පාරිභෝගිකයා මුලාකරමින් ජනතාවට වස කවන ජාවාරම්කරුවෝ | දිනමිණ

පාරිභෝගිකයා මුලාකරමින් ජනතාවට වස කවන ජාවාරම්කරුවෝ

විජයානි එදිරිසිංහ

මහජනතාවට වස විස නැති ආහාර ද්‍රව්‍ය කැවීමෙන් වැළැක්වීම වර්තමාන රජයේ ප්‍රධාන අරමුණකි. ඒ අතර කෘෂි භෝග ආදියට ද වස විස ඇති භයානක රසායනික ද්‍රව්‍ය ඉසීම ද ඒවා ආනයනය කිරීම ද වළක්වා තිබේ. එහෙත් ඇතැම් ව්‍යාපාරිකයන්ගේ මුදල් ඉපැයීමේ අරමුණ මත නරක් වූ ආහාර ද්‍රව්‍ය හා වෙනත් දෑ ඉවත් කිරීම වෙනුවට යළි යළිත් ශුද්ධ කර සුළු මුදලකට හෝ අලෙවි කිරීම සිදුවෙයි. මේවා මිනිස් සිරුරට මොන තරම් හානිකර වුවත් කූට ව්‍යාපාරිකයන්, වෙළෙන්දන් විසින් එසේ වස විස කවන්නේ හිතාමතා එහි අහිතකර භාවය දැනගෙනමය. පිරිසිදු කළ පානීය ජල බෝතල් වෙනුවට ‍පිටකොටුව, කොටුව සහ වෙනත් නගරවල නියමිත ලේබලයක්, ප්‍රමිති සහතිකයක් නොමැති පයිප්පවලින් පුරවා සිසිල් කර අලෙවි කරන ජල බෝතල් ව්‍යාපාරය ප්‍රසිද්ධ රහසකි.

පාරිභෝගිකයා මුලාකරමින් ආහාර සහ වෙනත් පාරිභෝගික ද්‍රව්‍යවල කල් ඉකුත්වන දිනය වෙනස් කිරීමේ ව්‍යාපාරික ජාවාරම රට පුරා මහා පරිමාණයෙන් ඉතා සූක්ෂමව සිදුකෙරෙන ජාවාරමක් බවට පත් වී ඇත.

ආහාර ද්‍රව්‍ය පමණක් නොව මරණාසන්නව සිටින පිළිකා සහ වෙනත් එවැනිම දරුණු ලෙඩ රෝගවලට දෙන ඖෂධ වර්ග ද ඇතුළත්ව පෙනඩෝල් පෙත්තේ සිට සෑම ඖෂධ වර්ගයකම කල් ඉකුත්වන දිනය වෙනස් කර නැවත පාරිභෝජනයට යොමුකිරීමේ මේ ජාවාරම හරහා සිදුකෙරෙන්නේ මේ රටේ ජනතාවට අමු අමුවේ වස විස කැවීමක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු දෙයක් නොවේ.

වෙළෙඳපොළේ ඇති විවිධ ක්ෂණික ආහාර ද්‍රව්‍ය වූ නූඩ්ල්ස් වර්ග පිටි සහිත ආහාර වර්ග ද, පැණි රස ආහාර ද්‍රව්‍ය, පැණි බීම, කිරිපිටි ආදිය ද, චීස්, බටර් ආදිය ද, බිස්කට් ආදිය, කුළුබඩු වර්ග ද, බටර් ජෑම්, හැම්, බේකන්, සැමන් සහ වෙනත් ටින් කෑම, සහල්, පරිප්පු ඇතුළු පැකට් කළ ආහාර, පැකට් කරන ලද හතු වර්ග සහ කොළ වර්ග ද, ඇපල් වැනි පලතුරු වර්ග ද, චොක්ලට් ආදිය ද සහිතව සෑම ආහාර ද්‍රව්‍යයකම කල් ඉකුත්වන දිනය වෙනස් කර නැවතත් නැවත කල් ඉකුත්වන දිනයක් සඳහන් කර තිබීම විශාල වශයෙන් සිදුවෙන බව රටේ සාමාන්‍ය ජනතාව දන්නා කරුණකි. ඇතැම් ව්‍යාපාරික ආයතනවල වෙළෙඳ නාමය අනුව එම වෙළෙඳ ව්‍යාපාරය මගින් හොඳ පිරිසිදු ආහාර ද්‍රව්‍ය සොසේජස් ආදිය කල් ඉකුත්වන දිනය වන විටම වෙළෙඳ සල්වලින් ඉවත් කළද තවත් බොහෝ ව්‍යාපාරික ආයතන එම ආහාර ද්‍රව්‍ය ආපසු ව්‍යාපාරික ආයතනයට ගෙනැවිත් යළිත් ඒවා වෙනස් කර අලුත් දිනයක් යොදා නැවත වෙළෙඳපොළට එක්කරයි. විශේෂයෙන් පලතුරු බීම, පැණි බීම, කිරි පැකට් ආදියේ දිනය වෙනස් කළද ඒවායේ විෂබීජ ගොඩගැසී පණුවන් ඇතිවන තත්ත්වයට ද පත්වී පාරිභෝගිකයාට හසුවී තිබේ.

පිටකොටුව, කොටුව ආදී තොග වශයෙන් සහල්, කරවල, පරිප්පු විශාල වශයෙන් අලෙවි වන ආහාර ද්‍රව්‍ය අතර කල් ඉකුත් වී පණුවන්, ගුල්ලන් ගැසූ සහල්, පරිප්පු ආදිය නැවතත් ගබඩා වෙත ගෙන ගොස් ශුද්ධ කර යළි වියළා නැවත පැකට් කර අලෙවි කෙරේ. පසුගිය කාලයේදී විදේශ රටවලින් ආනයනය කරන ලද එවැනි බාස්මතී සහල් කන්ටේනර් ගණනාවක් ඒ ආකාරයෙන් නරක් වී තිබියදී යළිත් ශුද්ධ කර වෙළෙඳපොළට යැවීමේ මහා පරිමාණ ජාවාරමක් කොටුකර ගැනීමට හැකි විය. පසුගිය කාලයේදී පාරිභෝගික අධිකාරිය මගින් එවැනි වැටලීම් විශාල ප්‍රමාණයක් සිදුකළ අතර එම පාරිභෝගික අධිකාරියේ හිටපු ඉහළම නිලධාරියෙක් වැටලීම් නිලධාරීන් කළ වැටලීම්වලට නඩු පැවරීම වෙනුවට හිතවත් ව්‍යාපාරිකයන්ට ඒවා නිදහස් කර දුන් බවට ද තොරතුරු ලැබී තිබුණි.

මේ ආකාරයෙන් පාරිභෝගික අධිකාරියේ කණ්ඩායම දෙසීයකට වැඩි ප්‍රමාණයක් රටපුරා මෙහෙයුම් සිදුකරමින් වස විස සහිත ආහාර අලෙවි කරන පිරිස කොටුකර ගැනිණි. ඒ ආකාරයෙන් කළ වැටලීම් අතර මෙරටට පරිප්පු ආනයනය කරන එක්තරා ආයතනයක නරක් වූ පරිප්පු සෝදා වියළා යළිත් පැකට් කිරීමේ ජාවාරමක් කොටුකර ගැනීමට හැකි විය. එසේ කොටුකර ගත් පරිප්පු ආනයනික ආයතනයක පරිප්පු තොග වේළීමට දමා තිබූ පැදුරුවල සුනඛයන් නිදාගෙන සිටි අවස්ථා ද ඡායාරූපගත කිරීමට හැකි විය. විශේෂයෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය මෙන්ම මෙරට විවිධ ආහාර ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය පැකට් කරන ආයතන මඟින් එම කල් ඉකුත්වූ ආහාර නැවත පැකට් කිරිමේ ජාවාරම කරගෙන යන බවට තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකිවිය.

වියළි කරවල වර්ග අලෙවි කරන ඇතැම් ව්‍යාපාරවල එම කරවල තොග අතර කල් ඉකුත් වී පණුවන්, පණු බිත්තර ඇති කරවල තොග නිරතුරුවම දක්නට ඇති දෙයකි. මේ කරවල ශුද්ධකර නැවත වේලා පරිභෝජනයට යෙදීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ.

තවද සෝස් වර්ග නිෂ්පාදනය කරන ඇතැම් ව්‍යාපාරික ආයතන දින ඉකුත් වූ සෝස් බෝතල්, ජෑම් ආදියේ ද, චිලිපේස්ට් සහ වෙනත් බෝතල් කළ ආහාර වර්ගවලද, චුයින්ගම්, චොකලට් ආදී කෙටි ආහාර වර්ගවලද කල් ඉකුත් වූ දින වෙනස් කිරීම සම්බන්ධව පාරිභෝගික අධිකාරියට පැමිණිලි විශාල වශයෙන් ලැබී තිබුණි. පැමිණිලි ලැබී තිබූ තරමටම වැටලීම් සිදු නොවේ.

මහජනතාවට වස විස නැති ආහාර ද්‍රව්‍ය කැවීමෙන් වැළැක්වීම වර්තමාන රජයේ ප්‍රධාන අරමුණකි. ඒ අතර කෘෂි භෝග ආදියට ද වස විස ඇති භයානක රසායනික ද්‍රව්‍ය ඉසීම ද ඒවා ආනයනය කිරීම ද වළක්වා තිබේ.

එහෙත් ඇතැම් ව්‍යාපාරිකයන්ගේ මුදල් ඉපැයීමේ අරමුණ මත නරක් වූ ආහාර ද්‍රව්‍ය හා වෙනත් දෑ ඉවත් කිරීම වෙනුවට යළි යළිත් ශුද්ධ කර සුළු මුදලකට හෝ අලෙවි කිරීම සිදුවෙයි.

මේවා මිනිස් සිරුරට මොන තරම් හානිකර වුවත් කූට ව්‍යාපාරිකයන්, වෙළෙන්දන් විසින් එසේ වස විස කවන්නේ හිතාමතා එහි අහිතකර භාවය දැනගෙනමය. පිරිසිදු කළ පානීය ජල බෝතල් වෙනුවට ‍පිටකොටුව, කොටුව සහ වෙනත් නගරවල නියමිත ලේබලයක්, ප්‍රමිති සහතිකයක් නොමැති පයිප්පවලින් පුරවා සිසිල් කර අලෙවි කරන ජල බෝතල් ව්‍යාපාරය ප්‍රසිද්ධ රහසකි. එසේම සුපිරි වෙළෙඳසල්වල නරක් වී ඉවත් කරන එළවළු, පලතුරු සහ වෙනත් ආහාර ද්‍රව්‍යවල නරක් වූ කොටස ඉවත් කර ඉතිරි කොටස ආහාර පිළියෙළ කිරීමට හෝ ආහාරයට ගැනීමට සුදුසුවන පරිදි කපා සකස් කර කුඩා ප්ලේට්වලට දමා අලෙවි කිරීම ද සිදුවෙයි. විදේශ රටවලින් ආනයනික පලතුරු වර්ගවලට නරක් නොවීමට එන්නත් කිරීම් කිහිප වරක්ම සිදුකර තිබේ.

සාමාන්‍යයෙන් ප්‍රමිති ආයතනය මගින් ආහාර ද්‍රව්‍යවලට ප්‍රමිති සහතික අනිවාර්ය වුවත් ප්‍රමිති සහතිකය සහිතව නරක් වූ ආහාර යළි සකස් කර එම ප්‍රමිති සහතිකය යටතේත් දින වෙනස් කර අලෙවි කිරීම සිදුවෙයි.

තුනපහ කුඩු ආදියේ මිරිස්කුඩු, කහ කුඩු ආදියට පාට කුඩු වර්ග කලවම් කිරීමද සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බවට තොරතුරු හෙළිකර ගැනීමට හැකි වී තිබේ.

වස විස ශරීරගත වීම නිසා මිනිස් සිරුරට සිදුවන හානිය ජීවිතයක අවසානය දක්වා ප්‍රතිඵල ගෙන දෙන බරපතළ හානිදායක දෙයක් වෙයි. පිළිකා රෝග, වකුගඩු රෝග ශරීර අභ්‍යන්තරයේ තවත් සොයාගත නොහැකි විවිධ ආකාරයේ රෝග වර්ග, වස විස සහිත ආහාර ශරීරගතවීමෙන් ඇතිවන බව වෛද්‍ය විශේෂඥයන් විසින් අනාවරණය කරගෙන ඇත. බොහෝ අවස්ථාවල කෘත්‍රිම ආහාර වර්ග නිතර නිතර ආහාරයට ගන්නා පිරිස ද, විවිධ ද්‍රව්‍ය මිශ්‍ර කළ තෙල් වර්ග සහ වෙනත් කෘත්‍රීම ආහාර ද්‍රව්‍ය ආහාරයට ගන්නා පිරිස පිළිකා රෝගයට ගොදුරු වී ඇති පිරිස අතර වෙයි.

මේ ආකාරයෙන් ඇතැම් කූට ව්‍යාපාරික ආයතන විසින් කරනු ලබන මේ ජාවාරම් සමාජයට සිදුවන හානිය අතර කුඩා දරුවන් නිරතුරුවම සොයා‍ගත නොහැකි ලෙඩරෝගවලට ගොදුරුවීම සිදුවන බව ද වෛද්‍යවරු පවසති.

රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන රැසක කැන්ටින්වල තත්ත්වය ද එසේමය. ආහාර පිසූ විශාල හට්ටි පවා යළි සෝදා පවිත්‍ර නොකර ඒවායේ ආහාර පිසින කැන්ටින් ද වෙයි. එක් වේලක් පිස ඉතිරි වූ ආහාර නැවත පිසින ආහාරවලට එකතු කරනු ලබයි. ඇතැම් එළවළු කොළ වර්ග සෝදා පිරිසිදුවට සකස් කෙරෙන්නේ එහෙමත් කැන්ටින් ගණනාවක පමණි. සෙරෙප්පු දෙකක්වත් නොමැතිව බොහෝ කැන්ටින්වල සේවකයන් කටයුතු කරන අතර, කැන්ටින් මැස්සන්ගෙන් පිරී ඇත. එම කැන්ටින්වල වියළි ආහාර ද්‍රව්‍ය ගබඩාකර ඇති ගබඩාවල මීයන්, මී උගුල් පිරී ඇත. රාත්‍රියට ආහාර ද්‍රව්‍ය වසා නොතබන අතර මීයන් ඒවායේ එහා මෙහා දුවති. ඒවා නිසියාකාරව වසා ‍තැබෙන්නේ නැත. මේ ආකාරයෙන් බොහෝ ආයතනවල කැන්ටින්වලින් ඒවායේ සේවකයන් ආහාර ලබාගන්නේ වෙනත් කළ හැකි දෙයක් නොමැති නිසාමය. ඇතැම් ආයතනවල කැන්ටින්වල තත්ත්වය සොයා බැලීමට විශේෂ නිලධාරීන් වෛද්‍යවරු පවා යොදා සිටිති.

ඒ අතර හෝටල් ආදියේ අපිරිසිදු ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමට සැලැස්වීම ගැන හෙළිකළ හැකි දෙයකි. බොහෝ නගරවල නිරතුරුවම පාරිභෝගිකයන් ගැවසෙන හෝටල්වල පමණක් නොව ඇතැම් ඉහළ පෙළේ හෝටල් යැයි සැළකෙන ඒවායේ පවා ආහාර ද්‍රව්‍ය සකස් කෙරෙන්නේ ඉතාමත් අපිරිසිදු ආකාරයටය. දින ගණන් උයා දිනපතා රත්කරමින් පාරිභෝගිකයාට ආහාරයට දෙන මස්, මාළු හට්ටිවල පණුවන් ගසා තිබූ අවස්ථාවන් ද සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයාගත් අවස්ථා බොහෝය. පිටකොටුවේ සහ වෙනත් එළවළු ලොරි එන විශාල වෙළෙඳ මධ්‍යස්ථානවල මහා වැස්සේ එළවළු මතින් අපිරිසිදු ජලය ගලාබසින අවස්ථා ද බොහෝය. මාලඹේ පොළ අසල කීර ආදී කොළ වර්ග අලෙවි කෙරෙන්නේ ප්‍රසිද්ධ පොදු වැසිකිළි වළේ කොන්ක්‍රීට් එක මත තබාගෙනය. ඇතැම් ධීවර වෙළෙඳසල්වල මාළු පිටුපස ගොඩගසා තිබියදී එම පෙට්ටි මතට ගොඩවී බල්ලන්, පූසන් කන අවස්ථා ද දක්නට තිබේ. පිටකොටුව මැනිං වෙළෙඳපොළේ නරක් වූ එළවළු, අර්තාපල් ආදිය කපා ඉවත්කර යළි ඉතිරි කොටස වෙළෙඳපොළට එවීමට යෙදූ කණ්ඩායමක් ද වෙයි.

මේ අතර හොර අරක්කු ජාවාරම ඔස්සේ විවිධ අපවිත්‍ර ද්‍රව්‍ය යොදා කසිප්පු පෙරීම ද, ඒවා පානය කිරීමට සැලැස්වීම ද බරපතළ ලෙස වස විස ශරීරගතවීමක් වෙයි. පසුගිය කාලය තුළ මෙවැනි හොර කසිප්පු ස්කාගාර කිහිපයක්ම කොටුකර ගත් පොලිසිය හෙළිදරව් කළේ එම කසිප්පුවලට මියගිය සතුන් පවා ඇතුළත් කර තිබූ බවයි.

මාළුවලට පෝමලින් වැනි ද්‍රව්‍ය යොදා කල්තබා ගැනීම, පලතුරු වර්ගවලට කාබයිට් යෙදීම ආදිය ද තවත් වස විස ඇතුළත් කිරීමක් වෙයි.

විශේෂයෙන් උත්සව කාලවලදී මෙසේ කල් ඉකුත් වූ සහ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිය සිදුවන බැවින් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ පාරිභෝගික අධිකාරියේ වැටලීම් නිලධාරීන්ගේ සේවය අවශ්‍ය වෙයි. මේ ජාවාරමේ යෙදෙන ව්‍යාපාරික ආයතනවලට නීතිමය පියවර ගැනී‍ෙමන් එම ආයතනය අසාදු ලේඛනගත කිරීමටත්, එසේ නොමැති නම් සම්පූර්ණයෙන් සේවය නැවැත්වීමටත් හැකියාව තිබේ.

නව අදහස දක්වන්න