටහන සහ ඡායාරූප - මස්කෙළිය සමූහ
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

නව අදහස දක්වන්න