කමිල් මිෂාරගෙන් ශතකයක් | දිනමිණ

කමිල් මිෂාරගෙන් ශතකයක්

සංචාරක ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්දින තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර සමත් විය.

කොළඹ එස්.එස්. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දෙවැනි දිනයට ඊයේ ක්‍රීඩාව නතර කරනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල කඩුලු 7ක් දැවී ලකුණු 287ක් රැස්කරගෙන සිටියේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල කඩුලු 9ක් දැවී ලකුණු 269කට පළමු ඉනිම අත්හිටවූ අතර ඒ අනුව කඩුලු 3ක් අතැතිව සිටින ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිටී.

පන්දු 235කට මුහුණදුන් මිෂාර ලකුණු 105ක් ලබාසිටියදී ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 215දීය. හතරේ පහර 17කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු, පළමු කඩුල්ලට තවීෂ අභිෂේක් සමග ලකුණු 93ක, මොහොමඩ් සමාෂ් සමග සමග දෙවැනි කඩුල්ලට ලකුණු 84ක් සහ නායක නිපුන් ධනංජය (20) සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 38කද සබඳතා ගොඩනැගීය.

පන්දු 68කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 36ක් ලබාසිටි තවීෂ ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර සමාෂ් ලකුණු 43ක් රැස් කළේය. පන්දු 92කට මුහුණදුන් ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය.

අද තරගයේ අවසන් දිනයයි.

නව අදහස දක්වන්න