වීරසිංහම් ශාලාවේදීය...! | දිනමිණ

වීරසිංහම් ශාලාවේදීය...!

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා මුළු රටට ම වැදගත් ප්‍රකාශයක් සිදුකර තිබේ. එය කාගේත් අවධානයට ලක්වන්නේ නම්; ඉතා වැදගත් ය. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙහි අර්ථය ගතහොත්; ඒකීය රටක් තුළ ජීවත්වීමට කැමැත්ත පළකරමින් ඊළාම් රාජ්‍යයක් පිළිබඳ සිහින මැවීම අර්ථවිරහිත ක්‍රියාවකි. එලෙස ම එය ආත්ම වංචාවකි. දෙමළ ජනතාව කළ යුත්තේ යථාර්ථයට මුහුණ දෙමින් ‍සිංහල ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට කටයුතු කිරීම බව ද මන්ත්‍රීවරයා පැහැදිලි කරයි. සුමන්තිරන් මහතාගේ දැක්ම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ද මේ කතාවෙන් උකහාගත හැකි ය.

පෙඩරල් යන වචනයත් සමඟ ශ්‍රී ලංකාවේ දකුණ කැලඹෙයි. පෙඩරල් බිල්ලකු මෙහි මවා ඇත. එහෙත් ලෝකයේ දියුණු රටවල ජනතාව පෙඩරල් පාලන ක්‍රම ඉල්ලා සිටිති. පෙඩරල් යනු රටවල් වෙන් කරන සාධකයක් ‍නො ව; බලය බෙදාහරිනු ලබන පාලන ක්‍රමවේදයකි. ඒකීය රාජ්‍යයක් යන වචනයත් සමඟ උතුර කැලඹෙයි. උතුරේ බහුතරයකගේ මතය වන්නේ ඒකීය රාජ්‍යය යනු සිංහලයන්ගේ රාජ්‍යය යන්න ය. ඒකීය රාජ්‍යය පිළිබඳ බිල්ලකු එහි මවා ඇත. මේ තත්ත්වය මතුවන්නේ දේශපාලන පක්ෂ සිය ඡන්ද ප්‍රමාණය විශාල කර ගැනීම සඳහා ගෙන යන ප්‍රචාර හා පොරොන්දුවල ප්‍රතිඵලයක් හැටියට ය.

සුමන්තිරන් මහතා ඉහත සඳහන් ප්‍රකාශය සිදුකර ඇත්තේ යාපනයේ වීරසිංහම් ශාලාවේදී ය. උතුරේ දේශපාලන නායකයන් සියලු දෙනා ම පාහේ ඊට සහභාගි වී සිටි බව ද, ජනතාවට වර්තමාන දේශපාලන සන්දර්භය පිළිබඳ වැටහීමක් ලබාදීම සඳහා එම උත්සවය සංවිධානය කර තිබූ බව ද සඳහන් ය. මෙබඳු වැදගත් අවස්ථාවකදී අවංක හා සෘජු ප්‍රකාශයක් සිදුකිරීම ගැන සුමන්තිරන් මහතාට අපගේ කෘතඥතාව පළවිය යුතු ය. ඔහු මතුකරන ප්‍රධාන අදහස වන්නේ ශ්‍රී ලංකාව වැනි බහුවාර්ගික රාජ්‍යයක එකිනෙක ජාතීන් අතර විශ්වාසය ගොඩනැඟිය යුතු බව ය. ජාතීන් අතර විශ්වාසයක් පවතින්නේ නම්; ජාතිවාදී අරගල මතුවන්නේ නැත.

ලෝක සාමයේ ආදර්ශය ලෙස සලකනු ලබන නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි ව බරපතළ සටනක නිරත වූ වැදගත් නායකයෙකි. ඔහු දකුණු අප්‍රිකාව තුළ පැවැති වාර්ගික සටන් හෙළාදකිමින් එකිනෙක ජන කොටස් අතර විශ්වාසය ගොඩනැඟීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළේ ය. සාමය සඳහා දීර්ඝ ගමනක් යා යුතු බව ප්‍රකාශ කළේ ද නෙල්සන් මැන්ඩෙලා ය. මැන්ඩෙලා බලයට පත්වීමෙන් පසුව වුව කළු ජාතිකයන්ට රටේ ඉඩම් කොල්ලකෑමට ඉඩ තැබුවේ නැත. එලෙසම වාර්ගික සටන් මෙහෙයැවූ නායකයන් නීතිය හමුවට ගෙන ඒමට ද ඔහු සමත් විය. එබඳු වැඩපිළිවෙළක් ජන කොට්ඨාස අතර විශ්වාසය ගොඩනැඟීමට හේතු - සාධක වෙයි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අසමගියට සැලැකිය යුතු ඉතිහාසයක් තිබේ. අර්බුදය අළු යට ගිනි මෙන් පවතින බව ද පෙනෙයි. ඉතා සුළු සිද්ධියකින් වුව අර්බුදය උඩට මතු වී ව්‍යාප්ත වෙයි. එහි ඇති සංකීර්ණතාව වන්නේ; ආගම, දේශපාලනය, ආර්ථිකය, ප්‍රදේශවාදය, සංස්කෘතිය, භාෂාව යන ඕනෑම සාධකයක් පාදකකොට ගැටුම උත්සන්න කිරීමට හැකිවීම ය. පටු අදහස් ඇති දේශපාලන ව්‍යාපාර මේ හැම සාධකයක් ම භාවිත කරමින් ගැටුම් ඇතිකිරීමට වෑයම් කරන බවක් ද පෙනෙන්නට තිබේ. මේ අතර මූලධර්මවාදී ව්‍යාපාර බිහිවන ප්‍රවණතාවක් ද දකින්නට පුළුවන. මේ සාධක අපට පෙන්වා දෙන්නේ ගැටුමකට අවශ්‍ය පසුබිම සමාජ කණ්ඩායම් විසින් හිතාමතාම ඇතිකරනු ලබන බව ය.

මෙබඳු වටපිටාවක් තුළ සුමන්තිරන් මහතාගේ කතාවේ වටිනාකම තවදුරටත් ඉහළ යයි. ඔහු සිය කතාවේදී සඳහන් කර ඇත්තේ කොටි සංවිධානයේ බලය පැවැති කාලය තුළ ඒකීය රාජ්‍යය යන වචනය පවා තහනම් වී තිබූ බව ය. එදා ඒකීය රාජ්‍යය ගැන ප්‍රසිද්ධ වේදිකාවක දෙමළ දේශපාලන නායකයකු කතා කළේ නම්; ඔහුට ජීවත්වීමට ඉඩ නො ලැබෙන බව ද සුමන්තිරන් මහතා කියා ඇත. ඔහුගේ අවංක ප්‍රකාශය ගැන දකුණේ ජනතාව විශේෂයෙන් සතුටු විය යුතුය. මන්ත්‍රීවරයාගේ මූලික තර්කය වන්නේ ඒකීය රාජ්‍යයක් තුළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳාගැනීමට අවංක උත්සාහයක් ගත යුතු බවය. ඊට කිසිවකුටත් විරුද්ධ විය නො හැකි ය.

උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ජනතාවගේ සමාජ - ආර්ථික හා දේශපාලන ගැටලු විසඳා ගැනීමට අදාළ විවිධ යෝජනා, සැලැසුම් හා වැඩසටහන් ඉදිරිපත් වී ඇත. කාලයෙන් - කාලයට විවිධ ස්වරූපයෙන් ඒවා ඉදිරිපත් වන බව ද පෙනෙයි. එහෙත් ඒවා යෝජනාවලට පමණක් ම සීමා වී ඇති බවක් පෙනෙයි. රටේ නායකයන් වරින් - වර විවිධ පොරොන්දු ලබාදෙන’මුත් ඒවා ක්‍රියාත්මක වන්නේ නැත. අද වන විට උතුරේ හෝ නැ‍ඟෙනහිර හෝ කිසිවකු වෙන ම රාජ්‍යයක් ඉල්ලා සිටින්නේ නැත. එහෙත් එම පළාත් සංවර්ධනය කර ගැනීම සඳහා ද එහි නිදහසේ අභිමානවත් ලෙස ජීවත්වීම සඳහා ද බලය විමධ්‍යගත කිරීමක් අවශ්‍ය වෙයි. බලය විමධ්‍යගත කිරීමට විරුද්ධ වන්නේ නූතන ලෝකය හා රාජ්‍ය පාලනය වටහාගත නො හැකි පිරිසක යැයි කිව හැකි ය. ඔවුන් සමඟ රටක් ඉදිරියට ගෙන යා හැකි ද?

2015 න් පසු රටේ රාජ්‍ය පාලනයෙහි යම් වෙනසක් සිදු වී ඇති බව ද, උතුරේ ජනතාව ඒ ගැන අපේක්ෂා සහගතව බලා සිටි බව ද සුමන්තිරන් මහතා පෙන්වා දෙයි. මේ කතාව උතුරේ ජනතාවට පමණක්‍ නො ව; දකුණේ ජනතාවටත් වැදගත් ය. විශේෂයෙන් අපේ දේශපාලකයන්ටත් වැදගත් ය. මේ කිසිවකු ජනවර්ග අතර පවත්නා සැකය හා අවිශ්වාසය ගැන ගැඹුරින් විමසන්නේ නැත. දේශපාලකයන් එදිනෙදා ගැටලුවලට පමණක් විසැඳුම් හෝ පැලැස්තර විසැඳුම් සොයන බවක් පෙනෙයි. ජනවාර්ගික ප්‍රශ්නය තාවකාලික උත්තරවලින් යට ගැසිය නො හැකි ය. අප කව්රුත් වටහාගත යුතු සත්‍යය එය යි.

 


නව අදහස දක්වන්න