සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහි රිට් පෙත්සම සලකා බැලීම මැයි 22 | දිනමිණ

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහි රිට් පෙත්සම සලකා බැලීම මැයි 22

නෙල්කා මැදගෙදර

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම ලබන මැයි මස 22 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය 09 දා තීරණය කෙළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සළකා බැලීම කල් තැබීය.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම සලකා බලන ලදී.

ඇමැති මලික් සමරවික්‍රම ඇතුළු කැබිනට් මණ්ඩලය මෙහි වගඋත්තරකරුවෝ වූහ.

පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කර ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට පෙත්සම් මඟින් කරුණු ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වුවද මෙම ගිවිසුම සම්න්ධයෙන් කරුණු සලකා බැලීමට විශේෂ කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසින් සිය නිර්දේශ දැනටමත් ලබා දී ඇති බව මීට පෙර පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කළහ. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපේක්ෂාවෙන් බලා සිටින බව ද ඔවුහු මීට පෙර අධිකරණයට දන්වා සිටියහ.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.‍

 

නව අදහස දක්වන්න