රබර් කම්හලෙන් පිටවන දුමටයි මේ විරෝධය | දිනමිණ

රබර් කම්හලෙන් පිටවන දුමටයි මේ විරෝධය

ගාල්ල බෝගහගොඩ දොරපේ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන රබර් කර්මාන්ත ශාලාවකින් පිටවන දුම හේතුවෙන් ගාල්ල දොරපේ ද්වීත්ක පාසලේ දරුවන් හා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පවසමින් දොරපේ විද්‍යාලයේ සිසුදරුවන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලැබු උද්ඝෝෂණයක් ගාල්ල බෝගහගොඩ නගරයේ දී පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනයට ද බාධා ඇති වුයේ උද්ඝෝෂකයන් විසින් පැය භාගයකට ආසන්න කාලයක් ප්‍රධාන මාර්ගය වසා ගෙන උද්ඝෝෂණයේ නිරත වු බැවිනි.

මෙහි දී අදහස් දැක් වු උද්ඝෝෂකයන් කියා සිටියේ, මෙම කර්මාන්තය පසුගිය දෙසැම්බර් 31 ඉවත් කරන බවට කියා තිබුණත් එසේ නොකිරීම හේතුවෙන් සහ පසුගිය දින කිහිපය තුළ පාසල තුළ දරුවන්ට සිටීමටවත් නොහැකි ආකාරයට ඇති වු දුම් සහිත තත්ත්වය නිසා මෙම විරෝධතාවය මෙසේ සංවිධානය කර බවයි.

උද්ඝෝෂකයන් පවසන පරිදි මෙම රබර් කර්මාන්ත ශාලාව ආසන්නයේ ම ඇති දොරපේ ද්විතීක පාසලට මෙයින් සෘජුම බලපෑම සිදු වී ඇත.

පාසල් දිනයක් වු 14 දින මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේ ආදාළ පාසලේ මුළු ළමයින් 590 කගෙන් එදින පැමිණ තිබුණේ ළමුන් 19 දෙනෙකු පමණක් වු අතර පාසලේ පන්ති කාමර පාළුවට ගොස් තිබිණි. ගුරුවරුන් පමණක් පාසලට පැමිණ තිබු අතර පාසලේ කටයුතු සමාන්‍ය පරිදි සිදු නොවිනි.

කෙසේ නමුත් උද්ඝෝෂකයන් ප්‍රකාශ කර සිටියේ තම දරුවන් මෙම තත්ත්වය තුළ පාසලට එවීමට නොහැකි බවත් මේ තත්වයට විසඳුමක් ලබා දෙන තුරු තම දරුවන් පාසල වෙත නොඑවන බවයි.

කෙසේ නමුත් පැයකට වැඩි කාලයක් මෙසේ උද්ඝෝෂණයේ නිරත වු පිරිස නැවත ලබන 18 දින රැස්වන බව පවසමින් විසිර ගියහ.

සටහන සහ ඡායාරූපය ඉමදුව ලංකින්ද නානායක්කාර

 

නව අදහස දක්වන්න