සෙරීනා දෙවැනි වටයට | දිනමිණ

සෙරීනා දෙවැනි වටයට

සිය 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළ හඹා යන අමෙරිකාවේ සුපිරි ක්‍රීඩිකාව සෙරීනා විලියම්ස් ජර්මනියේ ටට්ජානා මරියා ලකුණු 6-0ක් සහ 6-1ක් වශයෙන් පරාජය කරමින් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ඊයේ සමත්විය.

මීට පෙර ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 23ක් සිටි සිටින මේ 37 හැවිරිදි ක්‍රීඩිකාව මෙල්බර්න් නුවරට පැමිණියේ වසර දෙකකට පසුවය. ඇය 2017 වසරේදී අවසන් වරට ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරතාව දිනාගනිද්දී සති අටක ගැබිනියකව සිටි අතර පසුව දරු ප්‍රසූතිය සඳහා තරගබිමෙන් ඉවත්වූවාය.

ඊයේ සිය පළමු තරගය මිනිත්තු 49කින් නිමාවට පත් කළ සෙරීනා ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා මාගරට් කෝට්ගේ කුසලාන 24 වාර්තාව සමකිරීමට බලාපොරොත්තුවෙන් පසුවන්නීය.

‘මම අවසන් වතාවට මෙහි පැමිණි මොහොතේ අමතක නොවන සිදුවීම් රැසක් එකතු කරගත්තා.’ තරගයෙන් පසුව ඇය කීවාය.

‘ඇත්තම කියනවානම් ඒක තමයි මගේ ටෙනිස් ජීවිතයේ හොඳම ජයග්‍රහණය. ඉතිං ආපසු මෙහි පැමිණීමට ලැබීම සතුටක්. අවසන් වතාවට මා මෙහි ක්‍රීඩා කළේ ගැබිනි මාතාවක් විදිහටයි.’ ඇය වැඩිදුරටත් කීවාය.

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි තැන සිටින සෙරීනා මීට පෙර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කුසලාන 7ක් දිනාගැනීමට සමත්වූවාය.

‘මට තවම පූර්ණ සුවය ලබා නෑ. දරු ප්‍රසූතියෙන් පස්සේ තවම මගේ සිරුරේ රුධිර කැටිති තිබෙනවා. ඒක ජීවිත අවදානමක් විදිහටයි වෛද්‍යවරු අනුමාන කරන්නේ. ඒ නිසා මම නිතරම වෛද්‍ය ප්‍රතිකාර ලබමිනුයි ඉන්නේ.’ ඇය කීවාය.

මේ අතර පෙරේදා ආරම්භ වූ මේ තරගාවලියේ පළමු දිනයේදීම ක්‍රීඩාලෝලීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විමතියට පත් කරමින් බ්‍රිතාන්‍ය යේ ඇන්ඩි මරේ පළමු වටයේදීම තරගාවලියෙන් ඉවතට විසිවිය. මෙවර තරගාවලියට එක්වන විට මේ වසරේ මැද භාගයේදී පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළ ඇන්ඩි මරේ තරගාවලියෙන් ඉවතට විසිවීමෙන් පසුව කියා සිටියේ ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය පිළිබඳ නැවත සිතා බලන බවය.

දිගු කලෙක සිට උකුළු ඇටයේ ආබාධයකට ලක්ව සිටින මරේ සැත්කම් කිහිපයකට මුහුණ දීමෙන් පසුගිය කාලය තුළ පිටියෙන් ඉවත්ව සිටි අතර පෙරේදා ලැබූ පරාජයෙන් පසුව කියා සිටියේ ඉදිරියේදී තවත් සැත්කමකට මුහුණදෙමින් නැවත සුපුරුදු දස්කම් අතරට පැමිණීමට බලාපොරොත්තු වන බවකි. ලබන වසරේ ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගබිමට එක්වීමට අදහසක් ඇතැයි ඔහු වැඩි දුරටත් පැවැසීය.

නව අදහස දක්වන්න