සී.ආර්.ක්‍රීඩකයන්ට හෙට අභියෝගාත්මක තරගයක් | දිනමිණ

සී.ආර්.ක්‍රීඩකයන්ට හෙට අභියෝගාත්මක තරගයක්

ෆවුස් මොහොමඩ්

පෙරළිකාර සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව අන්තර් සමාජ පළමුළෙ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ අභියෝගාත්මක තරගයකට මුහුණදීමට හෙට (12) සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට සිදුවෙයි. පසුගිය සතියේ ලකුණු 31-28ක විස්මිත ජයකින් ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන සිටි නාවික හමුදා ක්‍රීඩා සමාජය පස්වැනි තැනට ඇද දැමූ සී.එච්.පිල තුන්වැනි තැන උදුරා ගැනීමට සමත්වූ අතර කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන හෙට තරගයේදී තව දුරටත් සිය ස්ථානය තහවුරු කරගැනීමට කුරුමානම් අල්ලමින් සිටී.

තරගාවලියේ ආරම්භයේදී කැපී පෙනෙන දස්කම් පෑ සී.ආර්. පිල අවසන් තරග කිහිපය තුළ දැඩි පසුබෑමක් පෙන්නුම් කළ අතර පසුගිය සතියේ පොලිසිය සමග පැවැති තරගයේදී ලකුණු 21-18ක අනපේක්ෂිත පරාජයක් අත්විඳමින් සිවුවැනි තැනට පත්වී සිටින අතර හෙට තරගයේදී නැවත හිස ඔසවා ගැනීමට බලාපොරොත්තු වෙයි. සී.එච්.පිල ප්‍රසාද ලකුණු 7ක් සමග මුළු ලකුණු 27ක් ලබා සිටින අතර සී.ආර්.පිල මුළු ලකුණු 26ක් ලබා සිවුවැනි තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 3ක් ද සමගිනි.

මේ අතර ආරම්භයේ සිටම මෙතෙක් කිසිදු කණ්ඩායමකට අභිබවා යාමට නොහැකි තරම් ප්‍රබල සටන්කාමීත්වයක් පෙන්නුම් කරමින් සිටින වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය හෙට පස්වරුවේ යුද හමුදා ක්‍රීඩා සමාජය සමග නින්තවෙලදී තරග වදින්නේ තව දුරටත් අපරාජිතභාවයත්, පෙරමුණත් රැක ගැනීමේ අදිටනින් යුතුවය. මෙතෙක් පැවැති තරග 8ම ජයගැනීමට සමත්වූ මහනුවර පිල ප්‍රසාද ලකුණු 7ක් ද සමග මුළු ලකුණු 47ක් ලබා සිටි. ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසුවන යුද හමුදා පිල ප්‍රසාද ලකුණු 2ක් සමග මුළු ලකුණු 15ක් ලබා සිටින අතර හෙට තරගයේදී මහනුවර පිලට දැඩි සටනක් දීමට සූදානමින් සිටී.

ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි තැන පසුවන පොලිස් කණ්ඩායම සහ අවසන් ස්ථානයේ පසුවන ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ද හෙට රත්මලානේදී පැවැත්වීමට නියමිතය. ගුවන් හමුදාව මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අසමත්වූ අතර එක් ප්‍රසාද ලකුණක් පමණක් රැස් කර තිබේ. තරග 3ක් ජයගැනීමට සමත්වූ පොලිස් පිල ප්‍රසාද ලකුණු 6ක් සමග මුළු ලකුණු 21ක් ලබා සිටි.

මහනුවර පිල හමුවේ පමණක් පරාජයට පත්වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 5ක් සමග මුළු ලකුණු 40ක් ලබා දෙවැනි තැන පසුවන අතර අනිද්දා (13) නාවික හමුදා පිල සමග වැලිසර දී තරග වැදීමට නියමිතය. පසුගිය සතියේදී යුද හමුදාව හමුවේ ලකුණු 50-32ක ජයක් ලැබූ හැව්ලොක්ස් පිලට එරෙහිව අනිද්දා තරගයේදී ජයග්‍රහණය කිරිමේ අරමුණින් පසුවන නාවික හමුදා පිල ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 8ක් සමග මුළු ලකුණු 23ක් රැස් කරමිනි.

නව අදහස දක්වන්න