සුක්කානම! | දිනමිණ

සුක්කානම!

නියමිත සුදුසුකම් සපුරා නැති රියැදුරු පාසල් වටලන බවත්; ඒ සඳහා දීප ව්‍යාප්ත වැඩසටහනක් ලබන 16 වැනි දා සිට මාර්තු 31 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බවත්; මෝටර්රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව කියයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා අදාළ වෙනත් ආයතනවලට ද මේ පිළිබඳ දැනුම දී ඇති බව ද දැනගන්නට ඇත. පළමුව කිව යුත්තේ මෙය ඉතා වැදගත් වැඩසටහනක් බව ය. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ තීරණය ගැන රටේ බොහෝ දෙනකු කෘතඥතාව පළ කරන බවට සැකයක් නැත. රටේ දිනපතා සිදුවන රිය අනතුරු ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යයි. ඊට රියැදුරු පාසල් ද යම් පමණකින් වගකිව යුතු ය.

බැලූ බැල්මට පෙනී යන්නේ රටේ සෑම නගරයකම පාහේ රියැදුරු පාසලක් හෝ දෙකක් ඇති බව ය. ඇතැම් නගරවල රියැදුරු පාසල් හතර - පහක් ඇති අතර, ඒ හැටි ප්‍රසිද්ධියක් නැති හන්දිවල ද රියැදුරු පාසල් ඇත. කිසිවකු මේවාට ඇති අවසරපත් පරීක්ෂා කරන්නේ නැත. ප්‍රමිතිය සොයා බලන්නේ ද නැත. රිය ධාවන පුහුණුව පමණක් නොව; රිය ධාවන බලපත්‍රයක් ලබාදීම ද ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. මේ ව්‍යාපාරය පසුපස ඇති විනාශය සටහන් වන්නේ මරණවලින් ය. දිනපතා ම පාහේ මාරක රිය අනතුරු පහක් හෝ හයක් රටේ සිදු වෙයි. අහිංසක පදිකයෝ ද රිය අනතුරුවලින් මිය යති .

ශ්‍රී ලංකාවේ රිය අනතුරු පිළිබද සිදුකළ විමර්ශනවලදී ඉතා වැදගත් කරුණු රැසක් හෙළිදරව් වී ඇත. ඉන් වැදගත් ම සාධකය වන්නේ, රියැදුරන්ගේ නොසැලකිල්ල යි. රිය ධාවනයේ ඇති වගකීම අද රියැදුරන් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වන්නේ නැත. රියැදුරකුගේ වගකීම පිළිබඳ පාඩම ඉ‍බේ පහළ වන්නේ නැත. එය අධ්‍යයනය කළ යුතු ය. ඉගෙනගත යුතු ය. ඇතැම් රියැදුරන් මාර්ග සංඥා හරිහැටි නොපිළිපදින බව ද, ඇතැම් රියැදුරන් මාර්ග සංඥා සියල්ල හරිහැටි හඳුනන්නේ නැති බව ද විමර්ශනවලදී හෙළි වී ඇත. මේ වැරැදි දෙස බලන විට අපගේ අවධානය නිතැතින්ම යොමු වනුයේ, රියැදුරු පාසල් වෙත ය.

සිය වගකීම මැනවින් වටහාගෙන ආරක්ෂාකාරී ලෙස රිය පදවන රියැදුරකු බිහි කිරීම, සෑම රියැදුරු පාසලකම යුතුකම වෙයි. මේ සඳහා උගත් උපදේශකයන් සිටිය යුතු ය. රිය ධාවනය පිළිබඳ ප්‍රායෝගික පුහුණු පමණක් නොව; රියැදුරකුගේ මනස සකස් කරන උපදේශන ද රිය ධාවන පුහුණුවට ඇතුළත් විය යුතු ය. හොඳ රියැදුරු පාසලක් නම්; එම පාසල තුළ දේශන ශාලාවක් ද අනිවාර්යයෙන් ම තිබිය යුතු ය. අදාළ නිදර්ශන ආදිය දැක්වීම සඳහා අවශ්‍ය උපකරණ හා විද්‍යුත් මෙවලම් ද රියැදුරු පාසලක තිබිය යුතු ය. එහෙත්, අප දකින ඇතැම් රියැදුරු පාසල් ඇත්තේ නගරයේ කඩ වීදියේ පුංචි කාමරයක් තුළ ය. ඒවායෙහි කැපී පෙනෙන ලක්ෂණය,දැන්වීම් පුවරුව පමණි.

මුල් යුගයේ රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණයක් පැවැත්වූයේ නැත. එදා අකුරු නොදත් අය පවා රියැදුරු බලපත් ලබා ගත්හ. ලිඛිත පරීක්ෂණයක් ගෙනඒම නිසා, රියැදුරු බලපත්‍රයට යම් වටිනාකමක් ලැබුණු බව සත්‍යයෙකි. එහෙත්, ලිඛිත පරීක්ෂණය නිසා රිය ධාවනයේ සාධනීය වෙනසක් සිදුවී නැත. ශ්‍රී ලංකාව රිය අනතුරු බහුල රාජ්‍යයක් ලෙස සටහන් වී ඇති අතර, එය සංචාරක කර්මාන්තයට වුව බලපාන්නට පුළුවන. විදේශීය සංචාරකයන් අපේ කුලී රථ කෙරෙහි දක්වන ආකල්පයෙන් තත්ත්වය වටහාගත හැකි ය. මේ සියල්ලෙන් ම මතුවන ගැටලුව වන්නේ, හොඳ පුහුණුවක් සහිත විනීත රියැදුරකු බිහි කරන්නේ කෙසේද යන්න ය.

සමාජයේ පවතින මතවාදවලට අනුව ගතහොත්, රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී ඇති දුෂ්කර හා අමාරුම අවස්ථාව ප්‍රායෝගික පරීක්ෂණය යි. මේ පරීක්ෂණයේ දී රිය ඉදිරියට, පසුපසට ධාවනය කර පෙන්විය යුතු ය. මාර්ග සංඥාවලට අනුව රිය ධාවනය කර පෙන්විය යුතු ය. බලධරයකු මේවා පරීක්ෂා කරනු ලැබේ. ඇතැම් රියැදුරු පාසල් බලධාරීන් කැටුව මේ පරීක්ෂණ සඳහා විවිධ උප්පරවැට්ටි යොදන බව කියැ වේ. අතයට සිදුවන ගනුදෙනුවලින් රියැදුරු බලපත්‍රයක් ලබා ගත හැකි බව බො‍හෝ දෙනා කියති. කාර්ය බහුල අය ද, මුදල් යහමින් ඇති අය ද එසේ කරති. මේ අනුව බලන විට, රටේ රිය අනතුරු ඉහළ යෑම පුදුමයක් ද නො වේ.

රටේ සමාජ තත්ත්වය විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ, රටේ පවුල්වලින් වැඩි හරියකට වාහන ඇති බව ය. ඇතැම් නිවෙසක වාහන දෙක - තුනක් තිබේ. යතුරු පැදියක් හෝ නැති නිවෙසක් සොයා ගැනීම අසීරු ය. ඉදිරියට මේ තත්ත්වය තවත් විස්තාරණය වනු ඇත. එහි අර්ථය වන්නේ රියැදුරු පාසල් වෙත ඉදිරියටත් බොහෝ පිරිසක් පැමිණෙන බව ය. මෙලෙස රියැදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් එන අයට හොඳ පුහුණුවක් සේ ම, මනස සකස් කරන පාඩම් මාලාවක් ද තිබිය යුතු ය. එසේ නොවුණහොත්, රටේ සිදුවන රිය අනතුරු ප්‍රමාණය තවත් වැඩි වී, විනාශයක් විය හැකි ය. මේ තත්ත්වය කෙරෙහි මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබීම, ඉතා වැදගත් බව නැවතත් සඳහන් කළ යුතු ය. එය හැඳින්විය හැක්කේ ජාතික වගකීමක් ඉටු කිරීම ලෙස ය.

දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති තවත් අංශයක් වන්නේ, ලිඛිත පරීක්ෂණය සඳහා පරිගණක ස්පර්ශ ක්‍රමවේදයක් යොදා ගැනීම ය. එය ද වැදගත් සාධනීය තේරීමකි. මෙබඳු ක්‍රමවේදයක් මඟින් ඉතා නිවැරැදි ප්‍රතිඵලය ක්ෂණික ලෙස ලබාගත හැකි ය. පරීක්ෂකවරුන්ගේ බලපෑම හා අත්වැරැදීම් ද මේ මඟින් වළක්වා ගත හැකි ය. ඒ හැරත්, නූතන රථවාහන පරිගණක පද්ධතිවලට සම්බන්ධ ය. අති නවීන වාහනවල බොහෝ අංශ ක්‍රියාත්මක වන්නේ, පරිගණක පද්ධති ඔස්සේ ය. ඒ පිළිබඳ නිසි වැටහීමක් ලබා ගැනීම ද රියැදුරකුට වැදගත් ය. සමහර රියැදුරන් දන්නේ වාහනය පැදවීමට පමණි. වාහන දෝෂ හඳුනා ගැනීමට ඔව්හු සමත් නොවෙති. එය ද අඩුවකි.

කුමන තත්ත්වයක් යටතේ වුව දක්ෂ - විනීත රියැදුරන් බිහි කළ යුතු ය. ඒ සඳහා ගනු ලබන සාධනීය පියවරකට, මුළු රටේම අනුමැතිය ලැබෙනු ඇත.

 

නව අදහස දක්වන්න