විරෝධතා දක්වමින් සංදේශ බාරදීමේ සිද්ධියට එජාපය සම්බන්ධ නෑ | දිනමිණ

විරෝධතා දක්වමින් සංදේශ බාරදීමේ සිද්ධියට එජාපය සම්බන්ධ නෑ

සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් පෙරේදා (10) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා දක්වමින් සංදේශ බාරදීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු සම්බන්ධතාවක් නොමැතිබව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වෙයි.

සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් පෙරේදා (10) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින්, සංදේශ භාරදීම පිළිබඳව අප පක්ෂයේ බලවත් සැලකිල්ල යොමු වී ඇත.

මේ විරෝධතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එන්.ජී.ඕ නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍ය ගෙනයන ප්‍රචාර සම්බන්ධව ද අපගේ අවධානය යොමු වී ඇත.

මේ විරෝධතාවට අප පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නොමැත. අප සොයා බලා දැන හඳුනාගත් ආකාරයට මේ විරෝධතාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂාව කරලීම වෙනුවෙන් ඔක්තෝබර 26 වැනිදා සිට සටන් වැදි සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවකගේ සංවිධානත්වයෙන් සිදු වූවකි.

එක්සත් ජාතික පක්ෂය සැමවිටම මාධ්‍ය නිදහස ගරු කරන හා ආරක්ෂා කරන පක්ෂයකි. මෙරට මාධ්‍ය ආයතන වෙත බෝම්බ ප්‍රහාර හා ප්‍රචණ්ඩත්වය එල්ල වූ අවස්ථාවන්හිදීත්, මාධ්‍යවේදීන් ඝාතනයට හා තර්ජනයට ලක්වූ අවස්ථාවන්හිදීත් අප පක්ෂය මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අයුරු යළි සිහිපත් කළ යුතු නොවේ.

මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අයුරින්ම අපි ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ද පෙනී සිටිමු. රටේ පවත්නා නීතියට අනුකූලව සාමකාමීව විරෝධතා පැවැත්වීමේ අයිතිය ඕනෑම පුරවැසියෙකු සතුය. ශිෂ්ට සම්පන්න හා ශීලාචාර අයුරින් පවත්වන විරෝධතාවකට සිය මාධ්‍ය බලය උපයෝගී කරගනිමින්, පහර එල්ල කරන්නට හා පලවා හරින්නට ක්‍රියා කරන මාධ්‍ය ආයතන මගින් ප්‍රදර්ශනය වන්නේ කළු මාධ්‍ය මාෆියාවේ සැබෑ ස්වරූපය මිස අන් කිසිවක් නොවේ.

තවත් අවාසනාවන්ත කරුණක් වන්නේ මෙකී මාධ්‍ය ආයතන විසින්, නීතිරීතිවලට යටත්ව, සාමකාමී හා ශීලාචාර ලෙස විරෝධය පාන කොටස් එන්ජීඕ කාරයන් හා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගැසීමයි. රට ගිනි තියමින්, නීති බිඳිමින්, ප්‍රචණ්ඩත්වය වපුරමින් විරෝධතා සිදුකරන කොටස් දේශප්‍රේමීන් ලෙස ඔටුනු පැළඳීමයි.

මහත්මා ගතිගුණ ප්‍රදර්ශනය කරමින්, විරෝධතාකරුවන්ගේ සංදේශ භාර ගැනීමට ක්‍රියාකළ මාධ්‍ය ආයතන වෙත අප පක්ෂයේ ප්‍රසාදය හිමි වන අතර, එසේ නොකොට තම ඒකාධිපතිත්වය ප්‍රදර්ශනය කළ කළු මාධ්‍ය වෙත අපගේ විරෝධය හා පිළිකුල මෙයින් පළකර සිටිමු.


නව අදහස දක්වන්න