පියඹා යාවී සෞදි කිරිල්ලී | දිනමිණ

පියඹා යාවී සෞදි කිරිල්ලී

ෆවුස් මොහොමඩ්

‘ඔබේ අත්තටු බිඳ දමන්න කිසිවකුට ඉඩ නොදෙන්න. සටන් කරමින් ඔබේ අයිතිය දිනාගන්න.‘

දින කිහිපයක සිට ලොව කැළඹූ පුවතක් බවට පත්වූ අන්තර්ජාලයේ වැඩිම අවධානයක් දිනාගත් සෞදි යුවතිය 18 හැවිරිදි රහාෆ් මොහොමඩ් අල් කූනුන් සිය ‘ට්ටිටර්‘ ගිණුමේ එසේ සටහන් කළේ පෙරේදා ඔස්ට්‍රේලියානු රජය ඇයට සිය රටට ඇතුල්වීමට අවසර දෙන බවට කළ ප්‍රකාශයෙන් පසුවය.

දැඩි මතධාරී ඉස්ලාම් ප්‍රජාවගේ මූලස්ථානය ලෙස සැළකෙන සෞදි අරාබියේ කාන්තාවන් මුහුණ පා සිටින හිංසනයට විරුද්ධව කැරළි ගසමින් එරට දස දහස් ගණනාවක කාන්තාවන්ගේ ජීවිතවලට අලුත් පැහැයක් ගෙන දුන් මේ දිරිය සම්පන්න යුවතිය සරණාගත ලේබලය යටතේ හෙට අනිද්දාම ඔස්ට්‍රේලියාවේ රැකවරණය ලබනු ඇත. එහිදී ඇය සිය ස්වාධීන ජීවන රටාවක් වෙනුවෙන් පොදි බඳින්නට වූ සිහින සමුදාය එකින් එක සැබෑ කරගනු ඇත.

ඇගේ නිර්භීතභාවයත්, සිතට කා වදින විස්මිත ක්‍රියාකලාපයත්, සෞදියේ කාන්තාවන්ට සිදුවන හිරිහැර ගැන ලෝක ප්‍රජාවගේ ඇස් ඇරවීමත් නිසා රහාෆ් අල් කූනුන් මේ වනවිට ජාත්‍යන්තර චරිතයක් බවට පත්වී හමාරය.

මීට දින 6කට පමණ පෙර කුවේට් හී සංචාරයක නිරතව සිටියදී සිය පවුලේ සාමාජිකයන්ගෙන් මිදී පලා ගිය ඇය ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට යාමට සංචාරක විසා ලබා සිටිය ද බැංකොක් ගුවන් තොටුපල හරහා ඔස්ට්‍රේලියාව බලා යාමට පැමිණි මොහොතේ බැංකොක් නුවර සුවර්ණභූමි ගුවන් තොටුපළේදී එරට ආගමන හා විගමන නිලධාරිහු ඇය රඳවා ගත්හ.

ඇය ඒ වනවිටත් සිය ජංගම දුරකතනය මගින් ට්විටර් ගිණුම යාවත්කාලින කරමින් මේ අවදානම් ගමනෙහි තොරතුරු ලොවට මුදා හරිමින් සිටියාය.

‘මගේ නම රහාෆ් මොහොමඩ්. මගේ පවුලේ අයත්, සෞදි අරාබිය හා කුවේට් රටවලුත් මාව හඹා එන්නේ නැතිනම් මගේ සම්පූර්ණ නම සඳහන් කරන්නම්.‘ මේ පසුගිය 5 වැනිදා ඇය සිය ට්විටර් ගිණුමෙහි තැබූ සටහනය. අනතුරු එදිනම පස්වරුවේ ඇය මෙසේ සඳහන් කළාය.

‘මම කුවේට්වල සිට තායිලන්තයට පැනලා ආපු තරුණියක්. මගේ ජීවිතය දැන් අවදානම් තත්ත්වයක තියෙන්නේ. මොකද තායිලන්තයේ සෞදි තානාපති කාර්යාලය මාව ආපහු සෞදි අරාබියට යවන්නයි උත්සාහ ගන්නේ. මම දැන් ඔස්ට්‍රේලියාවට යන්න මගේ දෙවැනි ගුවන් ගමන බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.‘

ඊළඟ දිනය වනවිට ඇගේ පලා යාමේ තොරතුරු සියල්ල තායිලන්ත රජය අනාවරණය කරගත්තේය. ඔවුන් එරට සෞදි තානාපති කාර්යාලය දැනුවත් කර තිබූ අතර පසුදින නැවත ඇය සෞදි අරාබිය බලා පිටත් කිරිමට සූදානමින් සිටියේය.

‘මාව ගුවන්තොටුපලේ හෝටලයක රඳවා ගත්තා. හෙට මාව කුවේට්වලටත්, එතැනින් ආපහු සෞදි අරාබියටත් පිටත් කරන්නයි සූදානම. ගුවන් තොටුපලේ ආරක්ෂක නිලධාරීයෙක් නිතරම මා පසුපසින් සිටිනවා.

මගේ ආරක්ෂාවට කාටවත් කතා කරන්න ඉඩ දෙන්නෙ නෑ. තායි පොලීසිය මට උදව් කිරිම ප්‍රතික්ෂේප කළා.‘ මේ පසුදින උදැසන ඇය තැබූ සටහනයි. ‘වරින් වර සෞදි තානාපති කාර්යාලයේ නිලධාරින් හා කුවේට් ගුවන් සේවයේ නිලධාරින් පැමිණ මට තර්ජනය කරනවා.‘

‘මට දැන් නැතිවෙන්න දෙයක් නෑ. මම දැන් මගේ සත්‍ය නමයි, සියළු තොරතුරුයි සටහන් කරන්නම්. මගේ නම රහාෆ් මොහොමඩ් මට්ලක් අල් කුනුන්. මේ මගේ ඡායාරූපයක්.‘ ට්විටර් ගිණුමේ එසේ සඳහන් කළ ඇය සිය ඡායාරූපයක් ද මුදා හැරියාය.

ඊළඟ මොහොතේදිම ඇයට ට්විටර් වෙබ් අඩවියේ බොහෝ සාමාජිකයන්ගෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ තායිලන්ත නියෝජිත කාර්යාලයේ සහ මානව හිමිකම් කාර්යාලයේ දුරකතන අංක සහ ලිපින ගලා එන්නට විය.

තායි පොලිස් නිලධාරින් හෝටල් කාමරයේ දොරටුව අසළ මුර කරන්නට වූ අතර පිටස්තර පුද්ගලයන්ට ඇය හමුවීමට අවස්ථාවක් නොලැබිණි.

බැංකොක් නුවරින් නැවත සෞදි අරාබියට පිටුවහල් කිරීමට එරට බලධාරින් උත්සාහ කළත් එය සිය ජීවිතයට තර්ජනයක් බව කියමින් ඇය ගුවන් යානයට නැගීම ප්‍රතික්ෂේප කරමින් සිය ට්විටර් ගිණුම මගින් මේ පුවත ලොවට මුදා හැරියාය.

‘බයවෙන්න එපා රහාෆ්. මුළු ලෝකයම ඔබත් සමගයි. බලාපොරොත්තු බිඳ ගන්න එපා.‘ ඊළඟ මොහොතේ පිටස්තර ලෝකයෙන් ලැබුණු ට්විටර් පණිවුඩවලින් ඇගේ ගිණුම පිරී ඉතිරෙන්නට පටන් ගත්තේය.

තායිලන්ත බලධාරීන්ගේ නෙත නොගැටෙන්නට තව දුරටත් සිය ට්විටර් ගිණුම යාවත්කාලීන කරමින් සිටි රහාෆ් ඇගේ වීඩියෝ පට කිහිපයක් ද අන්තර්ජාලයට මුදා හැරියාය.

‘අනේ මාව බේරගන්න..‘ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියාය. ඉන් නොනැවතී තමා කුවේට් බලා යන ගුවන් යානයට පැටවීමට එරෙහිව උද්ඝෝෂණය කරන ලෙස ගුවන්තොටුපලේ සිටි මගීන් වෙත ආයාචනා කළාය. මේ අතර තායි රජය ඇය නැවත පිටුවහල් කිරිමට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටියේය. අවසානයේදී ඔවුන්ට ඇගේ පිටුවහල් කිරීම සම්බන්ධව නීති උපදෙස් ලබාගැනීමට ද සිදුවී තිබිණි. ඇගේ පියා සෞදි අරාබියේ ආණ්ඩුකාරවරයකු බැවින් තායි රජය ඇය නැවත සෞදි අරාබියට පිටුවහල් කිරීමට උත්සාහ ගන්නා බවක් තවත් ට්විටර් ගිණුමක සඳහන් විය. පියාගේ ඡායාරූප කිහිපයක් ද එහි පළකර තිබිණි.

‘මට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් සම්බන්ධ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන්ට කතා කරන්න ඕනා.‘ ඇගේ ඊළඟ පණිවුඩයේ එසේ සඳහන් විය.

ඇය කුවේට් බලා පියාසර කරන ගුවන් යානයට පැටවීමට ඒ වනවිට ඉතිරිව තිබුණේ පැයක කාලයක් පමණි. තායි පොලීසිය ඇය කාමරයෙන් පිටතට ගැනීමට උත්සාහ කළේය. එහෙත් ඇය දොර විවෘත කළේ නැත.

‘මම කාටවත් දොර අරින්නෙ නෑ. මට ඕනා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයෝ. (I want UN) එසේ සටහන් කළ ඇය ඊළඟ පණිවුඩයේ වාර සියයක් පමණ එම වැකියම ‘I want UN‘ සටහන් කරමින් සිය පීඩනය මුදා හැරියාය.

ඒ වනවිටත් මේ සිදුවීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි රැසක් ලැබී තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සිදුවීමට මැදිහත්වූයේ ඉන් පසුවය. ලොව පුරා මේ පුවත පැතිරී යාමත් සමග සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ ඇයට සහයවීමට සුවර්ණභූමි ගුවන් තොටුපලට පැමිණියහ. ඔවුන්ට රහාෆ් මුණගැසීම වැළක්වීමට තායි බලධාරින්ට නොහැකිවිය.

රහාෆ්ගේ සිදුවීම ලොවට අනාවරණය වීමෙන් පසුව තායිලන්තයේ සෞදි තානාපති කාර්යාලයේ නිලධාරීන් තායි පොලීසිය විවේචනය කළේ ‘ඔවුන් කළේ වැරැද්දක්. ඔවුන්ට තිබුණේ පාස්පෝට් එක වෙනුවට ඇගේ ජංගම දුරකතනය ගන්නයි.‘ කියමිනි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ රැකවරණය මැද තායිලන්තයේ රැඳී සිටින අල් කූනුන්ට වෙනත් රටට ඇතුල්වීමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතියට අනුව ඇය සරණාගතයකු ලෙස නම් කළ යුතුව තිබිණි. ඒ අනුව පෙරේදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇය සරණාගතයකු ලෙස නම් කිරිමෙන් පසුව ඇයට සංචාරක වීසා බලපත්‍රය ලබාදීමට කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කළේය.

කාන්තාවන් සම්බන්ධව සෞදි රජය ගෙන යන දැඩි ප්‍රතිපත්තිය විවේචනයට ලක් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ පළමු තරුණිය රහාෆ් මොහොමඩ් අල් කුනුන් නොවූවාය. එසේම සෞදි නීතියට පිටුපාන අවසන් තරුණිය ද ඇය නොවනු ඇත. දස දහස් සංඛ්‍යාත සෞදි කාන්තාවෝ දැන් දැන් සිය රජයට සහ එරට ආගමික සභාවට එරෙහිව සටන් වැදීමට පෙළඹී සිටිති. අල් කුනූන් ඒ සියළු කාන්තාවන්ට එක්තරා අන්දමක අනුප්‍රාණයක් බවට පත්වී සිටින්නීය.

අල් කුනුන්ගේ සිදුවිම වනතුරු වැඩි අවධානයක් යොමු නොවූ තවත් එක් නීතියකින් සෞදි කාන්තාවෝ කොටුවී සිටියහ. ඒ භාරකරුවකු නොමැතිව නිවසින් පිටවිම තහනම්වී තිබීමය. ‘male guardianship system‘ නමින් හඳුන්වනු ලබන මේ ක්‍රමවේදය හේතුවෙන් සෞදි කාන්තාවන්ගේ නිදහස අසීමිතව අහිමිවී තිබිණි. ඇයට නිවසින් පිටතට යාමට සිදුවූයේ සිය පියා, සොයුරා, සැමියා හෝ පුත්‍රයා සමග පමණි. සෞදි කාන්තාවන්ට සිය ගුවන් ගමන් බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරිමට නම් පවුලේ පිරිමි පාර්ශ්වයේ අනුමැතිය ලැබූ සහතිකයක් ඉදිරිපත් කළ යුතුව ඇත. විදෙස් සංචාර සඳහා පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා රජයේ ශිෂ්‍යත්වයක් ලැබීමේදි, විවාහ වීමේදි, සිර දඬුවමකින් නිදහස ලැබීමේදිත් ‘පිරිමි සහතිකය‘ ඇයට අත්‍යවශ්‍ය ලිපියක් බවට පත්වී ඇත.

‘සෑම සෞදි කාන්තාවකටම, සෞදි තරුණියකටම උපතේ සිට මරණය දක්වා මුහුණදීමට සිදුවන කටුක යථාර්ථය මෙයයි. ඔවුන් (සෞදි පිරිමින්) කාන්තාවන්ට සළකන්නේ සුළුතර ජන කොටසකට වගේ.‘ ඊජිප්තු සම්භවයක් සහිත අමෙරිකානු වාර්තාකාරිනියක වන මෝනා එල්ටාවි බී.බී.සී. පුවත් සේවයට එසේ කියා සිටින්නීය.

අල් කුනුන්ගේ සිදුවීමත් සමග සිය රටෙහි දැඩි මතධාරී මුස්ලිම් පිරිමින්ට එරෙහිව හඬ නගමින් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සෞදි යුවතියක වන 20 හැවිරිදි නෝරා අල් හාරී ඉතා වැදගත් පුවත් රැසක් අන්තර්ජාලයට මුදා හැරීයේ ජාත්‍යන්තර ප්‍රජාවගේ විමතිය අවුස්සා දමමිනි. ඇය කියන පරිදි නිදහස සොයා සෞදි කාන්තාවන් රටින් පලායාමට පටන් ගත්තේ අද ඊයෙක සිට නොවේ. එය වසර කිහිපයක් පුරා කිසිදු ප්‍රසිද්ධියකින් තොරව සිදුවන්නකි. එසේ පලා යන ඇතැම් කාන්තාවන් තව දුරටත් ජීවත්වීමට වාසනාව උදාකරගනිමින් වෙනත් රටවල පුරවැසිභාවය ලබා ගත්හ. තවත් පිරිසකට නැවත හිස් අතින් සිය රටට යාමට සිදුවිය. එසේ පිටුවහල් කෙරෙන අසරණ කාන්තාවන්ට සිදුවන්නේ කුමක්දැයි කිසිවකු නොදනී.

නෝරා අල් හාරි මිට වසර කිහිපයකට පෙර සිය පවුලේ තාඩන පීඩනවලින් මිදී සිඩ්නි නුවරට පලා ගිය සෞදි තරුණියකි.

‘2017දී ඩීනා අලි ලාස්ලූම් කියන 24 හැවිරිදි සෞදි කාන්තාවට ආපසු තමන්ගේ රටට යාමට සිද්ධවුණා. ඇය පලා ගියේ පිලිපීනයටයි. ඒත් පිලිපීනය ඇය ප්‍රතික්ෂේප කරමින් නැවත සෞදියට පිටුවහල් කළා. අවාසනාවකට ඇයට සමාජ වෙබ් ජාලාවල හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමක් ලැබුණේ නෑ. එවැනි මැදිහත්වීමක් ලබාගැනීමට තරම් ඇයට දැනුමක් තිබුණෙත් නෑ. ඇය ආපසු සෞදි අරාබියට ගිහින් දැන් ටික කාලයක් වෙනවා. අදටත් ඇය ගැන කිසිම ආරංචියක් නැ. ඇය අතුරුදන් වෙලා.‘ අල් හාරි එසේ කියන්නීය.

අල් කුනුන් අන්තර්ජාලය කදිමට භාවිත කරමින් මේ සිදුවීම ලොවට මුදා හැරිමෙන් ඇගේ ජීවිතය බේරාගැනීමට වාසනාව උදාවී තිබේ.

‘මට මගේ රටේ වැඩ කරන්නවත්, ඉගෙන ගන්නවත් නිදහසක් නෑ. මට මේ නිතිරීතිවලින් නිදහස් වෙන්න ඕනා. මට වැඩිදුරට ඉගෙන ගන්න ඕනා. මට රස්සාවක් කරන්න ඕනා. මම ගෙදරදී හිංසනයට ලක්වුණා. කොණ්ඩේ කොටට කපා ගත්තා කියලා තාත්තා මාව කාමරේ දාලා හිර කළා.‘ රහාෆ් මෙවැනි ට්විටර් පණිවුඩ රැසක් අන්තර්ජාලයට මුදා හැර තිබිණි. කෙසේ වෙතත් ඇය කැටුව යාමට බැංකොක් නුවරට පැමිණි ඇගේ පියා සහ සොයුරා මේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

‘අපිට තව දුරටත් පිරිමි පාර්ශවයේ භාරකාරත්වයේ සිටින්න අවශ්‍ය නෑ. අපිට නිදහස අවශ්‍යයි. අපිට රහාෆ් වගේ නිර්භිත තීරණ ගන්න තරම් ශක්තියක් නෑ ‘ සිය ගණනක සෞදි තරුණියන් දැන් දැන් මෙවැනි පණිවුඩ මගින් සමාජ වෙබ් අඩවිජාලා පුරවා දමමින් සිටිති. නමුත් සෞදි රජයට අනුව මෙවැනි ප්‍රකාශවලින් සිය රජය විවේචනයට ලක් කිරීම දේශද්‍රෝහි ක්‍රියාවක් බවය. එහෙත් දැන් රහාෆ්ගේ සිදුවීමත් සමග සෞදි කාන්තාවන් පසුබට කිරිමට රජය අසමත්ව සිටී.

‘ඔබ ඇත්තටම වීරවරියක්. ඔබ සෞදියේ කාන්තාවන්ට විප්ලවයකට දොරට විවර කළා. ඒ වගේම ලෝකයටත් හොඳ පාඩමක් කියා දුන්නා.‘

‘අපි සෞදි රජයෙන් කිසිවක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ අපේ නිදහස. ඒක අපේ මූලික අයිතියක්.‘

‘පිරිමින්ගේ භාරකාරත්වය අහෝසි කරනවා කියන්නේ අපි අපේ පවුලට ද්‍රෝහි වෙනවා කියන එක නෙවෙයි.‘

‘සෞදියේ මුළු කාන්තා පරපුරම බේරා ගන්න එක හඬක් හොඳටම ඇති.‘ සෞදි අරාබියේ බොහෝ කාන්තාවෝ රහාෆ්ගේ ට්විටර් ගිණුමට එසේ පණිවුඩ එවන්නට වූහ.

‘ඔබ විශිෂ්ට තරුණියක් රහාෆ්. අපි හැමෝම ඔබ පිළිගැනීමට බලා සිටිනවා.‘ ඔස්ට්‍රේලියාවේ බොහෝ කාන්තාවන් එසේ සඳහන් කර තිබේ.

රහාෆ් අපට කියා දෙන්නේ ජිවිත පැහැපත් කරගැනීමට අවශ්‍ය නම් ඕනෑම අවදානමක් ගන්නා ලෙසය. ඇය හෙට අනිද්දාම සිය ජීවිතයේ නැවුම් සිහින තුරුළු කරගනිමින් ඔස්ට්‍රේලියාවට ගොඩ බසිනු ඇත.


නව අදහස දක්වන්න