එකම කොක්කට දෙන්නෙක් පැමිණෙති | දිනමිණ

එකම කොක්කට දෙන්නෙක් පැමිණෙති

ඇමරිකන් හස්ල් 59

පතල් කේස් එකේ ඉතිහාස කතාව මම එමීර්ට කියලා දීලයි තියෙන්නේ. මේක සාර්ථක වෙන්න නම් සෙනේට්තුමාගේ උදව් නැතිව බැහැයි කියන එකත් මම එයාට පහදලා දුන්නා. ඇපවෙන එකට පොරොන්දුව ඔයාගේ කටින්ම දෙන්නයි තියෙන්නේ. හරිම සිම්පල්. “

ඇමරොසෝගේ වුවමනාව සෙනේටර්ට හිරබත් කවන වචන ටික කෙසේ හෝ ඔහුගේම කටින් පිටකර ගැනීමය. හාංකවිසියක්වත් නොදත් විලියම්ස් ටයිටේනියම්වලින්ම කතාවට ගැම්ම ගත්තේය.

“ ආණ්ඩුව දැන් ලොකු ටයිටේනියම් හිඟයකට මුහුණ දීලයි ඉන්නේ. මේක ඒ තරම් දෙයක් නෙවෙයි කියලා අපිට හිතුණට ආණ්ඩුව ඉන්නේ වැලේ වැල් නැතිව. ටයිටේනියම් කියන්නේ එයාලගේ ආරක්ෂක ව්‍යාපෘතිවලට නැතුවම බැරි අමුද්‍රව්‍යයක්. සබ්මැරීන් හදන්න ටයිටේනියම් ඕනෑමයි. කොටින්ම ටයිටේනියම් නැතිව එයාලට පැවැත්මක් නැහැ. ටයිටේනියම් සප්ලයි කරන එක ගැන ආණ්ඩුවත් එක්ක එකඟතාවකට එන්න අපිට පුළුවන් වුණොත් ලොක්කොත් එක්ක තියෙන සම්බන්ධකම් හින්දා මට ආණ්ඩුව අල්ලේ නටවන්න පුළුවන්. රට යන පැත්ත තීරණය කරන්නේ එයාලා තමයි. මට කරන්න පුළුවන් දේවල්වලට ලිමිට් එකක් නැහැ කියලා ඔයාට තේරෙනවානේ. “

බියුරෝවට ජයග්‍රහණය ගෙනෙන වචන කිහිපය ළඟටම සෙනේට්වරයා ආවත් ඇමරෝසෝට තවමත් හිතට හරි නැත. සෙනේට්වරයාගේ බෙල්ලටම තොණ්ඩුව තද කිරීමට අවශ්‍ය වචන එයාකාරයෙන්ම කටින් පන්නා ගැනීමට ඇමරොසෝ තවත් ගුණ්ඩුවක් දැම්මේය.

“ ඒ ඔක්කොම හරි සෙනේට්තුමා. ඒත් ඔයා තාමත් යසීර්ට කිව්වේ නැහැනේ ආණ්ඩුවත් එක්ක එකතුවෙලා ඔයාට ටක්කෙටම මොනවද කරන්න පුළුවන් කියලා. යසීර්ට සැනසිල්ලේ නින්ද යන්නේ ඒක දැනගත්තම තමයි."

එවර සෙනේටර් වෙනුවෙන් කතා කළේ එරිචෙට්ටිය.

“ මෙච්චරයි. සෙනේටර් නැතුව ටයිටේනියමුත් නැහැ. පතල් සංස්ථාවකුත් නැහැ. සෙනේට් මණ්ඩලයේ එයාට තියෙන තත්ත්වෙත් එක්ක සෙනේටර්ට දැනෙන්නේ නැතිව ආණ්ඩුවට කිඹුහුමක් වත් යවන්න බැහැ. ඒ තරම් ලොකු බලයක් එයාට තියෙනවා. ඔයාගේ අනික් පෝස්ට් එක මොකද්ද, කම්කරු කොමිසමේ සභාපතිද මොකද්ද කියන එක......?

“ ඔව්, මම දැන් අවුරුදු ගාණක ඉඳලා ඒකේ සභාපති. ඒ කියන්නේ මම කෙළින්ම, වැඩ කරන්නේ ආණ්ඩුවේ තීරණ ගන්න උදවියත් එක්ක. එයාලට මාව විශ්වාසයි.“

“ හරි, තේරුණා. ඒත්.....“ තවමත් ඇමරෝසෝගේ හිතට හරි නැත.

“ මම එයාලට හුඟක් සමීපයි. අනික් මොන දේටත් වඩා මට මේ පතල් බිස්නස් වැඩේ විශ්වාසයි. ඒක තිතටම වැඩ කරනවා ෂුවර්. මම ඒක ගැන අපේ ජනාධිපතිතුමා ( ජිමී කාටර් ) එක්ක කෙළින්ම කතා කරන්න පොරොන්දු වෙනවා. එහෙම කතා කරලා එයාව මේ ඩීල් එකට කොහොම හරි කැමති කර ගන්නවා. රටට හොඳ දේ ගැන අපි ඇරෙන්න වෙන කවුද හරියට දන්නේ ?“

ඒ වන විට සෙනේටර් විලියම්ස් හොඳටම සුසර වී අපරාධ අධිකරණය වෙත යාමේ නිවැරදි පාරට වැටී සිටියේය. ඇමරිකානු ජනපතිට අමතරව රජයේ තමා සමඟ සම්බන්ධකම් ඇති සෙසු වගකිව යුතු රාජ්‍ය තාන්ත්‍රිකයන් ගැනද හේ පුරසාරම් දොඩන්නට පටන් ගත්තේය.

“ කාටර් විතරක් නෙවෙයි. උප ජනාධිපති වෝල්ටර් මොන්ඩේල්, රාජ්‍ය ලේකම්, ආරක්ෂක ලේකම් වගේ ලොකු ලොකු ඔක්කොම මට හරිම හිතවත්. මම කිව්වොත් පණ වුණත් දේවි. ඒ නිසා එයාලා හරහා ඔයාලගේ පතල් කම්පැනි එකට කොන්ත්‍රාත් අරගෙන දෙන එක මට සුළු දෙයක්. “

“ එතකොට සමාගමේ ඔයාගේ කොටස් ගැන මොකද තත්වේ ? දිගටම ඒවාට පෙනී ඉන්නේ ඔයාගේ නීතිඥයාද?“ ඇමරෝසෝ යළිත් ඇම දැම්මේ එයද සෙනේටර් ලවාම තහවුරු කර ගැනීමටය.

“ ඔව් මට ඇලෙක්ස් (ෆෙයින්බර්ග්) විශ්වාසයි. එයා දිගටම මගේ කොටස් වෙනුවෙන් පෙනී ඉඳීවි. නැත්නම් මට වෙන්නේ නිකම් උසාවි ගාණේ රස්තියාදු වෙන්න. “

සංවාදය පුරා වචනයක්වත් නොකී යසීර් සිනහවක් දැම්මේ, සියල්ල තේරුම්ගත් බව අඟවන නියාවෙනි. සෙනේටර් විලියම්ස්ට අවශ්‍ය තිරයෙන් පිටුපස හිඳගෙන ක්‍රීඩාව මෙහෙයවා අනවශ්‍ය කරදරවල වැටෙන්නේ නැතිවම ජයග්‍රහණයේ මිහිරි ඵල භුක්ති විඳීමටය. එම තීරණාත්මක හමුවෙන් පසුදිනම ෆෙයින්බර්ග්ගෙන් වෙයින්බර්ග්ට දුරකතන ඇමතුමක් ලැබුණි. එය යසීර් සමඟ හමුව අති සාර්ථක බවට ලැබුණු මංගල ලකුණක් විය.

“ මෙල් ඒක නම් නියමයි ! සෙනේටර් ඒ වගේ චූන් එකේ ඉන්නවා මම දැකලම නැහැ. ඊයේ යසීර් ගාවදි වැඩේ නියමට කරන්න පුළුවන් වුණා කියලා මිනිහාට මාර සතුටක් තියෙන්නේ. බලන්න එපායැ මිනිහාගේ මූණේ සිරියාව, එයා මට කතාව කියද්දී. පැණි බේරෙනවා. අනේ පව්, පොඩි එකෙක් වගේ. “

නමුත් ප්‍රීති වෙමින්, සතුට සැමරීමට තරම් ඉස්පාසුවක් ඇබ්ස්කැම් කණ්ඩායමට තිබුණේ නැත. යසීර්ගේ හමුවට පසුදාම වෙයින්බර්ග් ඇමරොසෝ සමඟ යළිත්, ලෝන්ග් අයිලන්ඩ් බලා ගියේ, නිව් ජර්සි ප්‍රාන්ත ඩිමොක්‍රටික් පක්ෂ සභාපති රිචඩ් කොෆී හමුවිමටය. එරිචෙට්ටි විසින් සංවිධානය කර තිබුණු මෙම හමුව කාලයක සිට කල් ඇදෙමින් තිබූ නිසා හදිසියේ උදාවූ එම අවස්ථාව ජයග්‍රහණය සැමරීමේ ප්‍රීතිය වෙනුවෙන් කල් දැමීමට හැකියාවක් තිබුණේ නැත. කොෆී ඉදිරිපත්වී සිටියේ නිව් ජර්සි නුවර ඉදිවන්නට නියමිත අබ්දුල්ගේ චෙක්පත් මුදල් කිරීමේ මධ්‍යස්ථානවලට අවශ්‍ය හොර බලපත්‍ර ලබාදීමටය. එරිචෙට්ටි ගනුදෙනු ගැන විස්තර කළේය.

“ නිව් ජර්සිවල කැසිනෝ හදනවා කියන්නේ ගඟ ගලනවා වගේ සල්ලි ගලන වැඩක්. කොටින්ම අබ්දුල්ට එයාගේ කැසිනෝ සල්ලිවලට කරකියාගන්න දෙයක් නැතිවෙයි. ඔය කළු සල්ලි මැනේජ් කරන්න හොඳම වැඩේ තමයි ඒවා චෙක්වලට මාරුකරලා දෙන එක. අපේ සභාපතිතුමා ඉන්නේ ඒකට තමයි. නිව් ජර්සිවල චෙක් මාරු කරන තැන්වලට ඕනකරන පර්මිට් විතරක් නෙවෙයි, අබ්දුල්ට නිව් ජර්සිවල ඕනෑම ජාවාරමක් කරන්න වුණොත් අපේ සභාපතිතුමා ඕනෑ උදව්වක් කරාවි. ඒ වගේ දේවල්වලට අවශ්‍ය කරන කට්ටිය ඔක්කොම ඉන්නේ එයාගේ සාක්කුවේ.“

ගනුදෙනුවේ එකඟතාව අබ්දුල් කොෆීගේ උදව් වෙනුවෙන් ඩොලර් පනස්දහසක අල්ලසක් ගෙවීමටය. ඉන් භාගයක් ගියේ එරිචෙට්ටිට වුවත්, තමාගේ කොටහින් හරි අඩක් වෙයින්බර්ග් සමඟ බෙදාහදා ගැනීම ගැන නගරාධිපතිට කිසිම ගැටලුවක් තිබුණේ නැත. කොෆී සිය පුරාජේරුව දිගහරිද්දී ඒ සියල්ල ගජරාමේට පටිගත කෙරිණි. ඊට යාබද කාමරයේ සිටි එෆ්.බී.අයි. නැඟෙනහිර ප්‍රහාර බළකායේ ප්‍රධානී ටොම් පූචියෝගේ කණ්ඩායමේ ඇස් කන් යොමුව තිබුණේ තමන් ඉදිරියේ වූ වීඩියෝ තිර මත දිගහැරෙන, බැටලු සම් පොරවාගත් තවත් වැදගත් රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ දෙබිඩි ක්‍රියාකලාපය දෙසටය. ඒ හාංකවිසියක්වත් නොදත් කොෆී දිගටම තමන්ගේ හැකියාවන් කියවාගෙන ගියේය.

“ මම රාජ්‍ය මන්ත්‍රණ සභාවේත් ගෙවීම් ලබන සාමාජිකයෙක්. බයර්න් ආණ්ඩුකාරතැනගේ ළඟම උපදේශකවරයෙක්. එයාගේ කැම්පේන් දෙකක්ම කළේ මම. ධවල මන්දිරේ මට මගේ ගේ වගේ. “

කොෆී ඊළඟට හැරුණේ එරිචෙට්ටි වෙතය. ඔහු දෙසට අත දිගුකර කාටත් පෙන්වූ කොෆී යළිත් කතාව නැවැත්වූ තැනින් පටන් ගත්තේය.

“ ඔයාලා අදනේ මං ගැන දැනගත්තේ. ඒත් ඔයාලා දැන් කාලයක ඉඳලා එරික්ව දන්නවානේ. එයා මං ගැන වචනේ දීලනේ තියෙන්නේ. ඒක විශ්වාස කරන්න. එයා ඔය කාටත් වඩා හොඳට මා ගැන දන්නවා. මට වැඩක් දුන්නොත් දුන්නම තමයි. ගාණට ඔක්කොම කෙරිලා තියේවි. “

ඇමරොසෝ තවමත් සෑහීමට පත්ව සිටියේ නැත. සංවාදය අතර යෝජිත අල්ලස් මුදල වූ ඩොලර් පනස්දහස ගැන දෙතුන්වරක්ම කියැවිණි. රජයට බලපෑම් කිරීම වෙනුවෙන් කොෆීට අල්ලසක් ගෙවීමට අබ්දුල් සූදානම් බවත්, එම මැදිහත්වීම් වෙනුවෙන් ඩොලර් පනස්දහසක් වුවද ගෙවන්නට හැකි බවත්, ඇමරොසෝ යළි යළිත් කියද්දී කොෆීට එක් දෙයක් පැහැදිලි විය. ඒ මොන ජාවාරමකින් හෝ චෙක් මාරු කිරීමේ බලපත්‍ර ලබාගැනීමට අබ්දුල්ට අවශ්‍යව ඇති බවයි. කැසිනෝවලින් උනන කළු සල්ලි ජාවාරම් කිරීමට තිබූ හොඳම විකල්පය එය විය. නමුත් ඇමරොසෝ අඟවා සිටියේ කොෆීගේ තත්වයේ කෙනකුට බලපත්‍ර ලබාගැනීම පහසු කාර්යක් නිසා ඩොලර් පනස්දහසක් ගෙවීමට අවශ්‍ය නැති බවයි. ඇමරොසෝගේ මේ උප්පරවැට්ටියේ ප්‍රතිඵලය රජයට බලපෑම් කිරීමට තමා සතු හැකියාව ගැන කොෆී තව තවත් පුරා‍ජේරු ගැසීමය. ඒ අතර ඇමරොසෝ මෙන්ම යාබද කාමරයේ සිටි ඔහුගේ ප්‍රහාරාත්මක බළකායේ ප්‍රධානියාද ගැටලුවකට මැදිව සිටියේය. චෙක්පත් මුදලට මාරුකිරීමට අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමට, රාජ්‍ය බැංකු කොමසාරිස්වරයා සමඟ තිබෙන ඇඟෑලුම්කම අතකොලුවක් කරගැනීමට එකඟවීම මඟින් කොෆී ෆෙඩරල් නීති උල්ලංඝනය කර තිබේද යන්න දෙදෙනාටම නිශ්චිතවම කීමේ හැකියාවක් තිබුණේ නැත. ඇමරොසෝ පුදුමයෙන් පුදුමයට පත් කරමින් මේසය මතවූ දුරකතනය හැඬවෙන්නට ගත්තේය. ඒ කොෆීගේ කටින් වචන පන්නා ගැනීමේ උපක්‍රමශීලී සටන මැද සිතේ ඇතිවූ ගැටලුව විසඳාගැනීමේ නිහඬ අරගලයක ඇමරොසෝ නිරතව සිටියදීය.

“ දැන්ම කොෆීට සතයක්වත් දෙන්න එපා. අර මෙල් කරනවා වගේ පුළුවන් තරම් කල් ඉල්ලන්න. ඒ කාලේදි අපිට පුළුවන් කොෆී පර්මිට් අරන්දෙන එකෙන් ෆෙඩරල් නීති උල්ලංඝනය වෙනවද කියන එක හරියටම හොයලා බලන්න.“ පූචියෝ එලෙස උපදෙස් දුන්නේ ඇමරොසෝගේ ගැටලුවට විසඳුමක් ලබා දෙමිනි.

මුදලට ගිජු නගරාධිපති සිටියේ හිස් අතින්ම ආපසු යන්නට සිදුවීම ගැන පුපුරමිනි. අල්ලස් දීමට පෙර තවත් හමුවක් සූදානම් කළ යුතු බව අවසානයේදී තීරණය විය. රිචඩ් කොෆී සමඟ එරිචෙට්ටි පිටව ගිය සැණින් වෙයින්බර්ග් ඇමරොසෝ වෙත හැරුණේය. සිතේ උපන් පුදුමය පිටකර හැරීමට වචනයක්වත් කියා ගැනීමට නොහැකිව හේ එතෙක්වෙලා සිටියේ සෑහෙන අපහසුවකිනි.

“ ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද ඇන්ට් ( ඇන්තනි ඇමරොසෝ ) මිනිහා අපිට මුලු නිව් ජර්සි ප්‍රාන්තෙම විකුණන්නයි යන්නේ ! මේක නම් විශ්වාස කරන්න බැරි තරම් පුදුමයක්.මේ ආණ්ඩුවේ ලොක්කෝ මේ තරම් හොරු කියලා කවුද හිතුවේ . බලාගෙන ගියාම, ආණ්ඩුවේත් ඉන්න තරමක් ඉන්නේ හොරුනේ ! එකාට එකා හොරකම් කරනවා. මෙහෙම ගියොත් මුන් එකතුවෙලා ඇමරිකාවම විකුණලා තමයි නවතින්නේ. “

වෙයින්බර්ග්ගේ එම කතාව ඇත්ත බව පිළිගැනීමට ඇමරොසෝට මෙන්ම එෆ්.බී,අයි. අධීක්ෂණ නිලධාරි ජෝන් ගුඩ්ටද සිදුවිය.

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

සඳුදා - ඩබල් ගේම් එළියට පනී

නව අදහස දක්වන්න