කාටර්ගේ කනෙන් රිංඟූ සෙනේටර් විලියම්ස් | දිනමිණ

කාටර්ගේ කනෙන් රිංඟූ සෙනේටර් විලියම්ස්

එෆ්.බී.අයි. අධීක්ෂණ නිලධාරි ජෝන් ගුඩ් පෙන්වා දුන් ආකාරයට සෙනේටර් විලියම්ස්ගේ හොර එළිකරගන්නට නම් අවධානයට ලක්විය යුතු ව්‍යාපෘති දෙකක් තිබිණි. පළමුවැන්න යෝජිත ටයිටේනියම් පතල් ගනුදෙනුවයි. දෙවැන්න කසළ බැහැර කිරීම පිළිබඳ කොන්ත්‍රාත්තුවකි. නිව් ජර්සි නුවර කසළ බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුව භාරව තිබුණේ දූෂිත නිලධාරීන් රැසකගේ සාක්කුවේ සිටින අයකු ලෙස නම ගිය ජෝර්ජ් කැට්ස්ටය. ඔහු සමඟ සෙනේට්වරයාට තිබූ සබඳතාවද කුතුහලය අවුස්සන්නක් විය.

වෙයින්බර්ග්ගේ පළපුරුදු දැක්මට අනුව වර්ජිනියා ටයිටේනියම් පතල් ගනුදෙනුව හොර මගඩියකි. බ්ලු රිජ් කඳුවැටිය පාමුලට වන්නට පිහිටා තිබූ පතලත්, පිරිපහදු කම්හලත් යන දෙකම අයිතිකරුවන් වූ ‘සිනිමිඩ් සමාගම‘ විසින් කුණුකොල්ලයට විකුණා තිබුණේ ඊට වසර ගණනාවකට ඉහතදීය. එහි වත්මන් හිමිකරුවන් ගැන පැහැදිලි තොරතුරක් දැනගන්නට නොතිබුණත්, වගකිවයුත්තන් ලෙස පතල සම්බන්ධ ලියකියවිලිවල සඳහන්ව තිබූණේ කැට්ස් හා හෙන්රි (සැන්ඩි) විලියම්ස් දෙදෙනාය. සැන්ඩි වූ කලී සෙනේට්වරයාගේ කුළුපග මිතුරෙකි. සැන්ඩිගේ හා කැට්ස්ගේ මාර්ගයෙන් ඒ දෙදෙනාට මුවාවී, පතලෙන් ලැබෙන ආදායම හොර රහසේ බෙදා හදා ගැනීමට සෙනේට්වරයා මෙන්ම ඔහුගේ නීතීඥයා වූ ෆෙයින්බර්ග්ද එක්ව සිටියහ. පුදුමය කිසිදු ආයෝජනයක් නොකරම මේ දෙදෙනා පතලේ ආදායමට හිමිකම් කියන්නේ කුමන පදනමකින්ද යන්නයි.

සැන්ඩි, කැට්ස්, ෆෙයින්බර්ග් හා සෙනේටර් විලියම්ස්ට අවශ්‍ය වූයේ යසීර් ලවා ඩොලර් මිලියන සියයක ණයක් ලබාගන්නටය. ඒ සැවානාහි පිහිටි සිනිමිඩ් සතු දැවැන්ත ටයිටේනියම් කම්හල මිලදී ගන්නටත්, බ්ලු රිජ්හි පිහිටි කලින් විකුණා දැමූ කුඩා කම්හලේ හා පතල සම්බන්ධ හිමිකාරත්වය නිරවුල් කරගන්නටත්ය. ඔවුන සිවුදෙනාගේ තර්කය වූයේ එවැනි ගනුදෙනුවකින් මුලු ඇමරිකාවේම ටයිටේනියම් නමැති විරල ලෝහයේ ඒකාධිකාරය තමන්ට ලබාගැනීමට හැකි බවයි. ඒ තර්කය තහවුරු කරන්නට සෙනේට්වරයාගේ සබ්මැරීන කතාවෙන් ලැබුණේ ලොකු රුකුලකි. ඇමරිකානු රජයේ ආරක්ෂක ව්‍යාපෘතිවලටත්, විශේෂයෙන්ම සබ්මැරීන ඉදිකිරීමටත් නැතිවම බැරි ලෝහයක් නිසා ටයිටේනියම් අධිකාරිය ලබාගැනීම යනු ධන උල්පතක හිමිකරුවන් වීම බවට සෙනේටර් විලියම්ස් නිතර කී කතාව කාටත් ගැම්මක් ගෙනදුන්නේය.

සැන්ඩි සම්බන්ධයෙන් වෙයින්බර්ග්ට කිසි උනන්දුවක් තිබුණේ නැත. දුටු සැණින්ම සිය පළපුරුද්දෙන් සැන්ඩි යනු බංකොලොත් දුබලයකු බව හේ නිගමනය කළ නිසාය. බංකොලොත් වූ පුවත්පතක ප්‍රකාශකයකු ලෙස කලක් සේවය කළ සැන්ඩි නැත්තටම නැති වූයේ බදු ගෙවීමෙන් ලිස්සා යාමට අක්වෙරළ කැසිනෝ අවන්හලක් ඉදිකරන්නට යාමෙනි. අගුලක ඉදිකළ මෙම කැසිනෝව දියේ ගිලීගියේ සැන්ඩිගේ සේසතෙන් භාගයක්ම මුහුදු පත්ලට යවමිනි. ඒ මදිවාට තමන් සමඟ එක්ව ප්ලැටිනම් ආනයනය කිරීමේ ව්‍යාපෘතියකට අතගැසූ මැරවර ව්‍යාපාරික සහකරුවන් දෙදෙනකුගෙන් බැට කෑමටද සැන්ඩිට සිදුව තිබිණි. ඒ තමාගෙන් ඩොලර් ලක්ෂයක් සොරාගන්නට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට එරෙහිව මැරයන් දෙදෙනා කළ පළිගැනීමක ප්‍රතිඵලයක් ලෙසිණි. එවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් පෙළකින් පසු සැන්ඩිගේ නම ඈඳුණේ බයෝසෙල් නමැති සමාගමකටය.

නිව් ජර්සි ප්‍රාන්තයේ උතුරු දිගට වන්නට කසළ බැහැර කිරීමේ නව කම්හලක් ඉදිකරන්නට සැන්ඩිට තිබුණේ පුදුමාකාර වුවමනාවකි. බයොසෙල් සමාගම පිහිටට එන්නේ සැන්ඩිගේ එම වුවමනාව සාක්ෂාත් කරදීමටය. සැන්ඩි නව මාදිලියේ කසළ බැහැර කිරීමේ කම්හලක් ඉදිකරන්නට යෝජනා සැකසූ බයෝසෙල් සමාගමේ කොටස් රාශියක් විකුණා තිබිණි. එපමණක් නොව එවන් නවීන පන්නයේ කම්හලක් ඉදිකිරීමට යැයි රජයේ ආර්ථික සංවර්ධන ආයතනයෙන් ඩොලර් මිලියන දහ අටක ණයක් පවා ඔහු ලබාගෙන තිබිණි. සියල්ල කණපිට හැරුණේ කම්හල ඉදිකිරීමට එරෙහිව ප්‍රජා සංවිධානවලින් විරෝධය එල්ල වූ බැවිනි. බයෝසෙල් සමාගම වෙනුවෙන් රාජ්‍ය ආර්ථික සංවර්ධන ආයතනයෙන් එතරම් විශාල ණයක් ලබාදීමට පෙළඹ වූයේ සෙනේටර් විලියම්ස් බවටද චෝදනා එල්ල විය. එහි හිලව්වට සෙනේට්වරයාගේ බිරියට බයෝසෙල් සමාගමේ කොටස් නොමිලේ ලබාදීමට තරම් සැන්ඩි කාරුණික වී ඇති බවටත් කසු කුසු මතුවී තිබිණ.

කෝටිපති ව්‍යාපාරිකයකු වූ ජෝර්ජ් කැට්ස්ට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නැති කතාව කැට්ස් සම්බන්ධයෙන් සර්ව සාධාරණය. මහලු වියද ඉක්මවමින් සිටි කැට්ස්ගේ තට්ටය පෑදී තිබුණේ වසර තිහකටත් වැඩි කාලයක් නිව් ජර්සි නුවර ඩිමොක්‍රටික් දේශපාලනඥයන් සමඟ එක්ව දූෂිත ගනුදෙනුවල පැටලෙමින්, හොර වැඩ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කවර වංචාවකට සම්බන්ධ වුවත් දෛවයේ හාස්කමකට මෙන් කැට්ස්ට චෝදනා එල්ලව තිබුණේ එක් වරක් පමණි. ඒ අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියක වංචාවක් සම්බන්ධයෙනි. කෙළින් වැඩ කරන සහ පණ ගියත් මිතුරන් පාවා නොදෙන අයකු ලෙස නිව් ජර්සි දේශපාලන බලවතුන් අතර කැට්ස් නමක් හිමිකරගෙන සිටියේය. ඒ එක්තරා වංචනික ගනුදෙනුවකදී තමාට එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට පුළුවන්කම තිබියදීත්, මිතුරු දේශපාලනඥයකුට විරුද්ධව උසාවියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් නිසාය. එදා සිට කැට්ස්ට නිව් ජර්සි දූෂිත දේශපාලනඥයන් හරහා ගලා ආ කොන්ත්‍රාත්තුවලින් අඩුවක් වූයේ නැත. එලෙස කොන්ත්‍රාත්තු භාරදුන් ප්‍රබලයන් අතර කෙනී හා ජර්සි නගරාධිපතිවරුද සිටියෝය.

කැට්ස්ගේ සබඳතා දූෂිත දේශපාලනඥයින්ට පමණක් සීමා වූයේ ද නැත. වෙයින්බර්ග්ට කැට්ස් කියා තිබූණු ආකාරයට පාතාලයේ ධන කුවේර මේයර් ලැන්ස්කි සහ පීටී ලා ප්ලැකාත් කැට්ස්ගේ ගජ මිතුරෝ වූහ. නෙවාර්ක්, ජර්සි සිටි ඇතුළු ප්‍රමුඛ පෙළේ නගර ගණනාවකම කසළ බැහැර කිරීමේ කොන්ත්‍රාත්තු තිබුණේ කැට්ස් අත ය. නගර සභාවලින් එවන් කොන්ත්‍රාත්තු ලබාගත්තේ නිලධාරීන්ගේ ‘අත පය තැවීමෙන්‘ බව, වෙයින්බර්ග්ට හෙළි කිරීමට කැට්ස් මැලිවූයේ නැත. අල්ලස් දීමෙන් කොන්ත්‍රාත්තු ලබාගැනීමේ මගඩිය කැට්ස් හැඳින්වූයේ ‘හරි දේ හරියට කිරීමක්‘ වශයෙනි. ඒ කැට්ස් වැනි තක්කඩියන්ගේ දැක්මේ හැටියටය.

“ජාඩියට මූඩියට ගැලපෙන හොර බිස්නස් පාට්නර්ස්ලා. පුදුම වෙන්න දේකුත් නැහැ. දෙන්නම හැන්ඩ්ල් කරන්නේ කුණු නේ.“ නොදැනුවත්ම වෙයින්බර්ග්ට කියැවුණි.

ජනේලයෙන් එපිට බලාගෙන කල්පනා සාගරයක ගැලී සිටි වෙයින්බර්ග්ට නෞකා සාදය දිනයේ ලෙෆ්ට් හෑන්ඩ් හි කැබින් කාමරයේ පැවති සතරකන් මන්ත්‍රණය සිහියට ආවේය. එදා වෙයින්බර්ග් කැට්ස්ගේ නම බලෙන්ම කතාවට ඈඳා ගත්තත් ඔහු සමඟ තිබෙන යටිකූට්ටූ සම්බන්ධය හෙළිකිරීමට සෙනේටර් විලියම්ස් හෝ ෆෙයින්බර්ග් මෝඩ වූයේ නැත. දෙදෙනාම කළේ වහෙන් ඔරෝ බසින් කැට්ස් ගැන කියා, වෙයින්බර්ග්ගේ සහ ඇමරොසෝගේ කුතුහලය තවත් ඇවිස්සීම පමණි.

“ඔය පතල් බිස්නස් එකේ කවුරුත් හොඳට අහලා පුරුදු, හොඳ වැඩ්ඩෙක් ඉන්නවා නේද? මිනිහාගේ නම, මේ......මේ........මොකද්ද ...........“ වෙයින්බර්ග් තතනද්දී සෙනේටර් විලියම් මැද්දට පැන්නේය.

“ජෝර්ජිද ?“

“ජෝර්ජි කැට්ස් ගැනනේ ඔය කියන්න යන්නේ ? “ ෆෙයින්බර්ග්ද හොට දැම්මේ විශ්වාසයෙනි.

“ආන්න හරි, මිනිහා තමයි. මිනිහා ගැන මොනවද ඔයාලා දන්නේ?“ වෙයින්බර්ග් ඉලක්කය බලා පළමු ප්‍රහාරය එල්ල කළේය.

“මිනිහා. නියම වැඩකාරයෙක්. ඒකට ඕනකරන බඩුත් සේරම එයා ගාව තියෙනවා.“

“අතදිග ඇරලා වීසි කරන්න සල්ලිත් තියෙනවා.“ ෆෙයින්බර්ග් හා සෙනේටර් කැට්ස් ගැන ගුණ වයන්නට ගත්තේ තරගයට මෙනි. වෙයින්බර්ග් කතාව හරි පාරට ඇදගන්නට අසාර්ථක උත්සාහයක් ගත්තේය.

“වෙන්නත් ඇති. ඒත් මිනිහා ගැන මට දැනගන්න ලැබුණු දේවල් එච්චර හොඳ නැහැ.“

“හ්ම්....ඇත්තම කිව්වොත් එයා මේ.......මේ............

ඔයාට හිතාගන්න පුළුවන්නේ..............නැද්ද මං කියන්නේ...................“ ඒ ෆෙයින්බර්ග්ය.

“මෙහෙමයි, මම ජෝර්ජ් ගැන ගොඩක් දුරට දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එයා ගැන දැනගන්න ඕනේම ටික දන්නවා.“ සෙනේටර් විලියම්ස් කිව්වේ හඬ නඟා සිනාසෙමිනි.

“ජෝර්ජ් ඇත්තටම හොඳ හාදයෙක්. වියදම් කරන්න දෙපාරක් හිතන්නේ නැති, ඒ විදිහේ බිස්නස් කරන අය එක්ක, ඒ විදිහේ බිස්නස් කරන්න ඕනේ නියම පිළිවෙළට කරන, මිනිහෙක්. හැබැයි පගාවට නෙවෙයි.“ විලියම්ස්ගේ හඬ තවමත් සිනහවෙන් බරය.

“කරන්නේ කුණු බිස්නස්.“ ෆෙයින්බර්ග් කතාවට තවත් පොහොර දැම්මේය.

“ඒකනේ මම කිව්වේ. ‘ජරාව‘ නෙවෙයි, කුණු විතරයි ඔය වගේ මිනිස්සු ගැන ඔයා දන්නවනේ. ඉතින්.....................“

ෆ්ලොරිඩාවේ නෞකා සාදයෙන් පසු ඇබ්ස්කැම් පාර්ශ්වයේ සාමාජිකයන් හමුවේ තිබුණු බරපතළ ගැටලුව ටයිටේනියම් පතල සම්බන්ධ කාරණයේදී සෙනේටර් විලියම්ස්ගේ සැබෑ භූමිකාව කුමක්ද යන්නයි. ටයිටේනියම් පතල ගැන මේ තරම් උනන්දුව වන්නේ ඇයිද යන කාරණය රහසක්ව තබාගන්න සෙනේට්වරයා වලිකන්නේ ඇයි ? සල්ලි මත්තෙම නැහෙන කැට්ස් වැනි තක්කඩියකු මෙම පතල් ව්‍යාපාරය ඉවක් බවක් නැතිව තමාගේම මුදලින් නඩත්තු කරන්නේ ඇයි ? ඒ සියල්ලටම වඩා ඇබ්ස්කැම් පාර්ශ්වයට ඔළුගෙඩි හප්පමින් කල්පනා කරන්නට සිදුවුණේ තඹ සතේක ආයෝජනයක් හෝ, සේවයක් හෝ නොදී පතල් ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ගෙඩි පිටින් ලබා ගන්නට සෙනේට්වරයාට ඉඩදී ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්නයි. පොටක් පාදා ගන්නට අබ්දුල්ගේ කණ්ඩායම කළේ, යළිත් වරක් හඬපට වාදනයන්ට සවන්දීමයි. ඒ කණ්ඩායමට ටොම් පූචියෝත්, ජෝන් ජේකබ්සුත්, ජෝන් ගුඩ්, ටෝනි ඇමරොසෝ හා වෙයින්බර්ග්ද එක්වූහ.

හඬපට වාදන සියල්ල අතරින් පෙනෙන නොපෙනන පරිදි දිවයන සම්බන්ධයක කොනක් මතුකර ගැනුණේ ඒවා විශ්ලේෂණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කවුරුත් බලාපොරොත්තු වූ පරිදිම රැහැණේ එක් කොණක තිබුණේ ටයිටේනියම්ය. අනෙක් කොණේ සිටියේ එවකට ඇමරිකානු ජනපති ජිමී කාටර්ය. මේ දෙකොණ යා කරන එකම පුද්ගලයා සෙනේටර් විලියම්ස්ය. ඇමරිකානු රජය සිටියේ ටයිටේනියම් ලෝහය නැතිව කිසිවක් කරකියාගත නොහැකි තත්වයකය. සෙනෙට් මණ්ඩලයේ සිවුවැන්නව සිටි ඩිමොක්‍රටික් පාක්ෂිකයා ලෙස විලියම්ස්ට කැබිනට්ටුවේ මෙන්ම ජනපති ජිමී කාටර්ගේ අවධානයත්, විශ්වාසයත්, සැලකිල්ලත් හිමිව තිබුණි. කෙටියෙන් කිව්වොත් ජනපති කාටර්ව පවා තම බසට නම්මා ගැනීමේ හැකියාව සෙනේටර් විලියම්ස් සතු විය.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

හෙට - පතල් ඩීල් සහ කුණු කොන්ත්‍රාත් ඩීල්


නව අදහස දක්වන්න