ආදරය පිරුණු තැන කොතැනද ඔබ එතන | දිනමිණ

ආදරය පිරුණු තැන කොතැනද ඔබ එතන

ෆවුස් මොහොමඩ්

ජීවිතය හරි පුදුමාකාරයි. මතුපිටින් පෙනෙන සුන්දරත්වයට යටින් ගලා යන මොකක්දෝ වේදනාවක් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. ඒ කියන්නේ මෙලොව කිසිම කෙනෙකුගේ ජීවිතය අංග සම්පූර්ණ නැති බවයි. කොයිතරම් හිනාවෙලා හිටියත්, කොයිතරම් විනෝදයෙන් හිටියත්, හිත් කොනක කොතැනක හරි තියෙනවා අඩුම තරමේ පුංචිම පුංචි දුකක්. සමහරුන්ගේ ජීවිත හැමදාම අඳුරේ. තවත් සමහරු අඳුර මැදින් ආලෝකය හොයන්න උත්සාහ ගන්නවා. ජීවිතය ගැන මෙලෝ හසරක් නොදන්න තවත් පිරිසක් එළිය දැක දැක අඳුර හොය හොයා යනවා. ඒ අතරේ පුංචිම පුංචි පොහොට්ටු පිපෙන්න කළින් පරවෙන්නා සේ මෙලොව එළිය දකින නොදකින දරු පැටවු ආකාලයේ ජීවිතවලින් සමුගන්නවා. ඒවා දැක දැක අම්මලා තාත්තලා මැරි මැරී උපදිනවා.

හැලහැප්පීම්, දුක් කම්කටොළු ඕනෑම ජීවිතයකට පොදුයි. පැමිණෙන දුක් පැණි රසයි කියලා හිතාගෙන කවුරු කවුරුත් ඒවාට මුහුණ දෙනවා. ජීවිත ජයගන්නවා. පරදිනවා. අඬ අඬා ජීවත් වෙනවා. වැඩිපුරම හිනාවෙන්නේ වැඩිපුරම හඬා වැටුණු අය කියලා මං අහලා තියෙනවා. ඒත් ජීවිත කාලය පුරාම අඬා වැටි වැටී සිනහව හොයන සමහර මිනිස්සුත් අපි අතරේ ඉන්නවා.

චන්දිමා නම් කියන්නේ ‘ජීවත් වීම කියන්නේ... අමාරුම අවස්ථාවලදී හිනා වෙන එකට.. අඬන්න ඕනම වෙලාවට හිනා වෙන එකට...‘ කියලයි.

කවුරුත් සැහැල්ලුවෙන් ගෙවා දමන නව යොවුන් විය චන්දිමා නිරෝෂිණීට නම් ලොකු බරක් වෙන්නැති. එයා සාමාන්‍ය පෙළට මුහුණ දෙන්න සූදානම් වෙන කාලේ එයාගේ ජීවිතයට ළංවුණේ පොත්පත්වලට වඩා බෙහෙත්, වෛද්‍ය ප්‍රතිකාර.

‘පිළිකාවක මූලික අදියරේ මම ඉන්නේ කියලා දැනගත්තට මට එච්චර ලොකු දැනුමක් තිබුණේ නෑ පොඩි නිසා. එතකොට මට අවුරුදු 15යි. මාවතගම සෙන්ට්‍රල් (වර්තමානයේ ජාතික පාසල) එකේ ඉගෙනගත්තේ. මුලින්ම උගුරේ පොඩි ගැටිත්තක් වගේ දෙයක් අහුවුණා. අම්මා මාව ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කරගෙන ගියා. ඒක අසාමාන්‍ය තත්ත්වයක් කියලා ඩොක්ටර් අපිට ලියුමක් දුන්නා පේරාදෙණිය රෝහලට යන්න කියලා. පළවැනි දවසේදිම කළ පරීක්ෂණයේ වාර්තාව සතියකින් ලැබුණා. ‘

‘ලබන සතියේ බදාදා එන්න. එදාට නතර වෙන්න ඕනා. අපි පහුවදා ඔය ගෙඩිය අයින් කරනවා.‘ එවකට පේරාදෙණිය රෝහලේ හිටපු ශෛලවද්‍ය මහාචාර්ය අළුවිහාරේ මහතා එසේ කීමෙන් පසුව චන්දිමාගේ සිතට තරමක බියක් දැනුණා.

‘ලොකු අවබෝධයක් තිබුණේ නෑ. නමුත් ඔපරේෂන් එකට බය හිතුණා.‘

‘ඒක එහෙමම වුණා. උගුරේ ගෙඩිය අයින් කළා. වතුර ටිකක්වත් බොන්න බැරිව දවස් දෙකක් සේලයින් විතරයි. ඊළඟට දියර ආහාර.‘

‘තව සතියක් ඉන්න ඕනා. ඔය ගෙඩිය පරික්ෂා කරන්න ඕනා. ඒක බලලා තමයි තීරණය කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය අයින් කරනවද නැද්ද කියලා.‘ වෛද්‍යවරු කියා සිටියා.

ඊළඟට වෛද්‍ය වාර්තාව ලැබුණා. පිළිකාවේ මූලික අවදිය. වෛද්‍යවරු එහෙමයි නිගමනය කරලා තිබුණේ.

අන්තිමට තයිරොයිඩ් ග්‍රන්ථීය ඉවත් කළා. ජීවිතේ හරි පුදුමයි. සිරුරේ තිබිය යුතු වටිනාම ග්‍රන්ථියක් අහිමි වුණේ එහෙමයි.

‘මූලික අවශ්‍යතාව මත අයඩින් ප්‍රතිකාර...දවස් තුනක් එකදිගට කාමරය ඇතුළේ ඉන්න වුණා.‘

ඇයට වැළඳී තිබුණේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන අවුරුදු 15-45 අතර වයස් සීමාවේ පසුවන විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට වැළඳෙන පිළිකා වර්ගයක්. ඒක තයිරොයිඩ් ග්‍රන්ථීය ආශ්‍රිතව ඇතිවන පිළිකා වර්ග කිහිපයෙන් බහුලව දකින්නට ලැබෙන පිළිකා වර්ග 2කින් එකක්. මේ පිළිකා වර්ග දෙකම මුල් අවස්ථාවේදීම හඳුනාගන්න හැකිනම් ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කරන්න පුළුවන් බවයි සාමාන්‍ය වෛද්‍ය මතය.

සිරුරේ හා මොළයේ වර්ධනයට වගේම පැවැත්මටත් දෛනික අවශ්‍ය වන ක්ෂුද්‍ර පෝෂක මූලද්‍රව්‍යයක් තමයි අයඩින් කියන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථීයේ තයිරොක්සින් හෝමෝන විශේෂය වෙන්න අයඩින් අත්‍යවශයයි. මේ අවශ්‍යතාව වැඩිපුරම බලපාන්නේ ගැහැනු ළමයින්ට. යෞවනත්වයට පත්වීමත් සමග සිරුරේ ඇතිවන ක්‍රියාකාරකම්වලට අයඩින් ඌනතාවය දැඩි බලපෑමක් කරනවා. දරුවන් පිළිසිඳ ගැනීමේදී එය ගබ්සාවීමට, මන්දමානසිකත්වය ඇති දරුවන් බිහිවීමට, මළදරු උපත්, අඩු බර ඇති දරුවන් උපදින්නේ එවැනි කරුණු නිසා බවයි වෛද්‍ය මතය.

‘අදටත් මට තයිරොක්සින් පෙති විදිහට හැම උදේකම බොන්න ඕනා. ‘

ඒත් ඇය සිය අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන ගියා. අවුරුදු 22දි විවාහ වුණා.

‘එයා මගේ හොඳම යාළුවෙක්. හිමාල් සිල්වා. මා ගැන හැම විස්තරයක්ම දැනගෙන හිටියා. අපි අතර යාළුකම ආදරය දක්වා දුර යද්දී මම පිළිකා රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා සිටියත් ජීවිතය තියෙන තුරු දෛනික තයිරොක්සින් පෙති පාවිච්චි කරන්නට වුණා. කොහොමවුණත් අන්තිමේදී අපි විවාහ වුණා. දරුවෙක් හදන්න තියෙන අවදානම වැඩිවුණත් අපිට දුවෙක් ලැබුණා. බබා ලැබෙනකල් හැම මාසෙකදීම රුධිර පරීක්ෂණ නියමවුණා. දෙවියනි නිරෝගී දරුවෙක් බිහි කරන්න තරම් මම වාසනාවන්ත වුණා. තයිරොයිඩ් ග්‍රන්ථීය අහිමි ගැහැනියකට ලැබෙන දරුවා අසාමාන්‍ය දරුවෙක් වීමේ සම්භාවිතව වැඩිවුණත් මොකක් හරි කර්ම ශාන්තියකට අපේ දූ සිඟිත්තිය නිරෝගී දරුවෙක් වුණා.‘

දැන් ඇගේ දියණිය සන්තුසී දසන්යාට අවුරුදු 12යි.මේ දූ සිඟිත්තිය චන්දිමාගෙත්, හිමාල්ගෙත් කැදැල්ලේ එකම හිමිකාරිනිය වෙන්නේ තවත් දරුවකු බිහි කිරීම අවදානම් සහිත බවට වෙන වෛද්‍ය නිගමනයත් එක්කයි.

ඇයට ජීවිතයේ අලුත් පාටක් අවශ්‍ය වුණා. අපි හැමෝගෙම ජීවිත පාට කරන්න තව කෙනකුගේ අත්වැලක් අවශ්‍යයි. ඒත් එවැනි අත්වැලක් ලබාදෙන්න හැකියාව ඇත්තේ අතලොස්සකට පමණයි. චන්දිමාගේ ආදරණීය සැමියා හිමාල් ඒ අතරින් කෙනෙක්.

‘එයා තමයි අදටත් මගේ හොඳම යාළුවා. දවසක් මං ලියපු කවියක් දැකලා මට දිගටම ලියන්න උනන්දු කළේ එයා. මගේ පළමු රසිකයා, විවේචකයා..

අන්තිමේදී චන්දිමා එයාගේ ජීවිතයේ පාට හොයාගත්තා. එහෙමත් නැතිනම් ආදරණීය සැමියා එයාගේ ජිවිතයට පාටක් එකතු කරලා දුන්නා.

‘මම පුංචි මල්කාරී කියලා ළමා කතන්දර පොතකුත්, නිද්‍රා ගීතය කියලා නවකතාවකුත් එළි දැක්වුවා.‘ ඇය කියන්නේ ජීවිතයට අලුතින් ලැබුණු පැහැය ගැන පුදුම සතුටකිනුයි.

ඇය ජීවිතය දකින්නේ වෙනස් තාලයකට. ජීවිතය එළිය කරන්න...ජීවිතයට සතුට සොයන්න...අපි කවුරුත් ජිවිතයට අලුත් දේවල් එකතු කරගත්තට, චන්දිමා වගේ වෙනම ආකල්පයක් ජීවිතය ගැන දැනෙන්නේ හරි අඩුවෙන්.

මෑතකදී එයා ජීවිතයට තවත් අලුත් පැහැයක් එකතු කරගත්තේ එයාගේ රැළි ගැහුණු කෙස් වැටිය දන් දීලයි.

මේ සද්කාර්ය කරන්නේ මහරගම රෝහල පාරේ ඉන්දිරා පිළිකා භාරය ආයතනයෙනුයි. ඒක වර්තමාන කතානායක කරූ ජයසූරිය මහතාගේ සංකල්පයකට අනුව බිහිවුණු ආයතනයක්. එහි සභාපතීත්වය දරන්නේ ඔහුගේ වැඩිමල් දියණිය වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මියයි. පිළිකා රෝගයෙන් පීඩා විඳින දහස් සංඛ්‍යාව රෝගීන්ගේ විවිධ අවශ්‍යතා ඉටු කිරීම මේ ආයතනයේ අරමුණයි. මේ ආයතනය බිහිවීමට බලපෑ කාරණාව ගැනත් කියන්න ඕනා. කරූ ජයසූරිය මහතාගේ බාල දියණිය පිළිකා රෝගය හේතුවෙන් අකාලයේ වියෝවීම නිසයි මේ පුණ්‍යායතනය ආරම්භ කිරිමට ඔවුන් කටයුතු කළේ. ආයතනයේ වැඩසටහන් අතර විශේෂිතම වැඩ සටහන තමයි හිසකෙස් පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කටයුත්ත. ඒක හිතට ගොඩාක් දැනෙන කාරණාවක්. පිළිකා රෝගය නිසා හිසකෙස් අහිමිවූවන්ට කෘත්‍රිම කොණ්ඩා සකස් කරන්නයි මේ හිසකෙස් භාවිත කරන්නේ.

පසුගිය කාලයේ දී ඔවුන් අනුරාධපුරයේ දී සිදුකළ හිසකෙස් දන්දීමේ පින්කම ගැනත් ලියන්න ඕනා. මේ පින්කමට එදා සහභාගි වුණු පිරිස 806ක් වුණා. ඒක ලංකාවේ වගේම දකුණු ආසියාවේම එක දවසකට විශාල පිරිසක් හිසකෙස් දන් දුන් අවස්ථාව ලෙස වාර්තා වුණා. එදා පැය හතරක කාලයක් තුළ හිසකෙස් කිලෝ 37ක් එකතු වුණා කියලයි කියන්නේ. මේ සද්කාර්යයට සහයෝගය දක්වන රූපලාවන්‍ය ශිල්පිනී රමණී ප්‍රනාන්දු මහත්මිය නොමිලේ ඒ කටයුතු කර දෙනවා. ඒ වගේම ඇය සහ ඇගේ කාර්ය මණ්ඩලය මෙහිදී හිසකෙස් දන්දෙන කාන්තාවන්ට අපහසුතාවකට ලක් නොවීමට ඔවුන්ගේ මුහුණට ගැලපෙන විදිහට අලංකාර මෝස්තරයකට අනුවයි මෙය සිදුකරන්නේ.

‘එයාලා හිසකෙස් අඟල් අටක් දිගටයි ඉල්ලන්නේ. ඒත් මගේ රැළි කොණ්ඩේ දිග හැරියම අඟල් 16ක් වුණා. මම මුළු කොණ්ඩෙම දන් දීලා හිස මුඩුකරගත්තා.‘ චන්දිමා එසේ කියන්නේ හිනාවෙවි. පුදුමයට කරුණ කියන්නේ ඇයත් සමග මේ සද්කාර්යයට ඇගේ පුංචි දියණියත් එකතුවීමයි.

‘මේ වෙද්දී කාගේ හෝ හිසක මගේ, දූගේ කොණ්ඩේ ඇති. ඒක කොයිතරම් දෙයක්ද..?‘

‘මට මුළු කොණ්ඩයම දීලා හිස මුඩු කරගත්තේ ඒ හරහා මට අපේ සමාජයට පණිවුඩයකුත් දෙන්න ඕන නිසයි. ඊළඟට මං මගේ මුඩු හිස සහිත ෆොටෝ ‘ෆේස්බුක්‘ පිටුවේ පළ කළා. ඒක ගොඩාක් අයගේ හිතට තදින් දැනුණා. ඉන් පස්සේ මගේ හිතවතුන් බොහෝ පිරිසක් මේ සද්කාර්යයට සම්මාදම් වුණා. ඒක මට ලොකු සතුටක්.

චන්දිමා නිරෝෂිණී..ඇය දැන් 39 හැවිරිදි එක් දරු මවක්. ආදරණීය බිරියක්..මාවතගම ප්‍රාදේශීය සභාවේ සහකාර පුස්තකාලාධිපතිනියක්.

‘මම කවි ලියනවා. කවි ලිවීමෙන් මම පුදුම සතුටක් ලබනවා. හිතට දැනෙන දේ ලියන්න...නිදහස් අදහස් ලියන්න...පුළුවන්.‘

‘ජිවිතේ කියන්නේ හරි පරිස්සමින් අවබෝධ කරගන්න ඕන දෙයක්. ප්‍රශ්න, ලෙඩ රෝග අපි හැමෝටම පොදුයි. ඒත් ඒවයේ ඇලී ගැලී හිටියොත් අපි මානසිකව මැරෙනවා. මුලින්ම අවබෝධ කරගන්න ඕනා තමන්ගේ ලෙඩේ ගැන. ඉන් මිදෙන ආකාරය ගැන දැනුවත් වෙන්න ඕනා. මම මගේ පිළිකාව ගැන ඒ කාලේ ගොඩාක් කියෙව්වා. අවබෝධ කරගත්තා.‘

‘ලෙඩක් හැදුණම මිනිස්සු ගොඩාක් වෙලාවට බලාපොරොත්තුවලින් ඈත් වෙනවා. හිතන්නේ තව ටික කාලයයිනේ ඉන්නේ කියලා. ලෙඩේට අමතරව හිතිනුත් ලෙඩ වෙනවා. ඒක නෙවෙයි කරන්න ඕනා. ජීවිතය ගැන අවබෝධයෙන් ජීවත් වීමයි. ඒක තමයි අපිට ජීවිතය පාට කරගන්න පාර පෙන්වන්නේ. ‘ චන්දිමා කියනවා.

මේ ඇය ලියූ කවියක්.

‘අසීරු ම හැමවිටම
මන්දහාසය ගෙනෙන
ආදරය පිරුණු තැන
කොතනකද ඔබ එතන‘


අදහස් 1ක් ඇත

චන්දිමා...සැබැවින්ම ඔබ දිරිය කාන්තාවක්..කියන්නට දහසක් දේ හිතට දැනුනත්,අදහස් ගලපන්න දියුණු වාග් මාලාවක් මා සතු උනත් ඉහත ලිපිය මගෙ හදවත පතුලට කිදාබැසි නියාවෙන් කිසිවක් සනිටුහන් කිරීමට අපහසු ව මා ලත් තැන ලොප් වීමි...කෙටියෙන්ම කිවහොත් ඔබ ශ්‍රේෂ්ඨ දිරිය ප්‍රියමනාප ආදරණීය චරිතයක් ප්‍රතිරූපයක් මසිතේ සිතුවම් කර ඇත..මගේ ගෞරවය මෙන්ම හදවත ලබැදි ලෙංගතුකම ඔබට පිරි නමමි. ..දිවි මග දිගු කල වොරැදේවා....

පිටු

නව අදහස දක්වන්න