රාඩා ආයතනයේ හිටපු සභාපති ඇතුළු විත්තිකරුවන් සිවුදෙනෙකුට එරෙහි නඩුව | දිනමිණ

රාඩා ආයතනයේ හිටපු සභාපති ඇතුළු විත්තිකරුවන් සිවුදෙනෙකුට එරෙහි නඩුව

කුමුදු හෙට්ටිආරච්චි

නඩු විභාගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු  විකුම් කළුආරච්චි ඉවත් වෙයි

සුනාමියෙන් විනාශයට පත් උතුරු නැ‍ඟෙනහිර නිවාස ප්‍රතිසංස්කරණයට රාඩා ආයතනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් මිලියන 200 ක මුදලක් සම්බන්ධව සාපරාධී විශ්වාසය කඩ කළ බවට අධිචෝදනා ලැබ සිටින රාඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහි නඩුවේ විභාගයෙන් පෞද්ගලික හේතූන් මත කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (11) ඉවත් විය.

නඩුව ඊයේ (11) විභාගය සඳහා කැඳවූ අවස්ථාවේ නඩුවේ සාක්කි විභාගය අතරමැදදී හෙළිවූ කරුණු අනුව පෞද්ගලික හේතු මත තමා මෙම නඩුවේ විභාග කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බව විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා වෙත ඊයේ (11) යොමුකරන ලද අතර විනිසුරුවරයා විසින් නඩුව කැඳවීම ලබන 29 වැනිදාට කල් තැබීය.

රාඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, එල්. ටී. ටී. ඊ. සංවිධානයේ මූල්‍ය අංශ ප්‍රධානියා වන එමිල් කාන්තන්, රාඩා ආයතනයේ නිලධාරීන්ව සිටි රොහාන් සාලිය අබේසිංහ හා ජයන්ත ඩයස් සමරසිංහ සහ විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා 07 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත. විත්තිකාර එමිල් කාන්තන් විදේශගතව සිටින බව දන්වමින් ඔහු වෙනුවෙන් නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටි‍ෙය්ය.

නව අදහස දක්වන්න