සෙරීනා අවසන් අටට | දිනමිණ

සෙරීනා අවසන් අටට

සිය 24 වැනි වාර්තාගත ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කුසලානය හඹා යන අමෙරිකාවේ යකඩ ගැහැනිය සෙරීනා විලියම්ස් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ඊයේ පැවැති සිවුවැනි වටයේ තරගයේදී ලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩිකා රුමේනියාවේ සිමෝනා හැලේප් ලකුණු 6-1ක්, 4-6ක් සහ 6-4ක් ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වූවාය.

මේ වනවිට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලිය මෙන් ප්‍රධාන තලයේ ටෙනිස් කුසලාන (ග්‍රෑන්ඩ් ස්ලෑම්) 23කට හිමිකම් කියන මේ 37 හැවිරිදි ක්‍රීඩිකාවට ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන ප්‍රමාණයක් දිනූ ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩිකා මාගරට් කෝට්ගේ වාර්තාව සමකිරීමට තවත් අවශ්‍යවී ඇත්තේ එක් කුසලානයක් පමණි.

ඊයේ තරගයේදී ඉතා ජවසම්පන්න ක්‍රීඩා රටාවක නිරතවූ සෙරීනා මෙල්බර්න් නුවර රොඩ් ලේවර් පිටියේ දී සිමෝනා හැල්පේට එරෙහිව පළමු වටය ජයගත්තේ මිනිත්තු 20ක් ඇතුළතදීය. එහෙත් දෙවැනි හා තුන්වැනි වටවලදී සිමෝනා වෙතින් එල්ලවූයේ දැඩි තර්ජනයකි.

අර්ධ අවසන් පූර්ව වටයේදි සෙරීනාගේ ප්‍රතිවාදිනිය බවට පත්වී සිටින්නේ ස්පාඤ්ඤයේ ගාර්බින් මුගුරූසා පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට එක්වී සිටින චෙක් රාජ්‍ය යේ කැරොලිනා ප්ලිස්කෝවාය.

නව අදහස දක්වන්න