හැකියාවෙන්-විනයගරුක සමාජයකින් රට ශක්තිමත්ව සංවර්ධනය කළ හැකියි | දිනමිණ

හැකියාවෙන්-විනයගරුක සමාජයකින් රට ශක්තිමත්ව සංවර්ධනය කළ හැකියි

චමීර ඇල්ලදෙණිය

හැකියාවෙන් සහ විනයගරුක සමාජයකින් රට ශක්තිමත්ව සංවර්ධනය කළ හැකි බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා පැවැසීය.

රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු ආයතනයේ 2019 වසරට නව සිසුන් බඳවාගැනීම වෙනුවෙන් දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේ දී පෙරේදා (10) පැවති උත්සවය අමතමින්ඒ මහතා මේ බව පැවැසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ඕනෑම වෘත්තියකින්ම යා හැකි උපරිම දුර පිළිබඳ අවබෝධයක් එය හදාරන්නා සතුව තිබිය යුතුයි. තාක්ෂණය ඒ සඳහා භාවිත කළ යුතුයි. මේ ලෝකේ සෑමදාම ගොඩනැඟීමට කටයුතු කළේ අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කළ අයයි. අද මේ රටේ තරුණ ප්‍රජාව ටිකක් කම්මැලි ගතියක් පෙන්වනවා. විශ්වවිද්‍යාලයට පැමිණි සිසුන්ගෙන් මා කළ විමසීමේ දී ඔවුන් උදේ 7.30 වනතුරු නිදා ගන්නවා කියනවා. රටක් සංවර්ධනය වීමට නම් කැම්මැලිකමින් තොර සමාජයක් ගොඩනැඟිය යුතුයි. ඒ සඳහා මට එරෙහි මම පිළිබඳ විමසීමක් කළ යුතුයි. හැම දෙනාම මේ ගැන සිතන්න. අලුත් දේ ගැන සිතන්න. තාක්ෂණය අවශ්‍යයි. තාක්ෂණය භාවිතයෙන් බොහෝ දුර යා හැකියි. ඒ සමඟ භාෂා ඥානය හදා ගන්න. තාක්ෂණය යොදාගෙන යහපත් දේ පමණක් ලබා ගන්න. තමන්ට අධ්‍යාපනය කියන පැත්තෙන් ඉදිරියට යන්න බැරි වුණත් වෘත්තිය පුහුණුව පැත්තෙන් හැකිතාක් දුර යා හැකියි. ඒ සඳහා නිසි අවබෝධයක් අවශ්‍යයි. ධෛර්යයමත්ව කැපවීම පමණයි එයට අවශය වන්නේ. මේ ලෝකේ වෙනස් කළ මිනිස්සු කැපවීමෙන් හා ධෛර්යයෙන් කටයුතු කළ අයයි. තරුණයෙක් හොඳ මඟක් තෝරාගැනීමට නම් ලෝකය වෙනස් කළ අයගේ චරිතාපදාන සියයක් විතර කියවිය යුතු බව විද්‍යාඥයෙක් පවසා තිබෙනවා. අපි වෙනත් රටකට යනවා නම් ඒ රට පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ වගේම අපේ රටේත් ස්වාභාව ධර්මය ගැනත් අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ පිළිබඳ දැනුම යාවත්කාලීන කර ගත යුතුයි. ඒ වගේම අන් අයටත් උපකාර කරන්න කටයුතු කරන්න. සැමවිටම සිනාමුසු මුහුණින් ඉන්න.

ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධයස්ථානයට 2019 වසරට නවකයන් 1800ක් බඳවා ගෙන ඇති අතර පරිගණක, රූපලාවන්‍ය, පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලා සහ භාෂා පාඨමාලා යටතේ මේ දරුවන් අධ්‍යාපනය ලැබීමට නියමිතය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේසරලාල් ගුණසේකර මහතා ඇතුළු විශාල පිරිසක් මේඅවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න