හිසට සෙවණක් නොමැතිව හරිහැටි කුසට අහරක් නොමැතිව ටකරන් ගැසු කුඩා මඩුවක දහසකුත් වු බාධක මැද ඉතා දුකසේ ජිවත්වන වියපත් සහෝදරියන් දෙදෙනෙක් ගාල්ල ගල්වඩුගොඩ විස්කම් පාරේ පදිංචිව සිටිති. ඒ පොද්දන ප්රියංකර රොස්ලින් (82) හා පොද්දන ප්රියංකර යස්ලින්ය. (61) මොවුන් දෙදෙනාට කාත් කවුරුවත් නොමැති අතර අක්කාගේ උකුල් ඇට දෙකම බිදිගොස් ඇති නිසා ඇයට ඇවිදිමට නොහැකිය. අක්කාගේ සියලු ඇප උපස්ථාන කරනු ලබන්නේ නංගිය.
සැබවින්ම මේ දෙදෙනා ගතකරන්නේ ඉතා දුක්ඛිත ජිවිතයකි. මොවුන් පදිංචිව සිටින්නේ ටකරන් ගැසු කුඩා මඩුවකය. තැනින් තැන ඉටිකොළ ගසා අසුරාගෙන ඇත.වහලයට සෙවිලි කළ ඇතැම් සෙවිලි තහඩු හිල්වී තිබේ. වර්ෂා දිනවලදි මොවුන් පදිංචි මේ පැල්පතට වහලයෙන් ජලය කාන්දුවේ. කොටින්ම කිවහොත් මේ සහෝදරියන් දෙදෙනාට තම උපන්බිමේ බිම් කඩක අයිතියක් නැත.
නැගණිය වන පොද්දන ප්රියංකර යස්ලින් මෙසේ කීවාය.
අපේ අම්මා තාත්තා දැන් ජිවතුන් අතර නැහැ. ඥාතින් කවුරුවත් නැහැ. වෙනත් සහෝදර සහෝදරියන් කවුරුවත් අපට නැහැ.අක්කයි මායි විතරයි ඉන්නේ. මේ නිවසට පදිංචියට ඇවිත් දැනට අවුරුදු 30ක් විතර වෙනවා. රුපියල් 500ක බදු කුලියට තමයි ඉන්නේ. නගර සභාවෙන් ටකරන් ටිකක් ලැබුණා. වහලය හොදටම දිරලා. ඉටිකොළ ගහගෙන ඉන්නවා. අපට කියලා නිවසක් නැහැ .මවුපියන් ජිවත්ව ඉන්න කාලයේ ඉදලා බදු ගෙවල්වල තමයි අපි පදිංචිවෙලා ඉදලා තියෙන්නේ.
තාත්තා 88 අවුරුද්දේ දි මියගියා. අම්මා 89 අවුරුද්දේ කාර් රථයක හැපිලා අනතුරකට ලක්වෙලා මියගියා. ඊට පස්සේ අපි දෙන්නා තනිවුණා. අක්කා නිවාසවල ඉවුම් පිහිවුම් කරන්න ගියා. දරුවන් බලාගන්න ගියා . පස්සේ මාත් ගෙවල්වල දරුවන් බලාගෙන ඉවුම් පිහුම් වැඩ කරන්නට ගියා. එහෙම කරලා තමයි ජිවත්වෙන්න කියක් හරි හොයාගත්තේ. 2010 වර්ෂයේ දි අක්කා වැටිලා එක උකුල් ඇටයක් කැඩුණා . රොහල් ගතකරලා බෙහෙත් කළා කකුලට කම්බ් දැම්මා. 2013 ජනවාරි මාසයේ දි අසල නිවසකට යන්න ගිහින් එම නිවසේ ඉස්තොප්පුවේ වැටිලා අනික් උකුල් ඇටයත් කැඩුනා.දැන් අක්කාට ඇවිදින්න බැහැ. ඇයගේ සියලු ඇප උපස්ථාන කරන්නේ මම.ඒ නිසා මට කුලි වැඩකටවත් යන්න විදියක් නැහැ. ඇත්තටම අපට වැසිකිළි පහුකම් නැහැ. අසල්වැසි අයකුගේ වැසිකිළියකට තමයි යන්නේ. බිමට වතුර නැහැ. විදුලිය නැහැ. කුප්පි ලාම්පු එළියෙන් තමයි රාත්රිය ගත කරන්නේ. තද සුළගක් එනවිට වහලයේ ටකරන් උඩ යනවා. අපට සමාජසේවා දේපාර්තමේන්තුවෙන් මාසයකට රුපියල් 3000ක් ලැබෙනවා.සමෘද්ධියෙන් රුපියල් 1500ක් ලැබෙනවා. ඇත්තම කියනවා නම් සමහරක් දිනවල තුන් වේලාටම හරිහැටි කෑමක් නැහැ. ගමේ අසල්වැසියන් අපට ආහාරපානවලින් සංග්රහ කරනවා. වැඩිහිටි සමිතියෙන් උදවු කරණවා. නමුත් හැමදාම මේ දේවල් කරන්න බැහැ. අක්කාගේ රෝගි තත්ත්වය නිසා මට වැඩකට යන්න බැහැ.වැඩිහිටි නිවාසවලට ගන්නේ නැහැ .අක්කාට ඇවිදින්න බැරි නිසා . අපටම කියලා වැටිලා ජිවත්වෙන්න කුඩා නිවසක් ලබා දෙනවානම් විශාල පිංකමක් යැයි යස්ලින් මහත්මිය කිවාය.
නව අදහස දක්වන්න