පිලිපීනය හරි වැදගත් | දිනමිණ

පිලිපීනය හරි වැදගත්

පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර පවත්නා සම්බන්ධතා යළිත් වැඩිදියුණු වන බවක් පෙනෙන්නට තිබේ. අප එවැන්නක් තහවුරු කරනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන සංචාරය උපුටා දක්වමින් ය. ජනාධිපතිවරයාට පිලිපීනයේ දී ඉතා උසස් පිළිගැනීමක් ලැබිණි. මෙතෙක් පැවැති සාකච්ඡාවලින් පෙනී යන්නේ පිලිපීනයට ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමේ අවශ්‍යතාවක් ඇති බව ය. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සාධක විමර්ශනය කළහොත් පිලිපීනයෙන් අපට ලබාගත හැකි ආදර්ශ සේම සහයෝගය ද සුළුපටු වන්නේ නැත.

ආසියාවේ ගිණිකොන දිසාවට වන්නට පිහිටි පිලිපීනය දූපත් රාජ්‍යයෙකි. දූපත් හත්දහස් ගණනකින් සමන්විත මේ රාජ්‍යය ප්‍රධාන දූපත් කිහිපයක සම්පත් මත ලෝක අවධානයට ලක්වී ඇත. ලෝකයේ මානව සම්පත අතින් ගතහොත් පිලිපීනයට ලැබෙන තැන ඉහළ ය. ආසියාවේ ජනගහනය අතින් බැලුවහොත් හත්වන ස්ථානය හිමිකරගන්නා රාජ්‍ය පිලිපීනය වෙයි. ලෝකයේ ජනගහනය අතින් ගතහොත් දොළොස් වන ස්ථානය හිමිකරගන්නා රාජ්‍යය පිලිපීනය වෙයි.

නූතන පිලිපීනය කෘෂිකාර්මික හා කාර්මික යන අංශ දෙකෙන්ම ඉදිරියට පැමිණි රාජ්‍යයෙකි. එහි ඇති වැඩසටහන්වලින් අපට බොහෝ ආදර්ශ ලබා ගත හැකි ය.

පිලිපීනය 1800 ගණන්වලදී ස්පාඤ්ඤයට යටත් වූ අතර අධිරාජ්‍යවාදිහු පිලිපීනයේ දේශීය තාක්ෂණය හා දේශීය සම්ප්‍රදාය බිඳ දැමූහ. එහෙත් නිදහසින් පසු දේශීය තාක්ෂණය, දේශීය සම්ප්‍රදාය හා නූතන ක්‍රමවේද ඔස්සේ රට ගොඩනඟන්නට පාලකයෝ සමත්වූහ. ආසියාවේ පවතින දියුණු රාජ්‍යයක් ලෙස නූතන පිලිපීනය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර දේශපාලන හා ආර්ථික සබඳතා පටන්ගෙන ඇත්තේ මීට බොහෝ කලකට පෙර සිට ය. අදත් එම සබඳතා බාධාවකින් තොරව පවතී. ශ්‍රී ලංකාව හා පිලිපීනය ගතහොත් බොහෝ අංශවලින් සාම්‍යයක් පෙන්නුම් කරයි.

ස්වභාවික විපත් පිලිපීනයට අරුමයක් නො වේ. එය ගිනිකඳු වළල්ලක පිහිටි අතර සාගරයේ බලපෑමෙන් තොර වන්නේ නැත. සුළි කුණාටු, සුනාමි, භූමිකම්පා පමණක් නො ව ගංවතුර ද පිලිපීනයට බලපාන ස්වභාවික විපත් ලෙස සැලැකිය හැකි ය. 2011 වර්ෂය සුළි කුණාටුව 2013 හයියාන් සුළි කුණාටුව අපගේ මතකයේ ගිලිහී යන්නේ නැත. මේ කුණාටුවලින් අනාථ වූ පිරිසට ශ්‍රී ලංකාවෙන් ආධාර යවා තිබේ. එයින් සනාථ වන්නේ අපේ රටවල් දෙක අතර ඇති සමීප සම්බන්ධතාවයි. බණ්ඩාරනායක රාජ්‍ය පාලන සමයේ සිට ගොඩනැගුණු බලවත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් අපට තිබේ. අදටත් එය බිඳී ‍ෙගාස් නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන චාරිකාවේදී රටවල් දෙකට ම වැදගත් ගිවිසුම් හයක් අස්සන් කිරීමට නියමිත ය. මේ ගිවිසුම් දෙරටේ ආර්ථික, සංචාරක, අධ්‍යාපන හා සංස්කෘතික යන අංශවලට ඇතුළත් වේ. ආර්ථික යන ක්ෂේත්‍රය කෘෂිකාර්මික, කාර්මික රැකියා යන උප ක්ෂේත්‍රවලට ද ඇතුළත් බව කිව යුතු ය. කෘෂිකර්මය අතින් ගතහොත් පිලිපීනය ආසියාවේ කැපී පෙනෙන රාජ්‍යයක් බව සඳහන් කළ යුතු ය. වී, පොල්, දුම්කොළ, ඉරිඟු, තිරිඟු, රටකජු යන වගාවලට පිලිපීනය ප්‍රකට ය. හෙල්මළු කුඹුරු සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රකට ම රාජ්‍යය පිලිපීනය බවද මෙහිලා සඳහන් කළ යුතුය.

කාර්මික අංශයේ ගතහොත්; ඛනිජ තෙල්වල සිට රසායනික ද්‍රව්‍ය රාශියක් නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට නිකුත් කිරීමට පිලිපීනය සමත් වී ඇත. මේ නිෂ්පාදන ආශ්‍රිතව ගොඩනැගුණු අතුරු කර්මාන්ත රාශියක් පිලිපීනයට ඇත. පිලිපීනයේ රැකියා අවස්ථා විශාල වශයෙන් ඇති බවක් ද එයින් පැහැදිලි වෙයි. ඒ හැරෙන්නට පිලිපීනය විශේෂඥ ඥානයට හැමවිට ම සලකයි. විශේෂඥයන්ගේ සේවාව ලබාගැනීමට පිලිපීනය අපේක්ෂා‍ෙවන් සිටී. ශ්‍රී ලංකාවට මෙය කදිම අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි ය. ශ්‍රී ලංකාවට විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයෝ සිටිති. එහෙත් ඔවුනට තම දැනුම භාවිත කිරීමට තැනක් නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල සංචාරයේදී අස්සන් තබනු ලබන ද්විපාර්ශ්වික ගිවිසුම් හයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. එය බුද්ධිමත් තීරණයක් ලෙස සැලැකිය හැකි ය. පිලිපීනය, වියට්නාමය වැනි රටවල් සමඟ සමීප සබඳතා පවත්වමින් ආර්ථික ක්ෂේත්‍රයේදී සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් බව පෙනීයන්නේ ලෝක ආර්ථිකයේ ස්වභාවය හා එහි ප්‍රවණතා විශ්ලේෂණ කරනවිටය. වියට්නාමය, පිලිපීනය, තායිවානය, කොරියාව, සිංගප්පුරුව වැනි රටවල් චීනය හා ඉන්දියාව හැරුණුකොට ආසියාවේ ආර්ථික බලවතුන් බවට නැගී එමින් සිටින බව ආර්ථික දර්ශක ගණනාවකින් පෙන්නුම් කර දී ඇත. මේ සාධක අමතක කොට හෝ මගහැර හෝ අපේ ආර්ථික ගමන් මඟ තෝරාගත නො හැකි ය. ඒ අතින් බලනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරදක්නා ඥානයකින් යුතුව පිලිපීන චාරිකාව ආරම්භ කර ඇති බව පෙනී යයි.

ලෝකයේ බලවත් රටවල ආධාර පමණක් නොව; ඇතැම්විට ණය පවා ගත යුතු ය. ඒවාට සම්බන්ධ නො වී රටක් ගොඩනැඟීම අපහසු ය. ලෝක බැංකුවේ හිටපු සභාපතිවරයකු වූ ‍රොබට් මැක්නමාරා වරක් සඳහන් කර ඇත්තේ ණය ලබානොගන්නා රටවල් දියුණු නොවන බව ය. ණය ලබාගැනීම, ගිවිසුම් අස්සන් කිරීම හා තවත් දේවල් සිදුවිය යුත්තේ අපට ගැළපෙන ලෙස ය. ජනාධිපතිවරයා පිලිපීනයේ සංචාරයක නිරත වන්නේ ද අපට ගැළපෙන නිසා විය යුතු ය. කෙසේ වුව මේ සංචාරයේ ප්‍රතිඵලය වඩාත් සුබදායක වනු ඇත.

 


නව අදහස දක්වන්න