අයිටීඑන් ගැටලුව සමථයකට පත්කර ගත්තා | දිනමිණ

අයිටීඑන් ගැටලුව සමථයකට පත්කර ගත්තා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සුභාෂිණී සේනානායක

ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපතිවරයාගේ නියෝජිතයකු, අයි ටී එන් ආයතනයේ සභාපතිවරිය ඇතුළු සියලු පාර්ශ්ව අදාළ අය සමඟ සාකච්ඡා කිරිමෙන් පසුව අයි.ටී.එන් ආයතනයේ ඇති වූ තත්ත්වය සමථයකට පත්කර ගැනීමට හැකිවූ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (09) ප්‍රකාශ කළේය.

2015 ජනවාරි අටවැනිදා‍ බලයට පත්වූ ආණ්ඩුව යටතේ අයිටිඑන්, ‍ලේක්හවුස්, ජාතික රූපවාහිනිය වැනි රාජ්‍ය මාධ්‍ය ආයතනවල කිසිඳු සේවකයකු හට වචනයකින් හෝ බලපෑමක් සිදු නොවු බවත් ‍පසුගිය ඔක්තෝම්බර් 26 දා මහින්ද රාජපක්ෂ මහතා පත්වූ‍ වෙලාවේ ඔහුගේ හිතවාදීන් කටයුතු කළේ සත්තු වගේ බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ අයිටීඑන් ආයතනයේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මංගල සමරවීර මහතා මෙසේද පැවසීය.

අයි.ටී.එන්.ආයතනයේ ඇතිවූ කලබලකාරි තත්ත්වය ඊයේ වනවිට සියලුළු පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් සමථකයට පත් වුණා.ජනාධිපති උපදේශක, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ,අයි ටී එන් ආයතනයේ සභාපතිවරිය වන තිලකා ජයසුන්දර යන සියලූ දෙනා ඒ පාර්හ්ව සමඟ සාකච්ඡාකර මතුව තිබූ ප්‍රශ්නයට විසඳුමක් සොයාගැනීමට හැකි වුණා.

උද්ඝෝෂණයට සහභාගී වූ අය ආයතනයේ දෛනික රාජකාරියට බාධාකර තිබුණා. ආයතනයේ කීර්ති නාමයට බරපතළ හානියක් සිදුකර තිබෙනවා.අයිටීඑන් ආයතනයේ රේටින් ශීඝ්‍රයෙන් වැඩි වුණා. පසුගිය රජය කාලයේ එය රජයේ හොරනෑවක් බවට පත් කර තිබුණා.මහින්ද අබේසුන්දර අපට බැන්නේ කුණු හරුපෙන්.නමුත් ඒ තත්ත්වය අපි සම්පූර්ණයෙන් වෙනස් කළා. 2015 ජනවාරි 08 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් වූ වෙලාවේ, පසුගිය ආණ්ඩුවේ කිසිම කෙනෙකුගෙන් පළිගත්තේ නෑ.සාමාන්‍යයෙන් ආ‍ණ්ඩු මාරු වන අවස්ථාවලදී අයි ටී එන්, ජාතික රූපවාහිනිය, ලේක්හවුස් වැනි ආයතනය විශාල කලබලයක් ඇති කරලයි වැඩ පටන් ගන්නේ. නමුත් 2015 ජනවාරි ආ‍ණ්ඩු මාරුව සිදුවූ වෙලාවේදි කිසිම සේවකයකු හට ප්‍රශ්නයක් ඇතිවුනේ නැහැ. වචන හුවමාරුවක්වත් ඇතිවුණේ නැහැ. රණ්ඩුවක් ඇති වුණේ නෑ.මේ වතාවේ කාගෙවත් රැකියා නැතිවුණෙ නෑ. බොහොම සාමකාමීව ආණ්ඩු මාරුව සිදු වුණා.

නමුත් ඔක්තෝබර් 26 ඇති වූ ව්‍යවස්ථා කුමන්ත්‍රණයත් සමඟ සිදුවූ ආණ්ඩු වෙනස අවස්ථාවේදී පැහැදිලිව පෙනුනා මහින්ද රාජපක්ෂ හිතවාදීන්ගේ හැටි.

ඔක්තෝම්බර් 26 වැනිදා රාත්‍රියේ මමත් , රන්ජිත් මද්දුම බණ්ඩාර , රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් ජාතික රූපවාහිනියට ගියා. අපි ගියේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට‍. අපි ජාතික රූපවාහිනියට එනව දැක්කම මේ අයගේ හිතවාදීන් වැඩසටහන් අවසන් කර ජාතික ගීය ප්‍රතිවාදනය කරන්නට පටන් ගත්තා.‍මහින්ද රාජපක්ෂ මහතා පත්වූ‍ වෙලාවේ මේ අයගේ හිතවාදීන් කටයුතු කළේ සත්තු වගේ.ඒ වෙලාවේ රූපවාහිනියේ සිටියේ මැරවරයෝ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු,සහ මේ මැරවරයෝ එදා අපි රූපවාහිනියට ගිය වෙලාවේ ගල්මුල්වලින් පහර දුන්නේ සත්තු වගේ.මේ අයගේ සැබෑ ස්වරූපය එදා පෙන්නුවා‍. නමුත් අපි කාගෙන්වත් පළිගත්තේ නෑ .

කොහොම වුණත් ස්වාධීන රූපවාහිනි ආයතනය තුළත් කිසිම ප්‍රශ්නයක් නිර්මාණය වී තිබුණේ නැහැ. ඔක්තෝම්බර් 26 වැනිදා‍ රාත්‍රියේම පිරිසක් ස්වාධීන රූපවාහිනි ආයතනය වෙත ගියා. සුදර්මන් රඳලියගොඩ ගැන කතා කරනවා නම් එක දවසක් මදි. සුදර්මන් විසින් සිදුකර ඇති සොරකම්, වංචා දූෂණ ගැන කතාකරන්න දවස් දෙක තුනක්වත් යනවා. ස්වාධීන රූපවාහිනි ආයතනය සඳහා අපි අලුතින් කිසිවෙක් පත්කළේ නැහැ. තිබුණු ආකාරයට ඒ විදිහටම තැබුවා. එසේ තිබියදී සේවකයන් පිරිසක් අයි ටි එන් සුරැකීමේ සංවිධානය කියා සංවිධානයක් පිහිටුවාගෙන කුණු හරුප කියමින් කෑ ගසන්නට පටන් ගත්තා. මේ අය නිසා ඒ අසල ජීවත් වන අයටත් ගැටලු පැනනැගී තිබෙනවා. ඕනම ආයතනයක විනයක් තිබිය යුතුයි. විනයක් නැතිව කිසිම ආයතනයක් පවත්වාගෙන යන්නට බැහැ. ඒ වගේම මේ සිදුවීමත් සමඟ පොලිසිය ආවා. නමුත් ඇතුළට ආපු පොලිසියේ අයට දුරකථන ඇමතුමක් ආවා. ඒ අය හැරිලා ගියා‍.ඒ වගේම මේ වෙලාවේ පොලිස්පතිෙවරයා සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් කනගාටු වෙනවා.කොහොම වුනත් මේ සිද්ධිය මේ වනවිට සමථයකට පත්වී තිබෙනවා. ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා , ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නියෝජිතයෙක් මේ වෙනුවෙන් සොයා බැලීම සඳහා මැදිහත් වුණා‍.

අයි ටී එන් සුරැකීමේ සංවිධානය වර්තමානය ගැන කතා කරනවා. නමුත් 2015 ට පෙර සිදුවූ දූෂණ වංචා කිසිවක් ගැන මේ අයට පෙනුනේ නැහැ. 2015 ජනවාරි සිට 2018 අගෝස්තු දක්වා රුපියල් මිලියන 677 ක මුදලක් ආයතනයේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ලබාගත්තා කියා කළමනාකාර අධ්‍යක්ෂ විසින් ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා‍.මුදල් අවභාවිතයක් සිදුව නැති බවත් එහි සඳහන් . අභ්‍යන්තර විගණනයන් පවා සිදුකර තිබෙනවා. ආයතනයේ මුදල් අවභාවිත වී නැහැ. විපක්ෂයේ අය ආණ්ඩුව කරන කොට එදා අයි ටී එන් එක සූරාකෑවා. ජනාධිපති ‍මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කළ කොමිෂන් සභා වාර්තාවේ අනුර සිරිවර්ධන, මූර්තී විජේසිංහ, ජයසිංහ ආර් උපාලි , දිලීප් ප්‍රියන්ත වික්‍රමසිංහ, කෙහෙළිය රඹුක්වැල්ල , පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ, ඇතුළු පිරිස අයි ටී එන් පාඩුව‍ට වග කියන්න ඕන කියා සඳහන් වෙනවා. එදා සභාපති පත්කිරිමේ සිට රුපියල් මිලියන 101 ක මූල්‍ය පාඩුව‍ට වගකියන්න ඕන මේ අය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා -

ඔය කොමිෂන් සභා ප්‍රශ්නයේ දී සාක්කි දුන්න අය කිව්වා අයි ටී එන් එකෙන් මට මුදල් ගෙවිය යුතු බව. ඔය කොමිෂන් සභා වාර්තාව මම පිළිගන්නේ නැහැ.

මංගල සමරවීර මහතා -

ඔබතුමා පිළි නොගැනීම වෙනම කරුණක්. මෑතකදී ඔබගේ හොදම යාළුවා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වූණා. එතුමා‍ට කියන්න.‍

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණවලට නියමිත මිලට වඩා වැඩියෙන් දෙගුණයක් ගෙන තිබෙනවා. ඔබතුමාගේ දැන්වීම්වලට මුදල් අයකර නැහැ.මම නම් කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් වැඩිපුර අයකර ගත් මුදල් නැවත ලබාදිය යුතුයි. අයි ටී එන් එක කියන්නේ හොර ගුහාවක්. ඒකේ හැම කෙනා‍ටම ඒජන්සියක් තිබෙනවා.

දැන්වීම් දාලා මාසයකට කීයක් හරි හම්බකර ගන්නවා. ඒජන්සි 358ක් ලියාපදිංචි වි තිබෙනවා. නොම්බර එකට තිබුනු අයි ටී එන් එක යළි වතාවක් ස්වාධීන මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ කටයුත්ත අපි ඉටු කරනවා.අයිටීන්එන්. සුරැකීම සංවිධානය,එදා අයිටීඑන් එදා සූරා කනකොට මහාපරිමාණ හොරකම් එදා දැක්කේ නෑ.මෙය මහජන විකාශයක් බවට පත් කළ යුතුයි.හොර ගුහාවක් බවට පත්ව ඇති අයිටීඑන් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධින හා මහජන සේවා මාධ්‍ය ආයතනය බවට යළි පත්කරනවා.

නව අදහස දක්වන්න