අංගම්පොර සටන් කලාව ක්‍රීඩාවක් ලෙස පාසලට ගෙන යා යුතුයි | දිනමිණ

අංගම්පොර සටන් කලාව ක්‍රීඩාවක් ලෙස පාසලට ගෙන යා යුතුයි

ප්‍රින්ස් ගුණසේකර

දේශීය අංගම්පොර සටන් කලාව ඇසුරෙන් ඇති අංගම්පොර ක්‍රීඩාව පාසල් තුළ ප්‍රචලිත කිරීමේ කාලය උදාවී ඇතැයි ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. අංගම්පොර ක්‍රීඩාව පාසල් දරුවන් තුළ මානසික හා ශාරීරික සෞඛ්‍ය වර්ධනය කිරීමට සමත් බැවින් මෙය පාසල් තුළ සක්‍රීය කිරීම වැදගත් බව මහාචාර්යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට අවේනික සටන් කලාවක් ඇසුරෙන් අංගම්පොර ක්‍රීඩාව බිහිව ඇති නිසා පාසල් දරුවන් තුළ පහසුවෙන් ප්‍රචලිත කළ හැකිව ඇතැයි අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා අංගම්පොර ක්‍රීඩා සම්මේලනයේ සහයෝගය මත අධ්‍යාපන අමාතයාංශය විසින් මේ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වැදගත් බවද ඒ මහතා සඳහන් කළේය.

“ජනවහරේ සඳහන් වන ආකාරයට අංගම්පොර සටන් කලාව රාවණා යුගයෙන් ඔබ්බට වසර 33000කට එපිට ඉතිහාසයකට දිවයනවා. ඉතිහාසයේ පැවැති විවිධ සටන් වලදී අංගම්පොර සටන් ක්‍රම භාවිතා කර තිබෙනවා. මෙය ආත්මාරක්ෂක සටන් කලාවක්. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය හොඳින් තබා ගන්නා නිරෝගී පරපුරක් වෙනුවෙන් හොඳ අභ්‍යාසයක්. ක්‍රීඩාවක් ලෙසත් මෙය වැදගත් වෙනවා. මේ වගේ සැගවී යන දේ ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතුයි මහාචාර්යවරයා සඳහන් කළේය.

කරාටේ හා වූෂූ ක්‍රීඩා මෙන් අංගම්පොර ක්‍රීඩාවේ ප්‍රමිතියක් ඇති කිරීමෙන් මේ සටන් කලාවට නව මුහුණුවරක් දිය හැකි බවට විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාවේ අංගම්පොර ජාතික සංගමයට අනුබද්ධ ක්‍රීඩා සමාජ 6ක් ඇති අතර අංගම්පොර සටන් කලා පුහුණු කිරීමේ පෞද්ගලික ආයතන 200ක් පමණ මෙරට ක්‍රියාත්මකව පවතී. එහෙත් තවමත් පාසල් මට්ටමේ අංගම්පොර සංගම් බිහිවී නොමැතිවීම මෙය ව්‍යාප්තවීමට බාධාවකි.

කෝට්ටේ යුගය, දඹදෙනිය යුගය, නුවර යුගය, සීතාවක යුගය, රිටිගල යුගය ඇතුළු යුග ගණනාවක ගුරුකුලවලට අයත් සියලු දෙනා ආයුධ හරඹ ආශ්‍රිත අංගම්පොර ක්‍රීඩාවට පොදු විෂය මාලාවක් සකස් කිරීමට සාකච්ඡා ආරම්භ කොට ඇත. එමගින් නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීමට සියලු දෙනාට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

ඉන්දියාවේ කේරළයේ ‘කරළි’ පාරම්පරික සටන් කළාව, තායිලන්තයේ මෝතායී පාරම්පරික ක්‍රීඩාව ඇසුරෙන් පවත්වාගෙන යන සටන් කළාව ඉතා ජනප්‍රියවී ඇති අතර හොංකොං හී සටන් කළා ඇසුරෙන් පවතින ක්‍රීඩා ද ඉතා සාර්ථක මට්ටමක පවතී.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වසර ගණනාවක් ඈතට දිවයන මේ සටන් කලාව 1815 දී උඩරට ගිවිසුමෙන් පසු තහනමකට ද ලක්විය. අංගම්පොර ශිල්පයට භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය පුහුණු කරවීමද තහනම් කළ අතර අංගම්පොර භාවිතය හෝ ඉගැන්වීම දැඩි දඩුවම් පමුණුවන ක්‍රියාවක් බවට බ්‍රිතාන්‍ය පාලනයෙන් නියෝග පැනවුණි. මේ මර්දනය හමුවේ අංගම් ශිල්පීහු රහසිගතව කැලෑවැදී තම පරම්පරා‍වට පමණක් ශිල්පය ලබා දීමට කටයුතු කළහ.

නව අදහස දක්වන්න