ශ්‍රිලනිප මහ ලේකම්කමින් ඉවත්වුවත් ඉදිරියටත් දේශපාලනයේ රැදී සිටිනවා | දිනමිණ

ශ්‍රිලනිප මහ ලේකම්කමින් ඉවත්වුවත් ඉදිරියටත් දේශපාලනයේ රැදී සිටිනවා

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තමා ඉවත්වුවද ඉදිරියටත් දේශපාලනයේ රැදී සිටින බව හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

ඒ අනූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට සිය අනාගත දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවද හෙතෙම කීය.

අසීරුතම මොහොතක තමා පක්ෂයේ ලේකම් ධුරයේ කටයුතු කළ බවත් එහිදී 98% ක් ආසන බල මණ්ඩල පිහිටවනු ලැබූ බවත් ඒ මහතා පැවසීය.

පළාත් පාලන අයතනයක මන්ත්‍රීවරයෙකු හෝ නොවී මෙරට පැරැණිතම දේශපාලන පක්ෂයක මහලේකම්වරයෙකුවීම පිළිබඳ අතිශය සතුටු වන බවද ඒ පිළිබඳව කිසිදු පසුතැවිල්ලක් නොවන බවද රෝහණ ලක්ෂ්මන් මහතා කීය.

අවශ්‍යම මොහොතේ අවශ්‍යම කටයුතු පක්ෂයට ඉටු කර දුන් බවත් එහිදි සිදුවූ අතිශය වැදගත් කාර්ය වන ජනාධිපති හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්වීම සතුටක් බවත් හෙතෙම පැවසීය.

පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ජනාධිපති හා හිටපු ජනාධිපති එක්ව තීරණය කරනු ඇති බවත් ඒ වටා ප්‍රගතිශීලි බලවේග එක්වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මහ ලේකම් ධුරයෙන් ඉවත්විමට තමාට කරුණු කිහිපයක් බලපෑ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය තමා වෙත එවන ලද පිටු හයක ලිපිය ඒ සඳහා බලපෑ එක් කරුණක් බවත් මහාචාර්යවරයා කීය.

මේ ලිපියේ පිටු හයෙන් පිටු පහ හමාරක් තමා ඉලක්ක කැර චෝදනා කරමින් මෙන්ම විවේචනය කරමින් එය ලියා තිබු බවද හෙතෙම පැවසීය.

නව අදහස දක්වන්න