සමාජ මාධ්‍ය ‘රහෆ් කුනන්’ගේ ජීවිතය රැක දුන්නා | දිනමිණ

සමාජ මාධ්‍ය ‘රහෆ් කුනන්’ගේ ජීවිතය රැක දුන්නා

සමාජ මාධ්‍ය මගින් රහෆ්ගේ ජීවිතය රැක දුන් බවත් සමාජ මාධ්‍ය සහයෝගය නොවන්නට රහෆ් මො‍හමඩ් අල්-කුනන්ගේ ඉරණම මීට හාත්පසින්ම වෙනස් විය හැකිව තිබූ බවත් ඇය පිළිබඳව මුලින්ම ටිවිටර් ඔස්සේ අනාවරණය කළ තැනැත්තිය වන නෝරා පවසයි. කිසිදු භේදයකින් තොරව ලොව වටා ජනතාව ලබා දුන් සහාය ඇයට ඉමහත් ශක්තියක් වූ බව ඇය වැඩිදුරටත් පවසයි. කෙසේ වුවත් මෙම සටන ජයග්‍රහණය කරන්නේ ඇය ආරක්ෂිත රටක් වෙත තායිලන්තයෙන් පිටත් කර හැරීමෙන් බව රහෆ් වෙත සහය දක්වන්නන් කියා සිටියි. එම පියවර සඳහා දින කිහිපයක් ගත වනු ඇති බව එක්සත් ජාතීන් ගේ සරණාගත ඒජන්සිය පවසයි. තායි බලධාරීන් ඇය ආපසු හරවා ඇයගේ පවුල වෙත යැවීමට කටයුතු නොකිරීම පිළිබඳව ඔවුන් සිය කෘතඥතාව පළ කරයි.

කුනන්ගේ පියා සහ සහෝදරයා බැංකොක් වෙත පැමිණ ඇති අතර ඇය මුණ ගැසීමට හෝ කතා කිරීමට අවස්ථාව ඉල්ලා ඇති නමුත් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් ඒ සඳහා අවසර ලබා දී නැත. ඇය කිසිදු කායික හෝ මානසික පීඩාවකට ලක් වීමට ඉඩ නොතබන බව එක්සත් ජාතීන් පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියාව පවසන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විසින් කුනන්ගේ රැකවරණ අයැදුම්පත ඉදිරිපත් කළ වහාම ඒ පිළිබඳව දැඩි අවධානය ‍යොමු කරන බවයි.

බැංකොක්හි පිහිටි සෞදි තානාපති කාර්යාලය ඉතා කෙටි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, රහෆ් කුනන් පිටුවහල් කරන ලෙස බල නොකරන බවත්, එය පවුලක ගැටලුවක් බවත් ප්‍රකාශ කරන අතර එසේ වුවත් මෙය නිරාකරණය වන ආකාරය පිළිබඳව දැඩි අවධානයකින් පසු වන බව කියා සිටියි.

විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ රහෆ් අල්-කුනන්ගේ සිදුවීම මගින් සෞදි අරාබියේ කාන්තාව මුහුණ දෙන කටුක ජීවිතය පිළිඹිබු කෙරෙන බවයි. 18 හැවිරිදි රහෆ් මොහමඩ් අල් කුනන් සිය පවුලේ සාමාජිකයන් සමඟ කුවේට්හි චාරිකාවක නිරතව සිටියදී ඔවුන්ගෙන් මිදී ඇය බැංකොක් හරහා ඔස්ට්‍රේලියාවට යාමට තායිලන්තයට පැමිණ තිබේ. තායි ආගමන නිලධාරීන් විසින් ඇය කුවේට්හි සිටින ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත ආපසු හරවා යැවීමට උත්සාහ ගත් නමුත් ඇය එම ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කරමින් ගුවන් තොටුපොළ හෝටල් කාමරයෙන් පිටතට නොපැමිණ සිටියාය.

පසුව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ රැකවරණය යටතේ බැංකොක් ගුවන් තොටුපොළෙන් රහෆ් පිටව ගිය බව තායිලන්ත ආගමන පොලීසිය තහවුරු කළේය.

 

නව අදහස දක්වන්න