මෙරට පුද්ගල ඡාවාරම් ජාලයක් ව්‍යර්ථ කිරීමට මැලේසියාව සමත් වෙයි | දිනමිණ

මෙරට පුද්ගල ඡාවාරම් ජාලයක් ව්‍යර්ථ කිරීමට මැලේසියාව සමත් වෙයි

ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක පුද්ගල ඡාවාරම් ජාලයක් ව්‍යර්ථ කිරීමට මැලේසියානු පොලිසිය සමත් වෙයි.
 
නීති විරෝධි සංක්‍රමණිකයන් ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මැලේසියානු පොලිසිය පියවර ගෙන ඇති බව, එරට මාධ්‍ය සඳහන් කරයි. මැලේසියාව හරහා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා බෝට්ටු මගින් ක්‍රියාත්මක පුද්ගල ජාවාරම ව්‍යර්ථ කිරීමට මැලේසියානු පොලිසිය පියවර ගෙන තිබේ.
 
අනවසර ශ්‍රී ලාංකීය සංක්‍රමණිකයෝ 24 දෙනෙක් සහ ඉන්දීය ජාතිකයෝ 10 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. ශ්‍රී ලාංකීය සංක්‍රමණිකයන් පිරිසට කාන්තාවන් 08 දෙනෙකු, පිරිමි ළමයින් දෙදෙනෙකු හා ගැහැණු ළමයින් දෙදෙනෙකු ද ඇතුළත් බව, මැලේසියානු පොලිසිය පවසයි.
 
ශ්‍රී ලාංකික පිරිසට චෝදනා එල්ලවී ඇත්තේ, නීති විරෝධි ලෙස මැලේසියාවට ඇතුළුවීම පුද්ගල ජාවාරමේ නිරතවීම හා ආගමන නීති උල්ලංඝනය සම්බන්ධවයි.
අදාළ  පුද්ගලයන් රුවල් යාත්‍රාවක් මිලදී ගෙන ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. අනතුරුව අනවසර සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට හා නවසීලන්තයට ප්‍රවාහනය කිරීම සඳහා බෝට්ටු එන්ජින් ත්‍රිත්වයක් මිලදී ගැනීමේ ක්‍රියාවලියේ නිරත වී ඇති බවට ද පොලිසිය හෙළි කරගෙන ඇත.
 
ඉකුත් වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක පුද්ගල ජාවාරම් ජාලයක් සාර්ථකව මැඩපැවැත්වීමට මෙමගින් හැකිවී ඇති බව, මැලේසියානු පොලිසිය පෙන්වා දෙයි.

නව අදහස දක්වන්න