‘මතට එරෙහිව පාසලෙන් ජවයක්’ 21 සිට 28දා දක්වා | දිනමිණ

‘මතට එරෙහිව පාසලෙන් ජවයක්’ 21 සිට 28දා දක්වා

මහින්ද අලුත්ගෙදර

පාසල් සිසුන් හා වැඩිහිටියන් මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කරන ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක්’ ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කරයි. ‘මතට එරෙහිව පාසලෙන් ජවයක්’ යන තේමාව යටතේ සංවිධාන කර තිබෙන මේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය එළඹෙන 21 දා සිට 28 දා දක්වා ක්‍රියාත්මක බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය සහ අදාළ අමාත්‍යාංශ විසින් මෙය ක්‍රියාවට නංවයි.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් මට්ටමින් මේ සතිය ක්‍රියාත්මක වන අතර, දැනට වසර දෙකක සිට ක්‍රියාත්මක වන පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ උපදෙස් සංග්‍රහය මේ වන විට සෑම පාසලක් වෙත යොමුකර තිබේ. එම වැඩසටහනේ දිගුවක් වශයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර, පන්ති කාමරය තුළ දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මවුපියන් දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් සිදුකිරීම, මත්ද්‍රව්‍ය හා සම්බන්ධ නීතිරීති සම්බන්ධයෙන් ළමයින් දැනුවත් කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම, මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් සම්මාන පිරිනැමීම, මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප්‍රචලිත කිරීම හා මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම එම වැඩසටහන් අතර වෙයි.

පාසල් ප්‍රජාව මත් උවදුරෙන් බේරා ගැනීම හා දරුවන් හරහා වැඩිහිටියන්ට පණිවුඩයක් ලබාදීම මෙන්ම දුම්වැටි, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය සඳහා පාසල් ළමයින්ගේ පෙළඹීම අවම කිරීමේ අරමුණින් මේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර, ශ්‍රී ලංකාව පුරා විසිරී පවතින ගම්මාන 14,022ක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (11) සිදුකෙරුණු අතර, එහි දී අදහස් දක්වමින් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පෙන්වා දුන්නේ පාසල් දරුවන් මත් උවදුරෙන් මුදා ගැනීමේ අරමුණ ඇතිව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මේ දක්වා රට පුරා ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් හේතුවෙන් දුම්පානය පහත වැටී තිබෙන බවත්ය.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරුන්, මවුපියන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පාසල අවට ප්‍රජාව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලියේ සක්‍රිය කොටස්කරුවන් බවට පත්කර ගැනීම මේ සතියේ දී අපේක්ෂා කරන බව ද මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් වන උපදෙස් සංග්‍රහය මේ වන විට රටේ සෑම පාසලක් වෙතම යොමුකර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහි සමාරම්භක උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිවු මහා විද්‍යාලයේ දී පැවැත්වෙන අතර, මේ සතියට අදාළ විවිධ වැඩසටහන් එළඹෙන 28 දා තෙක් ක්‍රියාත්මක වෙයි.

දුම්වැටි සඳහා පමණක් වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් රුපියල් ලක්ෂ 3,900ක මුදලක් වැය කරන අතර, දුම්වැටි හේතුවෙන් වැළඳෙන රෝගාබාධ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් කෝටි 7,500ක දැවැන්ත මුදලක් වෙන් කරයි. මත්පැන් හා දුම්වැටි හේතුවෙන් පමණක් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 60,000ක් 70,000ක් පමණ වෙයි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රවිතාන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න