නයිනමඩමේ අනතුර! | දිනමිණ

නයිනමඩමේ අනතුර!

පෙරේදා අළුයම නයිනමඩමේදී සිදුවූ මාරක රිය අනතුර සමාජයට ඉතා වැදගත් පාඩම් කිහිපයක් උගන්වයි. එබැවින් අදාළ රිය අනතුර ගැන විමසුමක යෙදීම කාලෝචිත ය. මේ අනතුර කෙතරම් බිහිසුණු ද යන්න සනාථ කරන සාධක කිහිපයක් පවතී. එක; අනතුර සිදුවූ ස්ථානයේම හතර දෙනකු මියගොස් සිටීම ය. තවත් දෙදෙනෙක් රෝහල වෙත රැගෙන යද්දී මිය ගියහ. දෙක, අනතුරට ලක්වූ නවීන පන්නයේ මෝටර් රථය එකම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබීම ය. තුන; මෝටර් රථය ගැටුණු මාළු පටවාගත් ලොරිය නැවතී ඇත්තේ අසල වූ පාලමක ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් පසුවය. කාරය ගමන්කර ඇති වේගය ඉන් පැහැදිලි වෙයි.

සාමාන්‍යයෙන් කාරයක ගමන් කළ හැක්කේ පස්දෙනකුට පමණි. ඒ රියැදුරා ද සමඟය. එහෙත් අනතුරට ලක් වූ රථයේ නමදෙනකු ගමන් කර ඇත. එය රථයට ඔරොත්තු දෙන්නේ නැත. වාහනයක් නිෂ්පාදනය කරන්නේ නිශ්චිත බර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට ය. නිශ්චිත බර ප්‍රමාණය ඉක්මවන විට වාහනය හැසිරවීම අපහසු වෙයි. එහි ඇතැම් උපාංග බර වැඩිකම නිසා අක්‍රීය වන්නට ද පුළුවන. ඒ හැරත් අනතුරකදී රථය තුළ තදබදයක් ඇතොත්; සිදුවිය හැකි අනතුර බරපතළ වෙයි. කාරයක නමදෙනකු පටවාගෙන යෑම යනු ඉසිලිය හැකි බර ප්‍රමාණය මෙන් දෙගුණයක් රැගෙන යෑමකි. මේ සියල්ල සිදුවී ඇත්තේ නොසැලකිල්ල නිසා ය.

මිනිසුන් තමන්ගේ වටිනා ජීවිත මේ තරමින් හෑල්ලුවට දාන්නේ ද; නොසැලකිල්ලට ලක්කරන‍්නේ ද කවර හේතු සාධක නිසා දැ’යි කිව නොහැකිය. මෝටර් රථයේ ගමන්ගත් සියලු දෙනාම තරුණ ජීවිත ගත කරන අය වෙති. ඔවුන්ගේ අනාගත අපේක්ෂා හා සැලැසුම් අනන්තවත් තිබෙන්නට ඇත. ඒ හැරෙන්නට වැඩිහිටියන් ඔවුන් ගැන තබා තිබූ බලාපොරොත්තු ඊටත් වඩා වැඩිවිය හැකි ය. තත්පර කිහිපයකදී ඒ සියල්ල විනාශ වී ඇත. මෝටර් රථය පැයකට කි. මී. සියයක පමණ වේගයෙන් ගමන් කර ඇති බව ද පොලිසිය කියයි. පිරිස මංගල සාදයකට සහභාගී වී පෙරළා නිවෙස් බලා යමින් සිටි බව ද කියැවේ. එහි යටි අරුත වන්නේ රියැදුරා පවා හොඳට ම මත් වී සිටින්නට ඇති බව ය.

රටේ සිදුවන රිය අනතුරු ගැන කල්පනා කරනවිට මත් වී නොව; හොඳ සිහියෙන් මහා මාර්ගයේ ගමන් කිරීම ද දුෂ්කර කටයුත්තකි. පිරිස ඒ කිසිවක් සැලැකිල්ලට ගෙන නැති බව පෙනෙයි. මේ මෝටර්රථය අනතුරට ලක් වී ඇත්තේ ඉදිරියෙන් ගමන් කළ මාළු ලොරියක ගැටීමෙන් ය. ඉදිරියෙන් ගමන් කරන වාහනයක ගැටීමෙන් ද පෙනී යන්නේ අනතුරට පත්වූ රථයේ රියැදුරු හරි පරීක්ෂාවකින් තොරව රථය ධාවනය කර ඇති බවය. බීමත් පුද්ගලයකුට රථයක වේගය දැනෙන්නේ නැත. ඒ අනුව ඔහු තව - තව වේගයෙන් ධාවනය කිරීම සඳහා “ඇස්ලේටරය” පාගයි. මෙහිලා සිදුව ඇත්තේ ද එවැන්නක් යැයි සිතන්නට පුළුවන.

අනතුරට ලක් වූ රථයේ තිබී මි. මී. අට වර්ගයේ පිස්තෝලයක් හා ජීව උණ්ඩ කිහිපයක් හමු වූ බව ද පොලිසිය සඳහන් කරයි. පිස්තෝලය හා රිය අනතුර අතර සම්බන්ධයක් නැතත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම සිදුවිය යුතුය. පිරිස කිසියම් අපරාධයක් සඳහා ගමන් කළේ ද? නැතහොත් අපරාධයක් සිදුකර පසුව අධික වේගයෙන් රිය පදවාගෙන ගියේ ද යන්න සොයා බැලිය යුතුය. දැන් සිදුවන අපරාධවල හැටියට ඉහත වටපිටාව හා සිද්ධිය සැකයට බඳුන්කළ හැකි ය. අනතුරෙන් හයදෙනකු මියගොසිනි. දෙදෙනකුට බරපතළ බව ද කියැවේ. ජීවිතය ගැන විශ්වාසයක් තැබිය හැක්කේ එක් පුද්ගලයකු ගැන පමණක් බව ද සඳහන් ය.

ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ රිය අනතුරු අධික රටක් හැටියට ය. මෙය කෙතරම් ද යත්; ත්‍රස්තවාදී ගැටුම් පවතින කාලයේ ත්‍රස්තවාදය හේතුවෙන් මියගිය පිරිසට වැඩි පිරිසක් රිය අනතුරුවලින් මියගොස් සිටිති. මේ අනුව මහමඟ ත්‍රස්තවාදය ලෙස රිය අනතුරු හඳුන්වන්නට අපේ ඇත්තෝ පුරුදු වූහ. රිය අනතුරු වැළැක්වීම සඳහා වරින්-වර අලුත් ‍යෝජනා ඉදිරිපත් වෙයි. ඇතැම් විට අලුත් නීති ක්‍රියාත්මක වෙයි. රථ වාහන පොලිසිය සිදුකරන පරීක්ෂාවන් හා මෙහෙයුම් ද වැඩිකර තිබේ. එහෙත් රිය අනතුරු අඩුවන බවක් නම්; පෙනෙන්නට නැත. මෙයින් පැහැදිලි වන වැදගත් කරුණක් වන්නේ රිය ධාවනය කරන තැනැත්තා ස්වයං විනයකින් කටයුතු කළ යුතු බව ය. අපේ රියැදුරන් ළඟ නැත්තේ ද එය ම ය.

නයිනමඩමේ රිය අනතුරට පෙරදා එනම්; දහනමය වන සෙනසුරාදා ජා-ඇළ, තුඩැල්ල ප්‍රදේශයේ සිදුවූ තවත් රිය අනතුරකින් තිදෙනෙක් මියගියහ. එම අනතුර සිදුවී ඇත්තේ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් ය. අනතුරුදායක හරස් පාරකදී දුම්රිය එනු දැක - දැකත් යතුරුපැදිය හරස් පාර ඔස්සේ ධාවනය කර ඇතැ’යි කියති. බලාගෙන යනවිට අපේ බොහෝ දෙනකුට ඇත්තේ පුදුම හදිස්සියකි. තත්පර දෙක - තුනක් ඉවසා සිටීමට කිසිවකු කැමැති නැත. සමහරුන් සිය රථය ධාවනය කරනුයේ ඊයේ යන්නට තිබූ ගමනක් මේ දැන් යන ආකාරයට ය. තව සමහරුන්ගේ කැමැත්ත පාරේ සියලු රථවාහන හඹා‍ගොස් ඒවාට ඉස්සර කිරීම ය. මෙය රිය අනතුරුවලට ප්‍රධාන හේතුවක් බව පොලිසිය පෙන්වාදෙයි.

ජීවිතයේ වටිනාකම පිළිබඳ පාඩමක් අපේ රියැදුරන්ට ලබාදිය යුතුය. දක්ෂ, විනීත, බුද්ධිමත් රියදුරකු බිහි කිරීම රියැදුරු පාසලක අරමුණ වුව; එය හරිහැටි සිද්ධවෙන බවක් පෙනෙන්නට නැත. දැන් සෑම නගරයකම පමණක් නොව; හන්දියක් - හන්දියක් ගණනේ ද රියැදුරු පාසල් බිහි වී තිබේ. එය එක්තරා ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරය තුළ මුදලට රිය ධාවන බලපත්‍රයක් ලබාගත හැකි බව කියති. ඒ අනුව දින කිහිපයක සාමාන්‍ය පුහුණුවකින් පසු වැඩි මුදලක් ගෙවා රියැදුරු බලපත්‍රය ලබාගත හැකි බව ද කියති. මේ රියැදුරු පාසල්වල හොඳ උපදේශකයන් නැති බව ද, අවශ්‍ය පුහුණු උපකරණ නැති බව ද පැහැදිලිය. මෙබඳු රියැදුරු පාසල් පවතින රටක රිය අනතුරු ඉහළ යෑම පුදුමයක් ද නොවේ.

අප මුලින් ද සඳහන් කළ පරිදි නයිනමඩමේ රිය අනතුර සමාජයට පාඩම් ගණනාවක් ඉතිරි කර තිබේ. ඉන් වඩාත් වැදගත් පාඩම වන්නේ රථයක් පදවන තැනැත්තා පමණක් නොව; එම ර‍ථයේ ගමන් කරන අනෙකුත් අය වුව ජීවිතයක වටිනාකම තේරුම්ගත යුතු බව ය. ඉහත රථය වේගයෙන් හා නොසැලකිල්ලෙන් ධාවනය කිරීම බලවත් වැරැද්දක් වන්නාසේම රථයට දරාගත නොහැකි පිරිසක ඊට ඇතුළුවීම ද වරදකි. බොහෝ අයගේ කල්පනාව කෙටි ය. ඔවුන් සිතනුයේ මේ මොහොත ගැන පමණි. එබඳු සිතිවිල්ලක හා කල්පනාවක විපාකය කෙතරම් ද?

 

නව අදහස දක්වන්න