ආණ්ඩුව අනියම් අන්දමින් රට බෙදන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න හදනවා | දිනමිණ

ආණ්ඩුව අනියම් අන්දමින් රට බෙදන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න හදනවා

මේ ආණ්ඩුව අනියම් අන්දමින් මාධ්‍යයට තර්ජනය කොට මාධ්‍ය මර්දනය කිරීමෙන් අනතුරුව රට බෙදන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවායැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා එසේ ප්‍රකාශ කළේ අම්බලන්ගොඩ කුලීගොඩ පුරාණ රජ මහා විහාරාධිපති මාදම්පේ විමලධජ නාහිමියන්ට අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය මගින් පිරිනමන ලද එම නිකායේ අනුනායක ධූරය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීම වෙනුවෙන් අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ මහා නායක අහුන්ගල්ලේ සීල විසුද්ධි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තත් විහරස්ථානයේදී පවත්වනු ලැබූ ආගමික උත්සව සභාවක් අමතා කතා කරමිනි.

විමලධජ අනු නායක හිමියන් වෙත අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් ද විජිනිපත පිළිගැන්වීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මොහාන් පී.ද.සිල්වා මහතා අතින් සිදු කරනු ලැබීය.

එම උත්සව සභාවේදී තවදුරටත් කතා කළ විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසීය. මේ රට ආගමක් නැති රටක් බවට පත් කිරීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය වී තිබෙනවා. මේ වැඩපිළිවෙළට බාධාවක්ව පවතින්නේ අපේ රටේ වැඩ සිටින මහා සංඝයා වහන්සේයි. අපි අපේ දරුවන් විහාරස්ථානවලට යවන්න ඕනෑ. දරුවන් තියා ඇතැම් මවුපියන් පෝය දිනටවත් විහාරස්ථාන වෙත යන්නේ නැහැ. එහෙම පන්සල් යන්න කියල අපේ ආගමේ නීතියක් පනවලා නැහැ. නමුත් අනෙක් ආගම්වල පල්ලියට දේවස්ථානයට යන්න ඕනෑම කියල නීතියක් තිබෙනවා. අපිත් අපේ දරුවන් විහාරස්ථනවලට යවන්න ඒ වගේම දහම් පාසල් යවන්න සෑම උත්සාහයක්ම ගන්න ඕනෑ. අඩු වශයෙන් පෝය දිනටවත් පන්සල් යාම අනිවාර්ය කරන්න ඕනෑ. දැන් බලන්න පෝය දිනට කලින් දිනයේ තමයි වැඩියෙන්ම මත්පැන් අලෙවි වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ පෝය දිනය නිවාඩු දිනයක් කරපු නිසා. එදාට තැබෑරුම් වහනවනේ.

අද අනුනායක ධූරයට පත්වූ මාදම්පේ විමලධජ නාහිමියන්ගේ උත්සාහය නිසා මේ විහාරස්ථානය ඉතා දියුණු තත්ත්වයට පත්වී තිබෙනවා.විහාරස්ථානයක් දියුණු තත්ත්වයට පත්වන්නේ එම විහාරස්ථානයේ නායක හිමියන්ගේ කැපවීම හා උත්සාහය තිබුණොත් පමණයි. ඒ සියලුම ගුණාංග විමලධජ නාහිමියන් තුළ තිබෙන බව අපිට වැටහෙනවා.විහාරස්ථනය පමණක් නොව මේ අනුනායක හිමියන්ගෙන් මේ ප්‍රදේශයටත් විශාල සේවයක් සිදුවී ඇති බව මෙතැනදී පවත්වන ලද කතාවලදී මට තේරුම් ගියා. අද අනු නායක ධූරයට පත්වූ විමලධජ නාහිමියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් තමා නිහඩ වන බව තවදුරටත් කතා කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

අනුනායක ධූරයට පත්වූ මාදම්පේ විමලධජ හිමි-

තමන් වහන්සේ එක්දහස් නමසිය හැටඑක වර්ෂයේදී සසුන් ගතවූ බවත් එදා සිට මේ දක්වා වැඩ සිටින්නේ මේ විහාරස්ථානයේ බවත් ඒ කාලය අැතුළත මේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු රාශියක් අවසන් කොට විහාරස්ථානය මේ තත්ත්වයට ගෙන ඒමට තමන් වහන්සේට හැකිවූ බවත් ඒ සෑම කටයුත්තකදීම විහාරස්ථානයේ දායකයන් ඔවුන්ගේ සහයෝගය ලබා දුන් බවත් මේ උත්සවය සාර්ථක කර ගැනීමට ද ඔවුන්ගේ නොමද සහාය තමන් වහන්සේට ලැබුණු බවත් පැවසූහ.

අමරපුර සිරි සද්ධම්ම මහා නිකියේ මහා නායක අහුන්ගල්ලේ සීල විසුද්ධි, එම නිකායේ අනු නායක ආචාර්ය දිමියායේ අමරවංශ, එම නිකායේ අනු නායක රත්මලානේ සුනීත, එම නිකායේ ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලී,දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක අම්බලන්ගොඩ සුධර්ම, දකුණු පළාත් සභා මන්ත්‍රී බදේගම සමිත, අනු නායක කොස්ගොඩ සුභූති, ජෝතිර්වේදී මාදම්පේ උජිත යන හිමිවරුන් ද ගාල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මොහාන් පී.ද.සිල්වා යන මහත්වරු ද මෙහිදී කථා කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආරියවංශ සම්මු, චන්න සාලිය මෙන්ඩිස්, සම්පත් අතුකෝරාළ, රතගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.නිමල්, අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති නීතිඥ අරුණ ප්‍රදීප් යන මහත්වරු ද මෙම උත්සව අවස්ථාවට එක්ව සිටියහ.

අම්බලන්ගොඩ සමූහ- ආර්.ඤාණදාස

නව අදහස දක්වන්න