ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ව්‍යවස්ථා සම්පාදනය පාර්ලිමේන්තුව මඟින් සිදු කළ යුතුයි | දිනමිණ

ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ව්‍යවස්ථා සම්පාදනය පාර්ලිමේන්තුව මඟින් සිදු කළ යුතුයි

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සන්ධ්‍යා කරුණාරත්න

* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් මූලධර්ම ඉදිරිපත් කිරීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට තීරණය කළා
* අද සභාව රැස්වෙන්නේ මෙතෙක් කල් මෙහෙයුම් කොමිටියේ සකස් කළ වාර්තා ඉදිරිපත් කිරීමට පමණයි. මෙතෙක් ඉතිහාසය මම කියන්නම් 
* බුද්ධාගම ආරක්ෂා කරමින් ව්‍යවස්ථාව හදන්න ඕනෑ. ඒක ලොකු දෙයක් නොවේ. ඡන්ද ක්‍රමය ගැන බලන්න ඕනෑ 
* ෆෙඩරල් රාජ්‍යයක් කියලා මතයක් නැහැ. ඒකීය රාජ්‍ය යටතේ පළාත් සභාවලට බලය ලබා දෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කළ යුතුයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සියළු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් නොබෙදුනු ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ව්‍යවස්ථා සම්පාදනය ප්‍රජාතන්ත්‍රවාදිව පාර්ලිමේන්තුව මඟින් සිදු කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(11)පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ ආණ්ඩුක්‍රම සභාව රැස්වූ අවස්ථාවේදීය.

එහිදි අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

රට බෙදිමට එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ. නිසි අවස්ථාවේදි සියළු දෙනාට පිළිගත හැකි රට රකින ව්‍යවස්ථාවක් සැකසීමට අවශ්‍යයි.

අද සභාව රැස්වෙන්නේ මෙතෙක් කල් මෙහෙයුම් කොමිටියේ සකස් කළ වාර්තා ඉදිරිපත් කිරීමට පමණයි. මෙතෙක් ඉතිහාසය මම කියන්නම්. අපි පළමුවෙන්ම 2017 සැප්තැම්බර් 06 වැනිදා තීරණය කළා අතුරු වාර්තා කෙටුම්පත ව්‍යවස්ථාදායක සභාවට සැප්තැම්බර් 21 වැනිදා ඉදිරිපත් කරලා ඒ පිළිබඳව විවාදයක් පවත්වන්න. ඒ පිළිබඳව දවස් කිහිපයක විශේෂ විවාද පවත්වා සභාවේ මන්ත්‍රීවරුන්ගේ වැදගත් අදහස් ලබා ගන්න තීරණය කළා. වැදගත් අදහස් ගණනාවක් තිබුණා. ඉන්පසුව අපි ගත යුතු පියවර තීරණය කළා. මෙතැන තියෙන යෝජනා අනුව තියෙන්නේ අන්තිම කෙටුම්පතක් මෙතැනට ඉදිරිපත් කරන්නයි.

එස්.බී. දිසානායක මහතා-

මේ ව්‍යවස්ථාදයක සභාව පත් කළ අවස්ථාවේ නියෝජ්‍ය සභාපතිවරු කිහිපදෙනෙක් පත් කළා. නමුත් එහි මෙතුමා නැහැ. මම දන්නේ නැහැ මෙතුමා කොහොමද ඉන්නේ කියලා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා-

නියෝජ්‍ය කතානායකවරයා මීට ඉස්සරත් නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මේ විවාදය තිබෙන්නේ දවස් කිහිපයයි. කෙසේ හෝ අපි එදා තීරණය කෙළේ‍ මෙතැනට.

නියෝජ්‍ය කතානායක-

ස්ථාවර නියෝග 139 යටතේ කතානායකවරයා විසින් කරන ඕනෑම දෙයක් කතානායකවරයා වෙනුවෙන් මූලාසනය ගන්නා නියෝජ්‍ය කතානායකතුමාට හෝ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමාට ‍හෝ මූලාසනයේ මතය ප්‍රකාශ කළ හැකිය. දෙවැනි කාරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කතානායක ධුරයේ කතානායකවරයාට කටයුතු කළ නොහැකි අවස්ථාවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති හෝ නියම කර ඇති හෝ බාර කර ඇති හෝ බලතල

නියෝජ්‍ය කතානායකවරයාට ඉටු කළ හැකිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා-

විශේෂයෙන්ම මේ මුළු සභාවම කොමිටියක්. නියෝජ්‍ය කතානායකතුමාට කතානායකතුමා නැති අවස්ථාවේදි එහි මූලාසනය ගන්න පුළුවන්. ඊට අමතවරව නියෝජ්‍ය සභාපතිවරුන් කිහිපදෙනෙක් අපි නම් කළා. පැනල් ඔෆ් චෙයාර්මන් කියලා තිබෙනවා පාර්ලිමේන්තුවේ. පැනල් ඔෆ් චෙයාර්මන් වෙනුවට අපි නියෝජ්‍ය සභාපතිවරුන් කිහිපදෙනෙක් නම් කළා ඔබතුමාටත්, කතානායකතුමටත් අමතරව මෙතැන මූලාසනය ගෙන කටයුතු කරන්න. අපි ගත් තීරණය කෙටුම්පතක් සකස් කරලා මෙතැනට ඉදිරිපත් කිරීම නොවේ. කෙටුම්පතක් ගේන්න ඕන තුනෙන් දෙකක සහයෝගයක් තියෙනවා නම්. ඒ වෙනුවට ඒ පිළිබඳව ආව අදහස් සියල්ලම මේ වාර්තා මේ සභාවට ඉදිරිපත් කරලා අනාගත වැඩසටහන කුමක්ද නැද්ද යන්න කියලා මේ සභාව තීරණය කරන්න. ඒ අනුව තමයි අපි විශේෂයෙන්ම 2018 මැයි 24 වැනිදා ඒ තීරණය ගත්තේ ඊළඟ මෙහෙයුම් කමිටු සාකච්ඡාවේදි කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා. හැම දෙයක්ම ඇතුළත් කරලා වාර්තා කෙටුම්පතක් සකස් කරන්න කියලා තීරණය කළා.

2018 සැප්තැම්බර් 06 වැනිදා අපි සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණයක් ගත්තා, විද්වත් කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරන්න. විශේෂයෙන් මූලික අයිතිවාසිකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් මූලධර්ම ඉදිරිපත් කිරීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට තීරණය කළා. ජයම්පති වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා මෙහි මෘදු පිටපත අඩංගු වන බව. ඔක්තෝබර් 25 වැනිදා අපි යළිත් රැස් වුණා. පහත සඳහන් ලේඛන ඉදිරිපත් කිරීමට සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලැබුණා. විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාව, දේශපාලන නියෝජිතයන් විසින් ඉදිරිපත් කළ අන්තර් වාර්තාවට දේශපාලන පක්ෂවල ප්‍රතිචාරය, විද්වත් කමිටු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ විකල්ප යෝජනා, මෙහෙයුම් කමිටුවේ විවාදයෙන් පසුව ඉදිරිපත් කළ විෂයන්, හැම කතාවන්ම විෂය අනුව වෙන් කර තිබෙනවා. පළාත්වල මහ ඇමැතිවරු බාර දුන් වාර්තාව. දැන් මේ සියල්ලම තමයි අපි බාර දී තිබෙන්නේ. ඊළඟට ගත යුතු පියවර කුමක්ද කියලා සභාවට තීරණය කරන්න පුළුවන්. නිසි අවස්ථාවක මේ රටට ව්‍යවස්ථා කෙටුම්පතක් දෙන්න රටක් බෙදන්න මේ මොකක්වත් තිබුණේ නැහැ. දේශපාලන වශයෙන් බංකොළොත් වූ අයට වුවමනා වෙලා තිබෙන්නේ මේක අරගෙන ඉදිරියට දුවන්න. වෙනත් කරුණක් නැහැ. ඇත්ත වශයෙන්ම දැනට වෙනත් කරුණු නැති නිසා තමයි බලන්නේ, බුද්ධාගම නැති කරනවා කියන්න, රට බෙදනවා කියන්න හැමදාම පුළුවන්ද?. ජනතා මතය ගෙන දේශපාලන පක්ෂ වැඩ කරන්න. බුද්ධාගම ගැන 9 වැනි වගන්තිය 72 ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා ප්‍රධාන කමිටුව. එය ඉවත් කිරීමට කාටත් වුවමනාවක් නැහැ. හැම කෙනාම කියන්නේ 9 වැනි වගන්තිය ඒ අනුව තියන්න කියලා. ආගම්වලට තිබෙන නිදහස ශක්තිමත් කරන එක ගැන යෝජනාවක් තිබෙනවා. 9 වැනි වගන්තියට අපි අත ගහන්න යන්නේ නැහැ. ඊළඟට ඒකීය රාජ්‍ය. මේ සංකල්පයට බොහෝ දෙනකුගේ එකඟතාව තිබෙනවා. විවිධ මත ඒ ගැන තිබෙනවා. ඒවා සාකච්ඡා කරන්න ඕනෑ. ෆෙඩරල් රාජ්‍යයක් කියලා මතයක් නැහැ. ඒකීය රාජ්‍ය යටතේ පළාත් සභාවලට බලය ලබා දෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කළ යුතුයි. සන්ධානේ මහ ඇමැතිවරුන්ගේ වාර්තාවයි, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාලයේ ඉදිරිපත් කළ වාර්තාවන්ගේ සුදුසු දේ අරගෙන අපට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකයි අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර නැත්තේ. එකක් මැතිවරණ ක්‍රමය. පක්ෂ අතර ඒ ගැන විවිධ මත තිබෙනවා. විශේෂයෙන්ම මේ අත්දැකීමෙන් පස්සේ. අනෙක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ. මේ චෝදනා කරන්නේ වෙනත් කාරණා කියන්න බැරි නිසා. එක්සත් ජාතික පක්ෂයේ අපේ ස්ථාවරය දෙවැනි වගන්තියයි, නව වැනි වගන්තියයි ආරක්ෂා කරමින් ඊට අනුකූලව ව්‍යවස්ථාව හදන්න ඕනෑ. ඒකීය බවයි, බුද්ධාගම ආරක්ෂා කරමින් ව්‍යවස්ථාව හදන්න ඕනෑ. ඒක ලොකු දෙයක් නොවේ. ඡන්ද ක්‍රමය ගැන බලන්න ඕනෑ. විධායක ජනාධිපති ක්‍රමය නැති කළාම අලුත් ප්‍රශ්න මතු වෙනවා. ඒවාට කොහොමද අපි විසඳුම් දෙන්නේ කියලා බලන්න ඕනෑ. වැඩසටහන් ගණනාවක් තිබෙනවා. මූලික කරුණු ඒවා. මෙන්න ව්‍යවස්ථාවක් ගේනවා, මෙන්න බුද්ධාගම, ඒකීය බව නැති කරනවා, උතුරු නැඟෙනහිර වෙන් කරනවා කියලා චෝදනා ගේනවා. ඒ එකක්වත් මෙහි නැහැ. සමහර මෙය සම්පූර්ණ කියවලාත් නැහැ. මේ සභාවට මේක බාර දී තිබෙනවා දැන්. සභාව තීරණය කළ යුතුයි මොනවාද කරන්නේ කියලා. ඉදිරියට යන්නේ කොහොමද, ඉදිරියට යනවාද නැද්ද කියලා සභාව තීරණය කළ යුතුයි. අපේ වගකිම් ටික අවසානයි. පක්ෂ අතර දැන් සාකච්ඡා කරන්න පුළුවන්. ඉදිරියට යන එක ගැන සභාව තීරණය ගත්තොත් මෙහෙයුම් කමිටුව ඉදිරියට යන එක ගැන තීරණය කරයි. මේ වෙනුවෙන් වැඩ කටයුතු කළ සියලු දෙනාටම කමිටුව වෙනුවෙන් මම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම කමිටුවේ ලේකම්තුමා, අතිරේක ලේකම්තුමිය සියලු දෙනාටම අපි විශේෂ වශයෙන් ස්තුතිවන්ත වෙනවා. විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා. අපි ව්‍යවස්ථාවක් හදන විටදී අපේ මතය පවා ඉදිරිපත් කර තිබෙනවා. විවිධ මත තිබෙනවා.. කවුරුත් රට පාවා දෙන්නේ නැහැ. සි දුවෙලා තිබෙන්නේ විශාල මතයක් ඉදිරිපත් වෙලා වාර්තා වෙලා තිබෙනවා. ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ හැම මතයක්ම එතැන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය රටට ඕනෑ. ව්‍යවස්ථාවක් හදන විට ඕනෑ කෙනකුට ඕනෑ අදහසක් ඉදිරිපත් කරන්න දෙන්න ඕනෑ. ඒක අපිට නවත්වන්න වුවමනා නැහැ. ඒත් අපි දන්නවා මොකද්ද තීරණය කරන්න ඕනෑ කියලා. විවෘත අදහස් දෙන්න. හොඳ අදහස් මිනිසුන් පිළිගනීවි. ඇත්ත වශයෙන්ම ජනතා සහයෝගයක් තිබුණේ නැහැ. ඕනැම රටක ව්‍යවස්ථාවක් හදන විටදි විවිධ මත තිබෙනවා. 72 ව්‍යවස්ථාව හදන විට දි පොතක් තිබෙනවා එදා ලැබුණු යෝජනා සියල්ලම. ඒ නිසා අපි එකඟ වන නොවන අදහස් එන්න පුළුවන්.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා - මට මුලින්ම අගමැතිතුමාගෙන් දැනගන්න ඕනෑ මේක තේරීම් කාරක සභාවේ වාර්තාවක් ද? නැත්නම් වෙන විද්වත් කමිටුවක වාර්තාවද කියන එකයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -

තේරීම් කොමිටියෙන් ලබාගත්ත වාර්තාත්, විද්වත් කමිටුවෙන් ලැබුණු වාර්තාත්, දේශපාලන කමිටු වාර්තාත් අපිට යුතුකමක් තියෙනවා ලැබෙන සියලු වාර්තා ඉදිරිපත් කරන්න.

මහින්ද රාජපක්ෂ මහතා -

ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ ඔබතුමාලගේ මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ වාර්තාව. එක්සත් ජාතික පක්ෂයේ හෝ අගමැතිතුමාගේ යෝජනා නොසලකන්න බෑ. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ වාර්තාව තිබුණා නම් අපට පහසුයි විවාද කරන්න. අපට කාලයක් ඕනෑ. දැන් ඔබතුමාගේ මන්ත්‍රීවරුන් ඇවිල්ලා නෑ වගෙයි පේන්නේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා -

අපිට දැන් කරන්න තිබෙන්නේ අන්තිමට මේ සභාව එකඟ වුණොත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න. කෙටුම්පතට තුනෙන් දෙකක සහයෝගය අවශ්‍යයි. මේ යෝජනා සියල්ල ඉදිරිපත් කෙළේ සභාවට. මේ යෝජනා හොඳද, නරකද, කෙටුම්පතක් සකස් කරනවාද නැද්ද කියලා මේ සියල්ලම පාර්ලිමේන්තුවට බාරයි.

මහින්ද රාජපක්ෂ මහතා -

එහෙනම් ඔබතුමා ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවක් පත්කිරීම තේරුමක් නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා-

මෙහෙයුම් කමිටුව පත්කෙළේ මේ යෝජනා සියල්ල කැටිකරන්න. අපි විවාදයක් තිබ්බා. ඒකෙන් පසුව අවශ්‍ය නම් තව විවාදයක් තියමු. ඔක්කොම කරුණු තියෙනවා. මේ මන්ත්‍රීවරු සියල්ල එතැන හිටියා.

දැන් විපක්ෂයට රට බෙදනවා කියලා කෑගහන්න බෑ. රට බෙදන ලියවිල්ලක් තියෙනවා කියලා කෑගහන්න බෑ. ඔබට ඕනෑ වුණේ දේශපාලනය කරන්න. දැන් දේශපාලනය කරන්න බෑ. අපි නවවැනි වගන්තිය පිළිගෙන තියෙනවා. ආණ්ඩුව රට බෙදනවා. අමෙරිකාවට විකුණුවා, ඉන්දියාවට විකිණුවා කියලා කෑගහන්න බෑ.

මහින්ද රාජපක්ෂ මහතා -

අපි විතරක් නෙවෙයි ජනාධිපතිතුමාත් ඒවා කිව්වා. අද උදේ මේ වාර්තා ලැබුණේ. අපිට කාලය අවශ්‍යයි.

නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ විග්‍රහයක් කරන්න කාලය අවශ්‍යයි. ව්‍යවස්ථා කාරක සභාව මුළු පාර්ලිමේන්තුවම සංස්ථා මණ්ඩලයක් තිබෙන විට ආණ්ඩුවට සුජාත බවක් තිබිය යුතුයි. ගිය ඡන්දයෙන් මේ ආණ්ඩුව පැරදුනා. පළාත් සභා ඡන්දය කල්දැම්මා. ඡන්දයක් එපා කියලා අධිකරණ නියෝග ගත්තා. ඔබතුමාලා 19 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කියවන්න. 60 වැනි පිටුවේ ඉඳලා 19 ගැන කියනවා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

ඔබතුමාලගේ පක්ෂයේ අයත් 19 ට ඡන්දය දුන්නා.

මහින්ද රාජපක්ෂ මහතා -

19 ට මම හිටියෙත් නෑ. ජාතියක් විසින් ජාතියක් පාගන්න දෙන්න බෑ. එහෙනම් ඒ වෛරී දේශපාලනය ඇතිකරන්න එපා. මම වෛරය ඇතිකරන්නේ නෑ.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා -

19 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නේ එක් මන්ත්‍රීවරයෙක් පමණයි. 21 ක් ඡන්දෙ දීලා තියෙනවා. ඔබතුමා සභාව නොමඟ යවන්න එපා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස) -

අපි 19 ට සංශෝධන ඉදිරිපත් කළා. භයානක වගන්තිවලට වෙනස්කම් කළා. එදා අගමැතිතුමා මන්ත්‍රීවරුන් ගෙදර යවන වගන්ති සංශෝධනය කළා. නැත්නම් මේ වෙනකොට විරුද්ධවෙන අය ගෙදර යවලා ඉවරයි. ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා. ඒකයි ඡන්දේ දුන්නේ. පාර්ලිමේන්තුව රැවැට්ටුවා. නොමඟ යැව්වා.

රනිල් වික්‍රමසිංහ මහතා -

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන කරුණු එකකට මම එකඟයි. අපිට තව ජාතියක් පාගා දාන්න ඕනෑ නෑ. ව්‍යවස්ථාව පොදු වෙන්න ඕනෑ කියන එක පිළිගන්නවා.

මහින්ද රාජපක්ෂ මහතා -

මේ පාර්ලිමේන්තුවේ මේක කරන්න බෑ. මේකට සුජාත බවක් නෑ. පළාත් පාලන මැතිවරණය පරාද වුණා.

ඇමැති මංගල සමරවීර මහතා -

පළාත් පාලන ඡන්දේ පැරදුනාම මහ මැතිවරණය, ජනාධිපතිවරණය තියන්න ඕනෑද. නිකන් බොරු තර්ක දාන්න එපා.

මහින්ද රාජපක්ෂ මහතා -

ලබන මැතිවරණයේදී ජනතා වරම අරගෙන ව්‍යවස්ථාව සම්පාදනය කරමු. දැන් බලන්න ආණ්ඩුවේ ඉන්න ප්‍රමාණය. බහුතරය ඔබතුමාලගේ. අපි ආණ්ඩුව විසුරුවලා ව්‍යවස්ථා යෝජනා අපි ඉදිරිපත් කරන්නම්. ජනතා වරම ගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියමු. ව්‍යවස්ථාව එහෙන් මෙහෙන් සංශෝධනය කරලා, විනාශ කරලා තියෙනවා. අපි ගේන්නම් රට ආරක්ෂා කරන යෝජනාවක්.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා (දෙ.ජා.ස.) -

රටක මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදීම ශුද්ධවූ කාරණයක්. මේ සඳහා මෙහෙයුම් කමිටු හයක් පත්කළා. අපි දැන් අවුරුදු තුනකට පසුව යම් ස්ථානයකට පැමිණ තිබෙනවා. මේ කාරණය බරපතළ ලෙස සලකා බැලිය යුතුයි. මෙහි අවංකභාවයක් නෑ. අද බලන විට මෙහි බරපතළ බව මන්ත්‍රීවරු අරගෙන නෑ. ලංකාව බහුවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටක්. බහුවිධ රටක්, වෙනස් ජනවර්ග මෙහි ජීවත් වෙනවා. රට එක්සත්ව තබාගත යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් වුවත් ඔවුන්ට රට ගැන අයිතියක් තියෙනවා. විවිධත්වය තුළ එක්සත් භාවයක් තිබිය යුතුයි. ව්‍යවස්ථාවේ අරමුණ එයයි. එය වෙලා නෑ. බෙදී සිටීමටයි මොවුන් බලා ඉන්නේ. අලුත් ව්‍යවස්ථාවක් මඟින් වෙනස් කරුණු රටට ලබාගත හැකිය. කලාප වශයෙන් පළාත් වශයෙන් බලය පාවිච්චි කළ හැකියි. මේ සියලුම බලය කොළඹ පවත්වා ගැනීම නිසා අවභාවිත වෙනවා. බලය කලාප වශයෙන් පළාත් වශයෙන් භාවිතා කරනවා නම් හොඳයි. බහුතරයේ ජනප්‍රියභාවය වෙනුවෙන් කටයුතු කරන අය බොරු දේශප්‍රේමීන් වෙනවා. ව්‍යාජ දේශපාලනයත්, ව්‍යාජ දේශප්‍රේමීන් අතර දූෂණය තියෙනවා.

1978 ව්‍යවස්ථාව කෙටි කාලයකින් ගෙනාවා. මෙහි එකඟතාවයක් නෑ. නමුත් අද ඒ තත්ත්වය වෙනස්. සියලුම පක්ෂ අදහස් දක්වලා තියෙනවා. දැන් හොඳ එකඟතාවයකට අවස්ථාව ලැබිලා තියෙනවා.

මෙය ජනමත විචාරණයකටත් යොමුකළ යුතුයි. 1987 – 13 වැනි සංශෝධනය ගෙනාවා. ඒ අවස්ථාවේදී බලය බෙදාහැරීම මුල්වරට ව්‍යවස්ථාවට ඇතුළත් කළා. සමගාමී ලැයිස්තුව තිබුණා. ජාතික ලැයිස්ව තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මංගල මුණසිංහ කමිටු වාර්තා ඉදිරිපත් වුණා. චන්ද්‍රිකා මැතිණිය සමයේදී 1995 – 1997 – 2000 දී පාර්ලිමේන්තුවට යෝජනා ආවා.

නමුත් අද කියන්නේ වෙන කතාවක්. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදීත් මේ ක්‍රියාවලිය ආවා. 2006දී සර්ව පාක්ෂික කමිටුවක් පිහිටවූවා, තිස්ස විතාරණ මහතා වාර්තාවක් ඉදිරිපත් කළා. නමුත් ඔහු කරපු දේට වඩා වෙනස් ස්ථාවරයක ඉන්නවා. ඔහු දේශපාලන අවශ්‍යතාව අනුව ස්ථාවරය වෙනස් කරනවා. රටේ අවශ්‍යතාවයට ඔවුන් කටයුතු කරන්නේ නෑ.

ඉන්දියාව එකක් කියනවා. එල්. ටී. ටී. ඊ.ය පරාජය කරන්න ඉන්දියාව, අමෙරිකාව ඇතුළු රටවල් උදව් කළා. එහෙම උදව් කෙළේ දුන් පොරොන්දු අනුවයි.

මේ ව්‍යවස්ථාව හදන්න මහ මැතිවරණයක් අවශ්‍ය නෑ. මෙය තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වුනොත් ජනමත විචාරණයකට යා හැකියි. ඔබේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් එය අනීතිකයි. එහෙම තියෙද්දී මහ මැතිවරණයක් තියන්න බෑ. මේක ගේන්න බැරිවුණොත් රටට ලොකු ගැටලුවක් වෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජවිපෙ),

මේ සම්බන්ධයෙන් විද්වත් මණ්ඩලයටත් පොදු එකඟතාවකට ඒමට නොහැකිව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මණ්ඩලය විසින් මෙහෙයුම් කමිටුවක් පත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි කියන මතයේ සිටින පක්ෂයක් අපි. මේ ප්‍රතිසංස්කරණය එපා කියලා කෑ ගසන අයත් මේ කමිටුවල සිටිනවා. බන්දුල ගුණවර්ධන මහතාත් සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් මෙහෙයුම් කමිටුවට සාදා ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට මෙහෙයුම් කමිටුව විසින් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් මේ ක්‍රියාවලියේ ඉදිරියට යා හැකියි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය, ගැසට් කිරීම, පළාත් සභාවලට යැවීම, පළාත් සභාවලින් වාර්තා කැඳවීම ඇතුළු ක්‍රියාවලි ගණනාවක් තිබෙනවා.

ජනාධිපතිවරයා තමයි වෛරයේ ගුලිය. වෛර‍ය, ජාතිවාදය වපුරවීමට රාජපක්ෂ කණ්ඩායමත් කටයුතු කරනවා. ෆෙඩරල්වාදය මේ හරහා එන බව ජනාධිපති කියනවා. අප්‍රේල් වන විට පළාත් සභා 9ට ම පොලිසි 9ක් එනවා කියනවා. මේ බොරුව රට තුළ වපුරවීමෙන් ජාතිවාදය අවුස්සාලීමට කටයුතු කරනවා. අගමැතිවරයා කාලය විසින් මේ දේ යටගැසුවා. අවුරුදු 3ක් යනවිට කෙටුම්පතක්වත් හදාගත නොහැකියි. මේ අභියෝගයට අපි මුහුණදී සිටිනවා. පන්සල් ගානේ ගිහිං ජනතාවට බොරු කියන්න එපා. රට කඩනවා. අප්‍රේල් වන විට ෆෙඩරල් ක්‍රමය එනවා කියලා පන්සිල් අරගෙන බුදුන් ඉදිරියේ බොරු කියනවා. මංගල මුණසිංහ වාර්තාව, චන්ද්‍රිකා කුමාරතුංග ව්‍යවස්ථාව, තිස්ස විතාරණ වාර්තාවත් ගැන ටී. එන්. ඒ. එකට කිව හැකියි.

උසස් අධ්‍යාපන හා නගර සැළසුම් හා ජල සම්පාදන ඇමැති රාවුෆ් හකීම් මහතා,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන ඒමට උත්සාහ දරනවා කියා මතවාදයක් ගොඩනගන්නට උත්සාහ දරනවා. එවැනි උත්සාහයක් නැහැ. මෙය අපි රට වෙනුවෙන් දරන අවංක උත්සාහයක්. බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කරන්නට උත්සාහ දරන බවටත් මතයක් ගොඩනගන්නට උත්සාහ කරනවා. නමුත් එවැනි කිසිඳු උත්සාහයක්‍ නොමැති බව අගමැතිවරයාගේ අද කතාවෙන් පවා තහවරු වුණා. අනෙකුත් ආගම්වලට විශේෂකොට සැළකීමක් හෝ වෙන්කොට සැළකීමක් ද සිදු වන්නේ නැහැ. ඒ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කීරීමට දරන උත්සාහය ලඝු කිරීමට උත්සාහ නොකර මේ සඳහා සහාය ලබාදිය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නෙ රටේ සියලු ජාතීන්, සියලු පුරවැසියන් වෙනුවෙන්. ඒ නිසා මෙම උත්සාහය සියලු දෙනා වෙනුවෙන් මෙම ක්‍රියාවලියට සහය දීම අපි සියලුදෙනාගේම වගකීමක්.

නාමල් රාජපක්ෂ මහතා -

අද ඉදිරිපත් කරන ඉංග්‍රීසි පිටපතේ කෙටුම්පත ලෙස සඳහන් වුවත් සිංහල, දෙමළ පිටපත්වල නැහැ. ඇයි එහෙම සිදුකර තිබෙන්නේ.

නියෝජ්‍ය කතානායකවරයා -

එයට විශේෂත්වයක් නැහැ.

ඇමැති හර්ෂ ද සිල්වා මහතා -

නාමල් රාජපක්ෂ මහතා සමඟ මමත් එකඟයි.

බන්දුල ගුණවර්ධන මහතා -

සභාවට ඉදිරිපත් කර ඇති ඉංග්‍රීසි පිටපතේ කෙටුම්පත කියා දක්වා තිබෙනවා. නමුත් සිංහල හා දෙමළ පිටපතේ නැහැ.

යාපනය දිස්ත්‍රික් ‍මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විවාදය අද සිදුකෙරෙනවා. භාෂාව, ජාතීන්, ආගම යන සියල්ල කෙරෙහි අවධානය යොමුකළ යුතුයි. ඒ වගේම අතීත‍යේදී අපගේ රට තුළ භාෂාමය ප්‍රශ්න ඇතිවුණා. එවැනි හා විවිධ සිදුවීම් පදනම් කර ගනිමින් අපගේ රට තුළ යුද්ධයක් නිර්මාණය වුණා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා (එජනිස) -

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒම සඳහා අපි ශ්‍රීලනිපය ලෙස එජාපයට සහය ලබා දුන්නා. එහෙම කළේ 20 වැනි සංශෝධනයට එජාපය සහය ලබාදෙන කොන්දේසිය මත. නමුත් එජාපය අපිව රැවැට්ටුවා. ව්‍යවස්ථාදායක සභාව තුළත් අපි මේ ගැන අවංකව කතා කළා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනමම හෝ ගෙන ආ යුතුයි. බලය බෙදීම ගැන ශ්‍රීලනිපය නිවැරැදිව අපගේ මතය හා යෝජනා මේ වාර්තාවට ඇතුළත් කර තිබෙනවා. නමුත් කිසිම අවස්ථාවක බලය බෙදීම, ඒකීයභාවය, බුද්ධාගම ආදිය ගැන එජාපය ප්‍රකාශ කැර නැහැ. අපි ඇතුළු තවත් පක්ෂ ගණනාවක් මේ ගැන සඳහන් කළත් එජාපය කිසිවක් කියන්නේ නැහැ. අපි ශ්‍රීලනිපය ලෙස විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යා යුතුයි යන මතයේ සිටිනවා. නමුත් එජාපය ඉල්ලන්නේ විධායක අගමැතිවරයෙක්. විධායක ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව එදාටත් වඩා අද තිබෙනවා.

ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා -

මේ මන්ත්‍රීවරයා සභාව නොමඟ යවනවා. අනෙකුත් පක්ෂවල අදහස් ඉදිරිපත් කර තිබුණත් එජාප මතය ඉදිරිපත් කර නොමැති බවට මෙතුමා කියනවා. එය අසත්‍යයි. මෙතුමා කියන්නෙ බොරු. අපි අපේ මතය ඉදිරිපත් කැර තිබෙනවා.

නිමල් සිරිපාල ද සිල්වා මහතා -

අනිත් පක්ෂ ලිඛිතව තම පක්ෂයේ මතය ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එජාපය ලිඛිතව දුන්නෙ නැහැ. ශ්‍රීලනිපය, එජනිස ලෙස නව ව්‍යවස්ථාවක් ගෙනඒම අපටත් අවශ්‍යයි. නමුත් එජාපය මේ ගෙන යන්නේ දේශපාලන ගේම් එකක්.

මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා -

මේ රටේ සිංහල ජනතාව අතර බොරු දේශප්‍රේමීත්වයක් ඇතිකර ගනිමින් වැරදි මතවාදයක් ගෙනයන්නට ඇතැමුන් උත්සාහ කරනවා. අතීතයේ සිට අපට ව්‍යවස්ථා හැදුවේ එක් එක් දේශපාලන පක්ෂ හා පුද්ගල මතවාද ඉදිරියට ගෙන යෑමටයි. නමුත් මෙවර ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා සියලු පක්ෂ එක්වී සිටිනවා. එය හොඳ ප්‍රවණතාවක්.

අපි විසින් ලබාදුන් නිරීක්ෂණයන්ද මේ වාර්තාවට ඇතුළත් කරනවා. නේපාලය වැනි රටවල ව්‍යවස්ථාවක් හදන්න විශාල උත්සාහයක් දැරුවා. ලෝකයේ සිටින හොඳම ව්‍යවස්ථා සම්පාදකයන් ගෙනාවා. ඒ නිසා මම කියනවා, මනෝ රාජිත සංකල්පවලින් බැහැර වී සියලු දෙනාට පිළිගත හැකි ව්‍යවස්ථාවක් සකස් කිරීම මෙන්ම විද්‍යාත්මක ආණ්ඩුකරණයක් සිදුවිය යුතුයි.

ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ද අපි අපගේ අදහස ලබාදුන්නා. ජනාධිපති ධුරය ඉවත් කරනවා නම් 77ට පෙර පැවැති ඡන්ද ක්‍රමය ගෙන ආ යුතුයි. එසේ නොමැතිව අනුපාත ඡන්ද ක්‍රමය යටතේ ජනාධිපති ධුරය අහෝසි කළොත් සිදුවන්නෙ පාර්ලිමේන්තුව හෑල්ලුවීම හා මන්ත්‍රීවරුන් මුදලට විකිණීමය. දෙමළ ජනතාවගෙන් 58%ක් ඉන්නෙ කොළඹින් පිට. ඒ නිසා උතුරේ දෙමළ ජනතාවට පමණක් සෙත සැළසෙන ක්‍රියාවලියක් ඇති කිරීමෙන් මේ ප්‍රශ්න විසඳන්නට බැහැ. ඒ වගේම අනුග්‍රාහක දේශපාලනය නිසා සංවර්ධනය නිවැරදිව සිදුවන්නේ නැහැ. අනුග්‍රාහක දේශපාලනයෙන් බැහැරවී විද්‍යාත්මක ක්‍රමවේදයට දේශපාලනය කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස.),

හොරෙන් ගේන්න හදපු කෙටුම්පත අපි ප්‍රතික්ෂේප කළා. එදා ගේන්න හදපු වාර්තාව වැරදිලා අදත් බෙදලා. මෙය සම්පූර්ණ නොමග යවපු ක්‍රියාවලියක්. මේ ඉංග්‍රීසි පිටපතේ ‘කෙටුම්පත’ කියලා සඳහන්. එහෙම කෙටුම්පතක් නෑ’ 6 පිටුවේ යෝජනා කරලා තිබෙනවා බුද්ධාගමට දෙන තැන වෙනස් කරන්න. එහෙම නෑ කියන්න බෑ.

ව්‍යවස්ථාවට එජාප ආණ්ඩුව කරුණු ඉදිරිපත් කරලා නෑ. අද අලුත් පාර්ලිමේන්තුවක් තෝරාපත්කර ගත යුතුයි. මේ කාරක සභාව අහෝසි කිරීමට කාලය එලඹිලා.

රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

අපි කිසිමවිටක පාර්ලිමේන්තු මැතිවරණයකට එකඟවුණේ නෑ. සිද්ධවුණේ ඔක්තෝබර් 26 අපේ ආණ්ඩුව පිට්පොකට් ගැහුවා. බණ්ඩාරනායක මැතිනිය, ජේ. ආර්. මහතා ව්‍යවස්ථා නිර්මාණය කළා. හැබැයි දෙමළ ජනතාව ව්‍යවස්ථාවට සහභාගි වුණේ නෑ. මේ අවස්ථාවේ ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. රටවල් තමන්ට නිදහස ලැබෙනවිට බලය බෙදුවා. ඉන්දියාව බලය බෙදුවා. අපිට නිදහස ලැබෙනකොට රනිල් වික්‍රමසිංහ මහතාගේ මුත්තා මීදෙනියේ අධිකාරම් මහතා කිව්වා බලය බෙදමු කියලා. බණ්ඩාරනායක මහතා කිව්වා ශ්‍රී ලංකාවට එකම විසඳුම සන්ධීය ක්‍රමය කියලා. ඉන්දියාව එක්සත් වෙලා ඉන්නේ බලය බෙදපු නිසයි. අපි ඉදිරිපත් කරන්නේ යෝජනා විතරයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. ජේ. සෙනෙවිරත්න මහතා (එජනිස) -

එක්සත් ජාතික පක්ෂ යෝජනා මෙහි නෑ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

පළාත් සභා ගෙනාවේ කවුද? පළාත් සභා තමයි ‍ෙම් යෝජනාවලට පදනම. පළාත් සභා තමයි අපි පදනම් කරගන්නේ. මහින්ද රාජපක්ෂ මහතා සර්වපාක්ෂික සමුළුවේ ඉදිරිපත් කළ යෝජනා තමයි. බුද්ධාගමට තිබෙන තැන අපි එලෙසම තබනවා.

ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු ඇමැති මනෝ ගනේෂන් මහතා -

ෆෙඩරල් ක්‍රමය උතුරට රැගෙන ගියේ දකුණෙන්. ඒ අවස්ථාවේදී උතුරේ දමිළ ජනතාව එය ප්‍රතික්ෂේප කළා. නුවර ප්‍රධානියෝ උඩරට ගැන සිතනකොට උතුරේ ජනතාව හිතුවේ මුළු රටම ගැන. උතුරේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් කියලා හිතන්න එපා. දේශපාලන බලය, ආර්ථික බලය උතුරට තිබෙන්න ඕනෑ. නොබෙදුන රජයක බලය බෙදිය යුතුයි. රැකීරක්ෂා, ගෙවල් දීලා දමිළ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න. දෙමළ ජාතික සන්ධානයේ හොඳකම හේතුවෙන් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ වාඩිවෙලා ඉන්නවා. මම නම් එන්නේ නෑ. සිංහල ජාතිය යෝජනාවක් ඉදිරිපත් කරලා විසඳුම් ලබාදිය යුතුයි. ජාතික ප්‍රශ්නය විසඳගන්න බැරි නම් ලැජ්ජා විය යුතුයි.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරම් මහතා (දෙජාස) -

2015 ජනවාරි 9 වැනි දින යෝජනාවක් සම්මත කළා. යෝජනාවක් එය මාර්තු 09 යෝජනා කළා. එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා යෝජනාව සම්මත ව‍ූයේ ඒකමතිකවයි. දැන් බොරුවට කෑගහපු අතුරු වාර්තාව හැදුවේ සියලුදෙනා එකඟවෙලා.

නව අදහස දක්වන්න