මාල­දි­ව­යිනේ සයුරු තෙරක ලැඟු­ම්ගත් - උතුරු මෆාරු | දිනමිණ

මාල­දි­ව­යිනේ සයුරු තෙරක ලැඟු­ම්ගත් - උතුරු මෆාරු

සුවිශේෂි නිර්මාණාත්මක නිපුණතාවන්ගෙන් හෙබි මෙරට ප්‍රමුඛතම ඉන්ජිනේරු සමාගමක් වන AKDA ඉන්ජිනියර්ස් පුද්ගලික සමාගම සිය නවතම ව්‍යාපෘතිය වන මුහුදු පතුලෙහි ස්ථාපනය කරන “Under water Restaurant” දිය යට ස්ථාපනය කරන අවන්හල සාර්ථකව නිමවයි.

මාලදිවයිනෙහි බටහිර වෙරළ තීරයේ උතුරු මෆාරු දූපත් සමීපයේ ස්ථාපනය කිරීම සඳහා ඇණවුම්කර ඇති මෙම අවන්හල එරට සංචාරක කර්මාන්තයේ ආකර්ෂණය තවදුරටත් වැඩිකිරීමට තුඩු දෙනු ඇතැයි අපේක්ෂා කරයි.

AKDA ඉන්ජිනියරින් පුද්ගලික සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ඒ‍.කේ.දියබලනගේ මහතාගේ සැලසුමකට අනුව මෙම සයුරු අවන්හල නිර්මාණ කාර්ය්‍ය කටයුතු කොළඹ ඩොක්යාර්ඩ් ආයතන පරිශ්‍රයේදී සිදුකර තිබේ. කොළඹ ඩොක්යාර්ඩ් සමාගම සමඟ AKDA ඉන්ජිනියරින් පුද්ගලික සමාගම හවුල්කාරී ව්‍යාපෘතියක් ලෙස නිමකරවා ඇති මෙය ප්‍රකට ශ්‍රී ලාංකික සමාගමක් වන අක්බාර් බ්‍රදර්ස් පුද්ගලික සමාගමේ ඇණවුම මත ඉදිකර තිබීම විශේෂත්වයකි.

“පෙරදිග සංචාරක පාරාදීසයක් වන මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ ප්‍රධානතම අංගය සාගරයයි. එරට දූපත් ආශ්‍රිතව පවතින සැඩ නොවන සාගරය සංචාරක ආකර්ෂණයට රුකුලක්. මේ නිසා ම සාගරයේ පතුලේ රඳවන අවන්හල් සංචාරකයින්ගේ ආකර්ෂණයට තුඩු දෙන්නේ අවන්හල ඇතුලේ සිටින අතරේ මුහුදු ජීවීන්, මුහුදු පැළෑටි සමීපව දකිමින් විශේෂ අත්දැකීමක් ලබන්නට සංචාරකයන්ගේ ආකර්ෂණයට හේතුවන නිසායි. ඒ අනුවයි ‘Uturu Maafaru’ අවන්හලේ සැලසුම ගොඩනැඟු‍නේ යනුවෙන් A.K.D.A. ඉන්ජිනියරින් ආයතනයේ සභාපති නාවික ඉන්ජිනේරු ඒ.කේ. දියබලනගේ මහතා පැවසීය.

තිස් දෙනෙකුට එකවර අසුන් ගැනීමට පහසුකම් ඇතිව ඉදිකර ඇති මෙම අවන්හලෙහි විශේෂත්වය වන්නේ ඝන වීදුරුවක් අර්ධ වෘත්තාකාරව සකසා ඇති දිගු ගුහා ආකාරයේ වේදිකාවයි. අංශක 180ක් සාගරය දර්ශනය වන ඝන වීදුරුවකින් නිමවා ඇති මෙම ගුහාව තුළ සිටින විට සාගරය පතුලෙහි සමීප අත්දැකීම් විඳගැනීමට අවස්ථාව හිමි වේ.” යනුවෙන් ඒ.කේ. දියබලනගේ මහතා වැඩි දුරටත් පැවසීය.

නැව් තැනීම, නැව් අලුත්වැඩියා කිරීම වැනි කාර්යයේ නිරත වූ කොළඹ ඩොක්යාර්ඩ් ආයතනය හා ඊට ඒකාබද්ධව කටයුතු කරන ඒ.කේ.ඩී.ඒ.ඉන්ජිනියරින් ආයතනයේ මෙම ව්‍යාපෘතිය මෙරට නාවික කර්මාන්ත ක්ෂේත්‍රයේ නවතම ප්‍රවේශයක් ලෙස හඳුනාගත හැකිය.

 

බුද්ධිකා බ්‍රහ්මණගේ

නව අදහස දක්වන්න