ගිහිගෙය ගිනිගෙය පන්සල | දිනමිණ

ගිහිගෙය ගිනිගෙය පන්සල

 ගිහි අප ජීවත් වන්නේ ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ඉඳුරන් පිනවන තෘෂ්ණාවෙන් භරිත ලෞකික ලෝකයක වුවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ජීවත් විය යුත්තේ ඉහත කී සය ඉඳුරන් නොපිනවන, ලෝකයෙන් එතෙරවන, ලෝකය හා නොබැඳුණු ලෝකෝත්තර ලෝකයකය.

භික්ෂූන් වහන්සේලා ගිහි අපගෙන් වෙනස්වන්නේ ද, අපගෙන් වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වන්නේ ද එහෙයිනි. බුදුදහමේ පහස හා අවබෝධය ගිහි අපට වඩා ස්පර්ශවන උන්වහන්සේලා වෙනස්වන ලොව හමුවේ ක්ලේෂයන් ප්‍රහීණ කොට උත්තරීතර නිර්වාණ මාර්ගය ගිහි අපට පෙන්වා දිය යුතුය. බොරු කියන, අනුන් කොටවන සියලු දුෂ්චරිතයන්ගෙන් පිරුණු ගිහි සමාජය හමුවේ භික්ෂූන් වහන්සේලා සිටිය යුත්තේ මඩේ පිපුණු නෙළුම් මලක් ලෙසිනි.

සිංහල බෞද්ධ භික්ෂුව

ගිහි අප උත්සාහගත යුත්තේ භික්ෂූන් වහන්සේලාට සිව් පසයෙන් සංග්‍රහකොට අප මිය ගිය පසු පාංශකූලය දීම, පන්සල් දියුණු කිරීම, දේශපාලනයට මැදිහත්වීම, ගිහි කටයුතුවලට මැදිහත්වීම, සිංහල බෞද්ධ පාර්ශ්වය නියෝජනය කිරීම, රට බේරා ගැනීම වැනි කාර්යයන්වලට කොටු කරවීමට නොව උන්වහන්සේලා නිවී සැනසී අනුන්ද නිවී සනසවන උතුම් බුද්ධ මාර්ගයේ ගමන් කරවීමටය.

නිවන් යාම පුහුදුන් මිනිසුන් මැද සසර කොටකරවන මග ගමන් ගැනීම තබා හුස්ම ගැනීමවත් පහසු නැත. බුදුන් දවස මෙන් නොව මෙකල අප බෞද්ධ වන්නේ උපතින්මය. පාරම්පරිකවය. එ නිසා ප්‍රඥාව නොව ශ්‍රද්ධාව වැඩි වැඩියෙන් ඇතිවේ. අවබෝධයෙන් දුසිරිත පිටු නොදැක බියෙන් දුසිරිත පිටුදකින බව පෙන්නුවද අවස්ථාව ලත් විට දුසිරිතේ රස බැලීමට ද යොමු වේ. දියුණුව මේයයි කියමින්, දිව යමින් වැලඳ ගන්නා නව ලොවම, හලා හල විෂ බඳුනක්වන බව පෙන්වීමට සිටින්නාවු භික්ෂූන්වහන්සේලා බහුතරයක් ද ගිහි නරාවලේම වැටී ගිහි කරපිටින්ම ගොඩයාමට තැත් දැරීම අපේම කරුමය විය යුතුය. බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ ''මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන'' ආදී වශයෙන් කාලාමයන්ට දේශනා කර පෙන්වා වදාළේ, උතුම් වූ බුදු දහම පවා ප්‍රශ්න කරමින් තමන්ම අවබෝධ කරගත යුතු බවයි. අපේ නූතන පාසල් අධ්‍යාපනය පවා ශිෂ්‍ය ප්‍රශ්න කිරීම් නොඉවසන කලෙක ප්‍රශ්න ඇසීමෙන් බුදු දහම අවබෝධකොට ගැනීමට යාමට ඇති අවස්ථා බෙහෙවින් අඩු වී ඇත්තේ ධර්මධර භික්ෂූන් වහන්සේලාගේ දුර්ලභත්වය නිසාය. පිරිවෙන් අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිල්ල ලැබී භික්ෂූන් වහන්සේලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පසුපස හඹා යාම නිසා උපැවිදි වන පිරිස වැඩිවී ඇත. මේ නිසා අවබෝධයෙන් බෞද්ධ වීම හෝ මහණ දිවියට ඇතුළු වීමක් දැක්නට නොලැබේ.

පින්කම් සහ මෝඩකම්

ගිහි අපට ජාතියක්, රටක්, ගෙයක් දොරක් අයත් යයි අප සිතූවද භීක්ෂූන්වහන්සේලා ජාතියකට, රටකට අයත් නොමැති ලොවටම පොදු වස්තුවක් වේ. එහෙත් බොහෝ ගිහි ප්‍රශ්නවලදී උන්වහන්සේලා මැදිහත් කරගන්නට ගිහියන් පෙළඹේ. තවමත් ගිහියන්ගේ බොදු චීවරයට පවතින භක්තිය උපයෝගී කොට ගෙන ගිහි ගැටලු විසඳවාගන්නට උන්වහන්සේලා මැදිහත් කරවා ගැනීමට ලෞකික ගිහියන් උත්සාහ දැරූවද ඉන් මිදී තමන්ගේ සහ ගිහි අපගේ සැබෑ විමුක්තිය අත්පත් කරදීමට උරදීම සැබෑ බොදු භික්ෂුවගේ පිළිවෙත විය යුතු නොවේ ද? වර්තමානයේ පෙළපාලි හා උද්ඝෝෂණවලදී ඇතැම් භික්ෂූන්වහන්සේලාගේ විසූක දස්සන නිසා චීවරයට ඇති ගෞරවයද හෑල්ලු වී යනු ඇත. අපේ හාමුදුරුවනේ, ගිහියන් වෙනුවෙන් පෙනී සිට ගිහියන් අතින්ම හෑල්ලු නොවී සැබෑ බුදු පුතුන්ගේ ගුණ සුවඳ විහිදුවන්නට පෙරමුණ ගනු මැනවි.

පන්සල් වටා අද වන විට සිංහල බෞද්ධ ජනයා ම කේන්ද්‍ර කොටගෙන, විවිධාකාර මූල්‍යමය ප්‍රතිපාදන ඉලක්කකොට ගත් විවිධාකාර පින්කම් සිදුවේ. භික්ෂූන්වහන්සේලාට හුස්මක් කටක් ගන්නට ඉඩ නොලැබෙන සේ දායක පිරිස එක්වී නොනවතින වැඩසටහන් මාලාවක් වසර පුරාම ගෙනයනු ලබයි. ක්ෂේම භූමියක් විය යුතු පන්සල පොහෝ දිනවලදී මහා කලබගෑනියකට පත්වේ. ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කෙරෙන පන්සිල් දීම්, බෝධි පූජා, කවි බණ, ආධාර එකතු කිරීම් වැනි මහා ශබ්ද මැද නිදහසේ තෙරුවන් වැඳ පුදා ගැනීමට ඉඩක් නැත. සිත් එකඟ කරගත නොහැකි බැවින් පන්සිල් පද පටලැවේ. බුද්ධාලම්භනය සඳහා වැඩි වැඩියෙන් ආමිස පූජා රට පුරා ව්‍යාප්ත වන අතර ප්‍රතිපත්ති පූජා රැල්ලක් ද පවතී. බුදුන් වහන්සේ දේශනා කළේ අකාලීන බණ දැයි සැකයක් මතුවන තරමටම බොහෝ තැන්වල කාලීන බණ දේශනා පැවැත්වේ. සිත් නිවන තවන පැරැණි පිරිත් සජ්ඣායනා ශෛලිය, ගාථා ශෛලිය අභාවයට යමින් ඒවාට ගිහි සිංදු ශෛලියක් අත්පත් වෙමින් සියලු ආගමික කටයුතු ප්‍රාසාංගික වෙමින් පවතී. භික්ෂූන් වහන්සේලාද ගිහි ඇලීම් බැඳීම්වලටම නතු වෙමින් නිස්සාර දෙයින් ජනතාව මුදාලීම අමතක කොට ඒවා තුළම ඇලී ගැලී සිටිනු පෙනේ. ඒ අතර උඩුගම් බලා පිහිනන භික්ෂූන් වහන්සේලා ද සිටීම මහත් වාසනාවකි.

දේශපාලන ගිහි බණ

සත්‍යයේ දහම මුල, මැද, අග නිරවුල්ව අවබෝධ කරගත හැකි ලෙස ජනතාවට දේශනා කරන්නැයි බුදුන් වහන්සේ වදාරා ඇතත් අද කාලීන බණ දේශනාවල ඇත්තේ බුද්ධ දර්ශනය නොව විහිළු, බැණීම්, උපදෙස් ය. ධර්මය පිළිබඳ මහා සංගායනාවක් සිදුවිය යුතු වූවද එසේ නොවන්නේ අපේම අභාග්‍යයකට විය යුතුය. ඇතැම් පන්සල්වල නිවන් අවබෝධවන තුරුම කෙළවරක් නොදකින නොඑක් භෞතික ඉදිකිරීම් ය. කොපමණ පින්කම් කළද දායකයන්ගේ සිත්සතන් යහපත් වී සමාජය යහපත් වන බවක් ද නොපෙනේ. බුදුන් වදාළ දහම විකෘති වෙමින් ආරාම, අසපු ආදි ලෙසින් විවිධ පාර්ශ්ව විසින් ගිහියන් බෙදා ඇත.

බුදුරජාණන් වහන්සේගේ දායක පිරිස අතර බලසම්පන්න රජවරු හා සිටුවරු සිටිය ද උන්වහන්සේගේ ධර්ම රාජ්‍යයයේ ගැටලු විසඳීමට බලවත් පිරිස් මැදිහත් කරගත් බවක් අප අසා නැත. බුදුන් වහන්සේ රටක් යහ මඟට ගැනීමට දේශනා කර ඇති මුත් ආණ්ඩු පිහිටුවීමට හෝ රජුන් තැනීමට කටයුතු කොට ඇති බවක් අසා නැත. උන්වහන්සේ සප්ත අපහරිහානි ධර්ම, දස රාජ ධර්ම, දස සක්විති වත්, සතර සංග්‍රහ වස්තු, පංච ශීල ප්‍රතිපදාව දේශනා කළේ යහපත් පාලනයක් ඇති කරනු පිණිසය. එහෙත් අද බොහෝ භික්ෂුන් වහන්සේලා ගිහි දේශපාලනඥයන් අතින් බණ අසා නිවන් අවබෝධයට උත්සාහ දරන්නේ ඇයි දැයි නොවැටහේ.

ගිහි භික්ෂු මිත්‍ර සන්ථවය

ගිහියන් පන්සල් ගොඩනගා සිව් පසයෙන් භික්ෂූන් වහන්සේලාට සංග්‍රහකොට උන්වහන්සේලාට සසර ගමන කොට කරගැනීමට අවශ්‍ය මඟ යාමට අවැසි කටයුතු පහසු කරදිය යුතුය. අද බොහෝ ගිහියන් භික්ෂූන් වහන්සේලා ඇසුරු කරන්නේ ගිහි මිත්‍රයන් ලෙසින්ය. මේ නිසාම භික්ෂූන් වහන්සේලාට ගිහි සමාජයේ ගොදුරක් වීමට සිදුවේ. මඟ නොමග හඳුනාගත නොහැකි තරමටම ගිහි භික්ෂූ ඇවතුම් පැවතුම් පටලැවී ගොස්ය. සාමණේර හිමි නමක් වුව, උපසපන් භික්ෂුවක් වුව කතා කිරීම, නිදා ගැනීම, ආහාර අනුභව කිරීම, ඇවිදීම, ඉඳ ගැනීම, බණ දේශනා කිරීම, වටාපත අල්ලා ගැනීම, සිවුර හා අඳන ඇඳීම ආදී දේ කළ යුතු ආකාරය පැහැදිලිව බුද්ධ දේශනාවල තිබේ. ගිහිගෙවල්වල ඇති ඉඳුරන් නොසංසිඳවන කෙළවරක් නොදකින භෞතික ගිහි සැප පන්සල් තුළට රිංගා උන්වහන්සේලා අනුදැන වදාරණ අල්පේච්ඡ බවට හානි පැමිණවීම වලකන්නේ කෙසේද? රූපවාහිනිය, ස්මාර්ට් දුරකතන, අන්තර්ජාලය වැනි නූතන මාර දිව්‍ය පුත්‍ර උපාංග උන්වහන්සේලා ගිලගැනීම වලකන්නේ කෙසේද? කය මහන්සි නොවන සේ සියලු දේ සඳහාම උන්වහන්සේලාට වාහන සැපයීම, නූතන ආහාරපාන සැපයීම, කය නොවෙහෙසන සිරුරුවලට නොදිරවන දානමාන සංග්‍රහ කිරීම නිසා බොහෝ ස්වාමීන් වහන්සේලා කුඩා කල සිටම රෝගාතුර වීමේ පව ද අපට හිමි විය යුතුය. පිරිවෙන් අධ්‍යාපනය අතහැර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම, රැකියාවලට යොමුවීම, ගිහි ඇලීම් බැඳීම් ඇතිකර ගැනීම නිසා උන්වහන්සේලාට පතපොත කියවා ධර්ම මාර්ගය ශාක්ෂාත් කරගැනීම හා බහුශ්‍රැත වැඩිහිටි භික්ෂූන් ඇසුරු කොට පෙරසිරිත් හුරුවීම අඩුවීමේ පාපයද ගිහි අපටමය.

පහසු නැති වතාවත්

වර්තමාන ගිහි ආකල්ප හා ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ පෙන්වාදීම් නිසා ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජා ද ප්‍රාසාංගික වී, සිංහල වී, සම්ප්‍රදායක් බවට පත්වී ඇත. බොහෝ පින්කම් කිරීමේ ආනිසංශ බුදුන් වහන්සේ පවා අනුදැන වදාරා ඇති බව පවසමින් බුද්ධ කාලයේවත් නොතිබුණු වතාවත් සමුදායක් ගොඩනගා සමාජගත කොට ඇත. මේ සියලු දෙයෙහි අරමුණ ගිහියන්ගේ සසර ගමන කෙටි කරවීම හෝ යහපත් ගිහි සමාජයක් ගොඩනැගීම නම් කම් නැත. එහෙත් අද පින්කම් කිරීම දිළිඳු ගිහියකුට පහසු නැත. සංකීර්ණ වතාවත් හමුවේ දානයක් සඟසතු කර පිරිනැමීම, පිරිතක් කියවීම, කඨින චීවරයක් පූජා කිරීම වැනි කටයුතු ආර්ථික අපහසුකම් ඇති අයට සිතීම පවා අසීරුය. නිවෙසට වඩම්මවා දානයක් දීම මුදල් හදල් යහමින් ඇත්තකුට මිස කළ නොහැක. මේ සියල්ල ගිහි අප විසින්ම සංකීර්ණ කරවා ගත් ඒවා මිස භික්ෂූන් වහන්සේලා අනු දැන වදාළ දේ නොවන බව අප දැනගත යුතුය.

අන් අයට නොදෙවෙනි වන්නට පින්කම් ප්‍රාසාගිංක කිරීම නිසා රහත් බවට නොපිළිපන් භික්ෂූන් වහන්සේලාගේද සිත් සතන් ඒ දෙසට ඇදී යාම ගැන උන්වහන්සේලාට දොස් පැවරීමට වඩා අපේම පශ්චාත්භාගයට වේවැලක් ගෙන තලා ගැනීම යෙහෙකි. ප්‍රඥාව සමඟ එක්ව යන ශ්‍රේෂ්ඨ බුද්ධ දර්ශනය විමසා නොබලා සම්ප්‍රදාය කරේ තබාගෙන යාම බුදු වදනට නිගාවක් බව පිනැත්තෝ සිතත්වා. කෙසේ වුවද භික්ෂූන්වහන්සේලාට තම සසර ගමනවත් හැකිතාක් කොට කරගැනීමට ඉඩ සැලසෙන සේ ගිහි සමාජය උන්වහන්සේලාව ගිහි කටයුතුවලින් නිදහස් ක‍රන්නේ නම් මැනවි.

කථිකාචාර්ය දහම් බාලසූරිය
[email protected]


නව අදහස දක්වන්න