ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් ශූරයා ජනක-ශූරිය මනෝරි | දිනමිණ

ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් ශූරයා ජනක-ශූරිය මනෝරි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් එක්ව සංවිධාන කළ ගුවන් හමුදාපති කුසලාන වාර්ෂික ගොල්ෆ් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජානක තෙබුවන සමත්විය. එහි කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ මනෝරි ජයකොඩි විසිනි.

චීනවරාය ගුවන් හමුදා කඳවුරු භූමියේ ගොල්ෆ් පිටියේ පසුගියදා පැවැති මේ තරගාවලියට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 76කට අධික පිරිසක් සහභාගි වූහ. එහිදී පිරිමි තරග අංශයේ ලකුණු 32ක් රැස් කරමින් ජානක ශූරතාව දිනාගනිද්දී මනෝරි ජයකොඩි කාන්තා ශූරතාව දිනාගත්තේ ලකුණු 31ක් රැස් කරමිනි.

ලකුණු 28ක් ලැබූ කෙන් ද අල්විස් අනුශූරයා ලෙස සම්මාන දිනූ අතර දිර්ඝතම පහර සඳහා වන සම්මානය දිනාගනු ලැබුවේ නාවික හමුදාවේ කමාන්ඩර් පී.එම්.මුන්මුල්ලගේ සහ රොහාන් ද සිල්වාය. ගුවන් හමුදාවේ ඒ.එම්.අයි.ප්‍රියදර්ශනී සහ නිලූ ජයතිලක කාන්තා තරග අංශයේ දීර්ඝතම පහර එල්ල කරමින් සම්මානයට පාත්‍ර වූහ.

ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැති අතර ඊට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් සුමංගල ඩයස්, මෙහෙයුම් අධ්‍යක්ෂ සහ ගුවන් හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමදෝරු සම්පත් තුයියකොන්තා මහත්වරුද එක්වූහ.

නව අදහස දක්වන්න