ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ආසියානු සංවර්ධන බැංකුවේ සම්පූර්ණ සහයෝගය ලැබෙන බවට සහතිකයක් ලැබී තිබේ. මේ තත්ත්වය හෙළිදරව් වන්නේ ජනාධිපතිවරයා පිලිපීනයේ කරන නිල සංචාරයෙන් හා මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කරන සාකච්ඡා ඔස්සේ ය. ආසියානු සංවර්ධන බැංකුව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ණය මුදලක් අනුමත කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කියා ඇත. මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කරන සාකච්ඡා හැම අතෙකින් ම පාහේ සාර්ථක බව වාර්තා වී ඇත. ජගත් මුල්‍ය සංවිධානවල සහයෝගය අප ලබා ගත යුතුය. ඉන් තොර සංවර්ධනයක් ගැන අපේක්ෂා තබා ගත නො හැකි ය.
2015 න් පසුව ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් වන්නේ අන්තර්ජාතික විශ්වාසය දිනා ගැනීම ය. එම විශ්වාසය ගොඩනැඟුණේ රටේ පැවැති ප්රජාතන්ත්රවාදී නිදහස, මානුෂික නිදහස හා දූෂණ වංචාවලට එරෙහිව ගෙන ගිය නීතිමය වැඩකටයුතු නිසා ය. ඒ හැරෙන්නට රටක් වශයෙන් ස්වාධීනව නැඟී සිටින්නට ගනු ලැබූ උත්සාහය ද ජගත් මුල්‍ය සංවිධානවල අවධානයට ලක් වී තිබිණි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙන අන්දමට කිසියම් රාජ්‍යයක් වාර්ෂිකව සියයට හයක හෝ සියයට හතක හෝ ආර්ථික වෘද්ධියක් සටහන් කරන්නේ නැතිනම් එම රටවලට ණය මුදල් අනුමත කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබේ.
ශ්‍රී ලංකාව පසුගිය දසකය පුරාවට 6%ක හෝ 7% ක හෝ ආර්ථික වෘද්ධියක් සටහන් කර නැත. එහෙත් ශ්‍රී ලංකාවේ ඇතැම් ක්ෂේත්‍ර ස්වාධීන ලෙස වර්ධනය වී තිබේ. සංචාරක ක්ෂේත්රය ඊට කදිම නිදසුනක් ලෙස ගත හැකිය. සංචාරක, වරාය කටයුතු, අධ්‍යාපනය හා කාර්මික අංශය ද සැලැකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇත. ශ්‍රී ලංකාව ආසියාවේ හොඳ ම සංචාරක ගමනාන්තය ලෙස ද නම් කර ඇත. මෙයින් පෙනී යන්නේ ආර්ථිකය ප්‍රසාරණය වෙමින් පවතින බවය. මේ තත්ත්වයන් සැලැකිල්ලට ගෙන ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දිගටම සහයෝගය දැක්වීමට තීරණය කර ඇතැ’යි ආසියාවේ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්රිෂ්ටින් ලැගාර්ඩ් පෙන්වා දෙයි.
2016 සිට 2019 දක්වා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලක් තිබිණි. එය කිසියම් අර්බුදයකට ලක් වූයේ 2018 සැප්තැම්බරයේ රට තුළ ඇතිවූ දේශපාලන අර්බුදය නිසා ය. මුල්‍ය අරමුදලේ නිල සාකච්ඡා ගණනාවකදී ශ්‍රී ලංකාවේ තත්ත්වය සාකච්ඡාවට ලක් විය. කොටින්ම ඉහත කී ණය මුදල නොලැබෙන පසුබිමක් ගොඩනැඟෙමින් පැවැතිණි. දැන් එය නිරාකරණයකට පැමිණ ඇති බව පෙනෙයි. මුදල් අමාත්‍යවරයා හා මුල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡාවලින් හෙළිදරව් වන්නේ සුබදායී තත්ත්වයක් ගොඩනැඟී ඇති බවය. අනුමත ණය මුදල් අපේක්ෂිත අයුරින් ලැබෙනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය.
විදේශ මුදල් සංචිත ඉහළ යෑම රටේ ආර්ථිකයට ඉතා සුබදායී ලෙස බලපායි. අපේ ගෙවුම් ශේෂ ගැටලු සහ රුපියලේ අවප්‍රමාණය වීම් සඳහා විසැඳුමක් ද මේමගින් ලැබෙනු ඇත. රුපියලේ අගය දිගින් - දිගටම පිරිහීම ගැන විවිධ දේශපාලන කතිකා පැවැත්වෙයි. එහෙත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කිසිදු දේශපාලන නායකයකු හෝ මීට ස්ථාවර විසැඳුමක් ඉදිරිපත් කරන බවක් පෙනෙන්නට නැත. රුපියලේ අගය යථා තත්ත්වයට පත් කිරීමට නම් කරුණු දෙකක් ගැන සැලැකිල්ල දැක්විය යුතුය. පළමුවන්න ආනයන හැකිතාක් අඩුකිරීම ය. දෙවන්න අප සතු විදේශ මුදල් සංචිත තර කිරීම ය. විදේශ මුදල් සංචිත තර කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ ණය හා ආධාර මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය හා ආධාර ද ඉතා හොඳින් ගැළපෙයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන ද ලෝක බැංකුව ගැන ද අතිශය වැරැදි වැටහීමක් අපේ ජනතාව තුළ තිබේ. මේ ආයතනවල උත්සහය වන්නේ දුප්පත් රටවල් ලෝක මට්ටමෙන් දියුණු කිරීම මිස එම රටවල් නැති කිරීම නොවේ. එහෙත් අපේ දේශපාලකයන් මේ ආයතන දිගට - හරහට විවේචනය කරනුයේ ඒවා අපේ රටවල් සූරාකෑමට ඉදිරිපත් වී ඇති බව පෙන්වා දෙමින් ය. මේ තර්ක හා විවේචන තර්කානුකූල නැත. 2014 දී ශ්‍රී ලංකාවට පැමිණි මුල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මතය වූයේ ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනය සඳහා මීට වඩා බරපතළ වියදමක් දැරිය යුතු බවය. එහෙත් වමේ දේශපාලන විචාරකයන්ගේ අදහස වන්නේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට උපදෙස් දෙන බව ය.
රටේ ආර්ථිකය ඉදිරිගාමී කිරීමට නම්; ලෝක ආර්ථිකය හා ලෝක ආර්ථිකයේ ප්රවණතා ගැන මනා වැටහීමකින් ක්‍රියා කළ යුතුය. කලාපීය වශයෙන්ද මහාද්වීපික වශයෙන්ද ලෝක මට්ටමින් ද ආර්ථික ආධාර, උපදේශන හා ණය ලබාගැනීමට බිය විය යුතු නැත. ණය ලබාගෙන නිසි කළමනාකරණයකින් සංවර්ධනය මෙහෙයැවන්නේ නම්; කිසිදු ගැටලුවක් මතුවන්නේ නැත. එවිට කෙමෙන් ආර්ථිකය ප්‍රසාරණය වනු ඇත. වාර්ෂික ආර්ථික වෘද්ධිය සියයට හය හෝ සියයට හත හෝ ඉක්මවනු ඇත. ආසියාවේ හොඳම සංවර්ධන වේගයක් සටහන් කරගෙන ඇති රටවල් ලෙස වියට්නාමය, පිලිපීනය වැනි රටවල් සඳහන් කළ යුතුය. එම රටවල සහයෝගය ද අපට අවශ්‍ය වෙයි.
මේ පසුබිම විමර්ශනය කරන විට පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාගේ පිලිපීන සංචාරය මෙන් ම මුදල් අමාත්‍යවරයාගේ මුල්‍ය අරමුදලේ සාකච්ඡා ද අපේ අනාගතය සම්බන්ධයෙන් අතිශය හිතකර වන බවය.
නව අදහස දක්වන්න