රුසියාවේ බන්ධනාගාර රැඳවියෝ 2ක් බෞතීස්ම ලබති | දිනමිණ

රුසියාවේ බන්ධනාගාර රැඳවියෝ 2ක් බෞතීස්ම ලබති

ජේසුස් වහන්සේගේ බෞතිස්මය සනිටුහන් කරන ආගමික වතාවත් සඳහා රුසියාවේ බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සහභාගී වී තිබේ.ඔවුන් අතුරින් දෙදෙනෙක් එහිදී බෞතීස්ම ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වේ.රුසියානු ඕතඩොක්ස් කිතුනු ආගමික වතාවත්වලට අනුව ප්‍රාදූර්භාවය (Epiphany) අනුස්මරණය කරමින් රුසියානුවෝ අධික ශීත දියේ ගිලී ස්නානය කරයි.එම ආගමික වතාවත් ඉටු කිරීම සඳහා රුසියාවේ බන්ධනාගාර රැඳවූවන් පිරිසකට අවස්ථාව හිමිවිණි.ජේසුස් වහන්සේගේ බෞතිස්මය සනිටුහන් කිරීම එම ආගමික වතාවත්වල අරමුණයි.

මොස්කව් අගනුවරට කිලෝමීටර් 300ක් පමණ උතුරින් පිහිටි බන්ධනාගාරයක රැඳවූවන් 100 දෙනෙකු පමණ මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඒ සඳහා ඔවුන් වෙනුවෙන් එහි විශේෂිත ස්ථානයක්ද සකස් කර තිබුණි.මෙහිදී ඕතඩොක්ස් කිතුනු ආගමික වතාවත්වලට අනුව බන්ධනාගාර රැඳවුවන් දෙදෙනෙක් බෞතීස්ම ලබා ඇති බව සඳහන්වේ.ශීත ජලයේ බැස ස්නානය කිරීමෙන් අනතුරුව ඔවුන් අසළ දේවස්ථානයේ මෙහෙයකටද එක් වූ බව වාර්තා වන්නේය.

ඝාතනයක් සම්බන්ධව වැරදිකරුවෙක් බවට පත්ව සිටි එක් සිරකරුවෙක් උත්සවයෙන් අනතුරුව කියා සිටියේ දෙවියන් ඉදිරියේ පවිත්‍ර වූ හැඟීමක් තමාට දැනෙන බවයි.

මේ අතර බන්ධනාගාරයෙන් පිටවීමෙන් පසු නව ජීවිතයක් ආරම්භ කිරීමට මෙය කදිම අවස්ථාවක් බව සෙසු සිරකරුවා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න