දරුවන් අත වැරැදි නැත | දිනමිණ

දරුවන් අත වැරැදි නැත

 "දරුවන් ලෝකයේ වඩාත්ම වටිනා සාධකය වන අතර අනාගතය සඳහා හොඳම බලාපොරොත්තුවයි". ජෝන් කෙනඩි කළ මේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ සමාජයේ දරුවා කොතරම් වටිනා වස්තුවක් ද යන්න අවබෝධ වන බවයි.

නමුත් මෑත කාලයේ රටේ අනාගතය භාර ගන්නට සිටින දරුවන් පිළිබඳ ඇසෙන දකින අනපේක්ෂිත ආරංචි ශිෂ්ට සම්පන්න සමාජයක් වශයෙන් හදවත් කම්පා කරවන තත්ත්වයකට පත්ව ඇත. මෑත දිනයක අසන්නට දකින්නට ලැබුණු මාතර සිසුවාගේ මරණය අතිශය ඛේදනීය තත්ත්වයකි. ඒ සමඟම මොනරාගල තරුණියගේ මරණය ද එවැන්නකට සමාන බවක් ගනී. එපමණක් ද නොව මෑතකාලීනව දරුවන් තුළ ඇතිවන සිය දිවි නසා ගැනීම්, විවිධ හිංසනයන්ට ගොදුරුවීම්, මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවුණු විනාශයන් සංඛ්‍යාත්මකව වර්ධනය වීමක් පෙන්නුම් කර ඇත. මෙවැනි සිදුවීමක් සමාජයේ සිදු වූ විගසම සමාජය සිසාරා විවිධ පුවත් මවමින් එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් සිදු කරන විවිධ විග්‍රහයන් ද අප්‍රමාණවම ලංකාවේ දැකිය හැකි සුලබ තත්ත්වයකි. මෙවැනි සංසිද්ධීන් නිසා සතියකට හෝ සති කීපයකට අවදි වන ජනතාව නැවතත් නිද්‍රාවට පත්වන්නේ තවත් එවැනිම සිදුවීමක් පිළිබඳ අපේක්ෂා සහගත බලාපොරොත්තුවකින් ද යන්න පිළිබඳ පැනයක් සමාජයේ ඉතිරි කරමිනි. ඊට හේතු වන්නේ නැවතත් එවැනි සිදුවීමක් සිදු වූ විගසම අවදි වන එම පිරිස මේ ගැන කතා කරමින් නැති දේවලුත් ඊට එකතු කරමින් ඉතා රසවත් මාතෘකාවක් සංවාදයට ලක් කරමින් කාලය ගත කිරීම සිදු කිරීමයි. මෙමගින් මා ඔබට කියන්නේ අප අවට පරිසරයේ සිදුවන සිදුවීම්වලට ඔබ සංවේදී නොවිය යුතු බව නොවේ. අප අවට පරිසරයේ සිදුවන්නා වූ දේට අප සංවේදීවීම පමණකින්ම වර්තමාන සමාජයේ සිදුවන මේ ඛේදවාචකය අවසන් කළ නොහැකි බව තේරුම් ගැනීමයි. යොවුන් පරපුර තුළ ඇතිවන මෙවැනි තත්ත්වයන් පිළිබඳව මනෝවිද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව සොයා බැලීම හා ඒවාට විසඳුම් සෙවීමට අප විසින් තනි තනිවත් පොදුවේත් කටයුතු කළ යුතු බවට තීන්දු තීරණ ගැනීමේ කාලය එළඹ ඇති බව පෙනේ.

ළමා විය පසු කළ දරුවා කායික, මානසික හා චිත්තවේගික වශයෙන් සිසු වර්ධනයකට ලක් වෙමින් යෞවනයකු බවට පත්වන විට ඔහු හඳුනා ගැනීමට ඔහු පිළිගැනීමට සමාජය විසින් අපොහොසත් වීම නිසා සමාජයේ මෙවැනි දේ සිදුවීම අපේක්ෂා කළ යුතු තත්ත්වයට පත්ව ඇත. අධ්‍යාපනඥ එච්.එෆ්. හර්ලෝ නව යොවුන් වියේ තරුණයන් යෞවනත්වයට පත්වීම තුළ මුහුණදෙන ගැටලු ශීර්ෂ 06 ක් යටතේ දක්වා ඇත.

1. ඉගෙනීම සම්බන්ධ ගැටලු

2. පෞරුෂ වර්ධනය පිළිබඳ ගැටලු

3. නිවසේ සබඳතා පිළිබඳ ගැටලු

4. යෞවනය පිළිබඳ ගැටලු

5. සමාජයට හැඩගැසීම පිළිබඳ ගැටලු

6. වෘත්තීය නැඹුරුව පිළිබඳ ගැටලු වේ.

මෙවැනි ගැටලු රාශියකට මැදිව සිටින තරුණ ජීවිත දෙස අවබෝධයෙන් බලන්නට මනෝවිද්‍යාත්මක දැනුමක් අප සතු විය යුතු වේ. නමුත් හර පද්ධතීන් බිඳවැටුණු සමාජ ක්‍රමයක ඒ පිළිබඳ ඇති දැනුම අල්ප නිසාත් එවැනි දැනුමක් ලබා ගැනීමට බහුතරයකට වුවමනාවක් නැති නිසාත් සමාජය වෙත එවැනි දැනුමක් ලබා දීමට අදාළ අංශ අපොහොසත් වීම නිසාත් යෞවනයන් තුළ ඇති ගැටලු දෙස බලන්නේ ඒ ඒ අයගේ දැනුම සහ ආකල්ප නමැති කණ්ණාඩියෙනි. උදාහරණයක් වශයෙන් මාතර සිදුවීමේ මරණයට පත් තරුණයා පිළිබඳ කෙනෙකු කම්පා වන්නේ එය අපරාධයක් බව යන හැඟීම නිසා වන අතර කෙනෙකුගේ දැනුම හා ආකල්පවලට අනුව එය එසේ සිදු වූවාට කම් නැත, ඔහු අතත් වැරදි ඇති නිසා එසේ වන්නට ඇතැයි සිතෙන්නට පුළුවන. වරදට පෙළඹුණු තරුණයන් දෙස ද එලෙසම දෙයාකාරයකින් බැලිය හැක. නමුත් මේ තරුණ දරුවන්ගේ මවුපියන්ට හෝ සමීපතමයන්ට දැනුමක් හා අවබෝධයක් තිබුණා නම් මෙවැන්නක් සිදු නොවීමට බොහෝ ඉඩකඩ තිබුණි. පවුල් සංස්ථාව සංකීර්ණ වීමත් සමඟම විස්තීර්ණ පවුල න්‍යෂ්ටික පවුලක් බවට පත්වීම හේතු කොට ගෙන මව, පියා සහ දරුවන් අතර පැවති සබැඳියාව ක්‍රමයෙන් අඩු වී යාමත් මෑතකාලීනව දක්නට ඇත. මේ තත්ත්වය තරුණ පරපුර මෙවන් ඛේදවාචක දක්වා රැගෙන යාමට බලපා ඇති බව පෙනේ. තරුණ දරුවන්ට ආදරය, කරුණාව, සෙනෙහස දැක්වීම ඔවුන්ව පිළිගැනීම, එදිනෙදා ජීවිතයේ යෞවනයන් තුළ මතුවන කායික, මානසික ගැටලු පිළිබඳ අනවබෝධය සහ ඒවාට පිළිතුරු සෙවීමට නොහැකි වීම, ඔවුන්ගේ සමාජ ආශ්‍රය පිළිබඳ අනවබෝධය පවුලේ සාමාජිකයන් අතර සබඳතා දුරස්වීම, යෞවනයන්ගේ අවශ්‍යතා ප්‍රමාණවත්ව ඉටු කිරීමට නොහැකිවීම, අධ්‍යාපනයේ තරගකාරී බව නිසා තරුණයන් සහ මවුපියන් වෙහෙසට පත්ව සිටීම වැනි තත්ත්වයන් තරුණ දරුවන්ගේ අනාගතය මෙවන් ඉරණමකට පත්වීමට වක්‍රව හෝ ඍජුවම බලපා ඇති බවට නිගමනය කළ හැක.

අනෙක් අතට පවතින සමාජ වටපිටාවේ පවත්නා අති ධාවනකාරී තත්ත්වය මත ඇතිවන අපේක්ෂා භංගත්වය, ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය පිළිබඳ පවත්නා අනවබෝධය, වැඩිහිටි සමාජය කෙරෙහි පවත්නා ගෞරවය, විශ්වාසය තරුණයන් තුළ බිඳීයාම නිසා නව ගැටලු වැඩිහිටියන් සමඟ කතා කොට විසඳාගත නොහැකි වීම, සම වයස් කණ්ඩායම්වලට හසුවන යෞවනයන් තුළ පවතින විවිධ පෞරුෂ ගැටලු හා විවිධ අපචාර ක්‍රියාවන්ට හුරුවුණු මිත්‍රයන් ඇසුරු කිරීමට ලැබීම, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම, තරුණයන් මෙවැනි ඛේදවාචකයකට ඇද දැමීමට හේතු වී ඇති බව පෙනේ.

අනෙක් අතට වැඩිහිටියන් වශයෙන් හෝ සමාජයක් වශයෙන් තරුණ දරුවන්ට දෙන ආදර්ශ පිළිබඳව අපට වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතන්නට අවශ්‍ය වනු ඇත. එසේ සිතීම අද ඔබට ආරම්භ කළ හැකිනම් තරුණ දරුවන්ගෙන් සිදුවන වැරදිවලට ඔබ බලන කණ්ණාඩියෙන් ඔවුන් පිළිබඳ පෙනෙන විග්‍රහ බොහෝ දුරට වෙනස් ලෙසකින් පෙනෙන්නට ඉඩ ඇත. එදිනට ඔබ තරුණ දරුවන්ට දිගු කරන ඇඟිල්ල ඔබ වෙතට දිගු කරමින් ඒ පිළිබඳ කනගාටුවට පත්වන බව මා සිතමි.

යහපත් දරුවකු සමාජයට දායාද කිරීමේ වගකීම දරුවා හැදෙන වැඩෙන පවුලටත් කොටසක් පාසලටත් තවත් කොටසක් සමාජයටත් අයිති වේ. ඉහත සඳහන් කළ ආකාරයට තරුණ දරුවන් තුළ ගැටලු ඇති වූවා යැයි ඔබ කනගාටු වනවාට වඩා තම දරුවන්ට ගැටලු ඇති කළා යැයි ඔබට සිතෙන්නට කාලය එළැඹ ඇත. සමාජ සංකීර්ණත්වය සමඟම වර්තමාන පවුල් සංස්ථාවේ සංකීර්ණ බව හේතු කොට ගෙන තම දරුවන් පිළිබඳ සොයා බැලිය නොහැකි වූ මවුපියන් තම දරුවාට උගන්වන ගුරු මවුවරුන් පියවරුන් පිළිබඳ අපමණ සෙනෙහසක් සහ බලාපොරොත්තුවක් ඇති කර ගත යුතුය. නමුත් පවුල තුළ දී දරුවා ඉගෙන නොගත් දේ නිවැරදි කිරීමට ගුරු මවුපියවරු පාසල තුළ දී කිරීමට යාම නිසා උරණ වූ මවුපියන් පාසල් ඉදිරිපිට තම දරුවන් පෙරටු කොටගෙන ගුරු පියවරු මවුවරු හංවඩු ගසමින් උද්ඝෝෂණය කරන විට ඔබ ඊට හවුල් වූවා හෝ ඒ දෙස නිහඬව බලා සිටියා හෝ සතුටු වූවා විය හැකිය. ගුරු භවතුන් පොලීසියට උසාවියට ගෙන ගොස් දඬුවම් දීමට නිරන්තර උත්සාහයක යෙදුණු සමාජයකට ලැබෙන අයහපත් ප්‍රතිඵල මෙය නොවේදැයි ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නයකි.

ගුරු මාතාවන් දණගැස්වූ දේශපාලන අද බාලයන් දෙස නිහඬව අපට නොවුණා සේ බලා සිටි සමාජයකට මෙවැනි ඛේදවාචකයන්ට වඩා දෙයක් තවත් අසන්නට ලැබේ ද? දේශපාලනමය හේතූන් මත අසරණභාවයට පත් කළ ගුරු පියවරු ගුරු මවුවරු මේ සමාජය තුළ හෙළු දුක් කඳුලැලි කොතරම් දුරට අපට ශාපයක් වී ඇත්දැයි අපට සිතන්නට සිදුව ඇත. වැඩිහිටියන් වශයෙන් අනාගත දරු පරපුරට අප කළ වැරදි, කතා කර හෝ ලියා තබා අවසන් කළ නොහැකිව තිබේ. කුඩා දරුවන් ලවා සිගරට් මත්පැන් ගෙන්වන පියවරුන් ද තම දරුවන් ලවා කුඩු විකුණන මවුවරුන් ද උත්සවයක දී තම දරුවාගේ මුවට හුරතලයට මත්පැන් වීදුරුව ළං කරන පියවරුන් ද මුහුණුපොත හරහා තමන් වැසිළි කැසිකිළි යාමේ සිට තමන්ගේ පෞරුෂත්වය සහ අන්‍යයන්ගේ පෞරුෂත්වය ප්‍රදර්ශනය කර සතුටු වන මානසික ලෙඩුන් ද සිටින තාක් සමාජයේ ඇතිවන මේ ඛේදවාචකයට පිළිතුරු සෙවීම ප්‍රමාද වනු ඇත. මුහුණුපොත ඇසුරු කරන සමහරක් මානසික රෝගීන්ගේ කතාවලින් අපට අසන්නට ලැබෙන්නේ සමාජයේ මෙවැනි ව්‍යවසන පිළිබඳ අල්ප දැනුමක් ඇති පිරිස් තම ප්‍රසිද්ධිය සඳහා වෛරය හා ක්‍රෝධය වර්ධනය කරන ප්‍රකාශ ප්‍රචාරය කරන බවයි. මානසික සෞඛය පිළිබඳ අඩු සාක්ෂරතාවක් ඇති අප ජන කොටස් තුළ මෙවැනි වෛරී ප්‍රකාශ රස කර කර බලන්නේ සහ ප්‍රචාරය කරන්නේ තවදුරටත් තරුණ සමාජය ආගාධයට ඇද දමමිනි. ඔබ මුහුණුපොතේ සාමාජිකයකු නම් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබට යහපත් මානසික සෞඛ්‍යයක් ඇති බව හඳුනා ගැනීමට ඇති හොඳම තහවුරුව වන්නේ එවැනි දේ ඔබ ප්‍රතික්ෂේප කරන්නකු වීමයි.

තරුණ පරම්පරාව ආදර්ශයට ගන්නේ වැඩිහිටි අප නිසා අප කරන වැරදිවල තරමට ඔවුන් වැරදිකාර නැතැයි අපට සිතන්නට වනු ඇත. මේ දිනවල රටේ පවත්නා සමාජ වටපිටාවේ සිදුවන දේවලින් දරුවන් අසන්නේ අපට අදාළ වන්නේ කවුරුන් කියන නීතිය ද කවුරුන් දෙසන දේශනා ද කියාය .දරුවන් එසේ අසන වාර අනන්තය. උත්තරීතර ආයතනය යැයි කවුරුත් කියන පාර්ලිමේන්තුවේ කඩා බිඳ දමන දේ පොදු දේපළ නීතියට අදාළ නොවන්නේ මන්දැයි අසන දරුවන් බඩගින්නට කොස් ගෙඩියක් කඩා ගත් මාමාත්, අසල්වැසි ගෙදරින් අඹ ගෙඩියක් කඩා ගත් නැන්දාත් උසාවි ගෙනගියේ ඇයිදැයි ප්‍රශ්න කරමින් සිටී. මේවාට ඔබටත් මටත් පිළිතුරු නැතිවා සේම ඉහළ නිලධාරීන් දුන් උපදෙස් නිසා හිරබත් කන රජයේ නිලධාරීන් ගැන ද දරුවන් අපෙන් ප්‍රශ්න කරනු ඇත. සමාජ පද්ධතිය තුළ පවත්නා වෘත්තීන්වල වෘත්තීයභාවය පිරිහීමකට ලක් කර ගත් වැඩිහිටි පිරිස් අතර ආගමික ශාස්තෘන් ද තම ආගමික කටයුතුවලට වඩා පක්ෂ හා පාට අනුව දේශපාලකයන්ගේ අනුගාමිකයන් බවට පත්ව ඇත. මේ තත්ත්වය නිසා තරුණ දරුවන්ට අවවාද කරන්නට ඔවුන් යහමඟට ගන්නට ඔවුනට ආදර්ශ දෙන්නට අපහසුතාවකට පත්ව ඇත.

අප සැමදාම සිතන්නේ අප තවමත් ප්‍රමාද නැති බවයි. රටත් ජාතියත් සමාජයත් වශයෙන් අප බොහෝ ප්‍රමාද වී ඇති බව අපට නොපෙනෙන්නේ අප ගැන අප තනි තනිව සිතන හෙයිනි. ඔබ ඔබේ දරුවාට ආදරය රැකවරණය සලසන ලෙසට අසල්වැසි දරුවාටත් සමස්ත දරු පරපුරටත් ආදරය රැකවරණය දීමට උත්සාහ කිරීම මේ සමාජ හර පද්ධතීන් බිඳවැටුණු සමාජයේ ඔබේ දරුවාත් අනෙක් සියලු දරුවනුත් ආරක්ෂා කර ගැනීමට දරන හොඳ උත්සාහයක් විය හැක. මා ඔබට සිතන්නට සටහනක් තබමි. එය ගැන සිතන්න වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් ඔබේ දයාබර දරුවා ගැන.

ඔබේ දරුවාට ආදරය කරන්න පසුබට නොවන්න.

ඔවුන්ව වැළඳගන්න.

ඔබ කොතරම් ඔවුන් ගැන සිතනවාද යන්න ඔවුන්ට කියන්න.

ඔවුන් කොතරම් ඔබට වුවමනා ද යන්න ඔවුන්ට කියන්න.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න.

ඔවුන්ව නිතරම සිපගන්න.

ඔවුනට ආදරය කරන්න කියා දෙන්න.

ඔවුන් කොතරම් වැදගත්ද යන්න කීමට ඔබ තවම ප්‍රමාද නැත.

සමාජය ශිෂ්ට සම්පන්න බව ගැන පරීක්ෂා වන්නේ ඔබ දරුවන් වෙනුවෙන් කුමක් කරනවාද යන්න මතයි.

ඉහත අදහස තවත් සනාථ කරන අදහසකින් ලිපිය අවසන් කරන්නට අවසර.

“දරුවන්ට ආදරය කිරීම යනු ඔහුගේ ඉල්ලීම් සියල්ල ඉටු කිරීම නොව ඔහු තුළ තිබෙන හොඳම දෙය එළියට ගැනීම හා අමාරු දේවල්වලට ආදරය කිරීමට ඉගැන්වීමයි” (නාදීෂා බොලැන්ජර්).

අනුර නාකන්දල
මනෝවිද්‍යා උපදේශක,  කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා සංගමයේ සංවිධායක,
විනයාරක්ෂක නිලධාරී කොළඹ විශ්වවිද්‍යාලය. 


නව අදහස දක්වන්න