ඔස්ට්‍රේලියානු යොවුන් පිල ලකුණු 269යි | දිනමිණ

ඔස්ට්‍රේලියානු යොවුන් පිල ලකුණු 269යි

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල සමග පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ පළමුව පන්දුවට පහරදුන් සංචාරක ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ පිල කඩුලු 9ක් දැවී ලකුණු 269ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවිය.

ඊයේ එස්.එස්.සී පිටියේ ආරම්භ වූ මේ තරගය පළමු දිනයට නතර කරනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 5කදී කිසිවකු නොදැවී ලකුණු 20ක් රැස්කර තිබිණි. ඒ අනුව කඩුලු 10ක් අතැතිව සිටින ශ්‍රී ලංකා යොවුන් පිල ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 249ක් පසුපසින් සිටී. කමිල් මිෂාර ලකුණු 16ක් සහ තවීෂ අභිෂේක් ලකුණක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

ඔස්ට්‍රේලියානු යොවුන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කොරී හන්ටර් පන්දු 134කදී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71ක් රැස් කළේය. නායක බක්සර් ජේ හොල්ට් ලකුණු 60ක් ඉනිමට එක්කළේ පන්දු 104කදී හතරේ පහර 7ක් සමගිනි. ඔහු, ජරෝඩ් ෆරීමන් සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 84ක් එක් කළේ ඉනිම ඉහළම සබඳතාව ලෙසිනි. ෆරීමන් පන්දු 69කදී ලකුණු 36ක් රැස්කළේ හතරේ පහර 6ක් ඉනිමට එක්කර ගනිමිනි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ රොහාන් සංජය ලකුණු 94කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. රුවින් පීරිස් කඩුලු 2ක් දවාගත් අතර විජයකාන්ත් වියස්කාන්ත් සහ සඳුන් මෙන්ඩිස් කඩුල්ලක් බැගින් බිඳ දැමුහ.

නව අදහස දක්වන්න