පරිසරය ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කැප වෙනවා | දිනමිණ

පරිසරය ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කැප වෙනවා

පරිසරය ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් කටයුතු කරන බව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනී නිලූකා ඒකනායක මහත්මිය පැවැසුවාය.

ඒ මහත්මිය මේ බව පැවැසුවේ බත්තරමුල්ල රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිනිය ලෙස වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එම අවස්ථාවට හිටපු කම්කරු ඇමැති අතාවුද සෙනෙවිරත්න , පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ලානුගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක පාඨලී රෝහණ ජයන්ත, මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති චින්තන ඒකනායක මහත්වරු ද, සංස්ථාවේ නිලධාරීහු ද සහභාගී වූහ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළාය.

මේ රටේ සොබාදහමට, ගහකොළ, සතාසිවුපාවාට ආදරය කරන වැඩි ජන පිරිසක් සිටීම ගැන මම සතුටු වෙනවා. ගහකොළ විනාශ නොකර, සොබාදහමේ සම්පත් විනාශ නොවන ආකාරයට, ඒවා ආරක්ෂා කරමින් සංවර්ධනය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. දැව සංස්ථාව මේ රටේ ආණ්ඩුකාර ධූරයට වැඩිය වගකීමෙන් කටයුතු කරන්න පුළුවන් තැනක් කියා මම සිතනවා. රටේ ජීවනාලිය මෙන් කටයුතු කළ හැකි ආයතනයක් මෙය.

ආණ්ඩුකාර ධූරයේ කටයුතු කිරීමේ දී එම කටයුතු සාර්ථක කරගැනීමට හැකි වූයේ ජනතාවගේ දුක තේරුම් ගෙන, ජනතාව වෙනුවෙන් සංවේදීව කටයුතු කිරීම නිසයි. ඒ ආකාරයටම ඉදිරියේ දී ද වන සම්පත ද ආරක්ෂා කරමින්, වන සම්පත සොරාකෑමට ඉඩ නොදී, සාධාරණව යුතුකම් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ආයතනය විධිමත්ව, මෙහි සේවය කරන සේවක සේවිකාවන්ට ද ගරු කරමින් කටයුතු කිරීමටත්, සොබා දහම ආරක්ෂා කරමින් ජීවන රටාව වර්ධනය කරමින් දියුණු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

මා ආණ්ඩුකාර ධූරයේ සිටින විට දී මට තිබූ වරප්‍රසාදවලට අනුව විල්පත්තු වන විනාශය නැවැත්වීමට මත ප්‍රකාශ කළා. දැන් එහි බලය මට පැවරී තිබෙන නිසා පරිසරයට හානි වන දෑ සිදු වනවා නම් එය වැළැක්වීමට දිවිහිමියෙන් කටයුතු කරනවා කියා මේ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා.

චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - විපුල අමරසිංහ

නව අදහස දක්වන්න