ඉපයීමට මෙන්ම සුරැකීමට | දිනමිණ

ඉපයීමට මෙන්ම සුරැකීමට

සතෙන්  සතේ...
 

දිළිඳුකමින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීම ඇතුළු එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ජයගන්නට උදව් වන ආකාරයට අප රටේ මූල්‍ය අංශයේ තිරසර ඉදිරි දැක්ම ප්‍රකාශයට පත්කිරීමට තමන් සූදානම් බව මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.

වසර 2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති “පෙර දැක්ම” එළිදක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව මේ වසර තුළ රටේ මූල්‍ය අංශයේ සිදුකිරීමට අපේක්ෂිත ප්‍රතිපත්ති වෙනස්කම් පිළිබඳවද ඔහු කරුණු ගණනාවක් අනාවරණය කළේය.

මේ එම කරුණු ඇසුරින් සකස් කළ ලිපියකි.

 

සම්පත් කාර්යක්ෂමව බෙදාහැරීම තුළින් ආර්ථික වර්ධනයට පහසුකම් සලසනු ලබන අතර කම්පනවලට ඔරොත්තු දිය හැකි ශක්තිමත් මූල්‍ය අංශයක් ඇතිකිරීමට අඛණ්ඩව කටයුතු කිරීම මඟින් මුදල් නීති පනතෙහි සඳහන් වගකීම් ඉටුකිරීමේ අරමුණ ඇතිව මහ බැංකුව ක්‍රියා කරයි. මේ සඳහා මූල්‍ය පද්ධතියේ ප්‍රධාන නියාමන හා අධීක්ෂණ ආයතනය ලෙස මහ බැංකුව ක්‍රියාත්මක වේ. එමඟින්, කාර්යක්ෂම ගෙවීම් හා පියවීම් පද්ධතියක් සඳහා පහසුකම් සලසන අතරම වෙනස්වන තත්ත්වයන් හා ගැළපෙන හා ස්ථාවර මූල්‍ය ආයතන ක්‍රියාත්මක වීම ප්‍රවර්ධනය කරනු ලබයි.

දේශීය මෙන්ම ගෝලීය වාතාවරණය තුළ පැවති අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්ව හමුවේ වූවද, 2018 වසරේදී මූල්‍ය අංශය සතුටුදායි ක්‍රියාකාරීත්වයක් පෙන්වීය. ද්‍රවශීලතා හා ප්‍රාග්ධන මට්ටම් වර්ධනය වීමත් සමඟ බැංකු අංශයේ වත්කම් වර්ධනය හිතකර මට්ටමක පැවති අතර බැංකු නොවන මූල්‍ය අංශයේ මන්දගාමී වීම හමුවේ වුවද 2018 වසරේදී මූල්‍ය අංශයෙහි ව්‍යාප්තිය ද ශක්තිමත් විය.

බැංකු අංශයෙහි නියාමන සහ අධීක්ෂණ රාමුව ශක්තිමත් කිරීම අපගේ මූල්‍ය අංශ ප්‍රතිපත්තියෙහි ප්‍රධාන අරමුණයි. 2018 ව‍සරේදී, ජාත්‍යන්තර ප්‍රමිතීන් හා මනා පරිචයන්ට අනුව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රාශියක් හඳුන්වා දීම හරහා බලපත්‍රලාභී බැංකුවලට අදාළ නියාමන හා අධීක්ෂණ රාමුව තවදුරටත් ශක්තිමත් කරන ලදී. 2018 වසරේදී මහ බැකුව බාසල් III ද්‍රවශීලතා ප්‍රමිතීන් සහ තෝලන අනුපාතය (Leverage Ratio) සඳහා වන විධාන නිකුත් කරන ලදී. තෝලන ප්‍රමිතීන් සඳහා වන විධාන ද නිකුත් කෙරෙමින් පවතී. මීට අමතරව, විදේශ ණය ලබාගැනීමේදී විනිවිදභාවය ඉහළ නැංවීම සහ අවදානම් කළමනාකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් බලපත්‍රලාභී බැංකු විසින් ලබාගනු ලබන විදේශ විනිමය ණය මත මහ බැංකුව විසින් විධාන නිකුත් කරන ලදී.

බලපත්‍රලාභී බැංකු සඳහා වන නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණු ඇතිව මහ බැංකුව විසින් නව බැංකු පනතක් කෙටුම්පත් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මෙම යෝජිත පනත සඳහා අධීක්ෂණය හා නියාමනය සඳහා වන සමස්ත බලතල, ආයතනික යහපාලනය ශක්තිමත් කිරීම, ඩිජිටල් බැංකුකරණය, ඒකාබද්ධ අධීක්ෂණය, ගැටලු නිරාකරණය, දඩ මුදල්/දඬුවම්, සීමා පැනවීම්, එකතුවීම්, ආයතන අත්කරගැනීම් හා ඒකාබද්ධ කිරීම්, විදේශ බැංකු අනුබද්ධ කිරීම් සහ විවිධ ස්ථරවලින් යුත් බැංකු ව්‍යුහය සඳහා විවිධ නියාමන රාමු හඳුන්වාදීම යන ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් කිරීමට නියමිතය. මීට අමතරව, අවදානම් මත පදනම් වූ අධීක්ෂණය සහ අධීක්ෂණ දින දර්ශනය සැලසුම් කිරීම සඳහා බැංකු කටයුතුවල තිරසාර බව ශ්‍රේණිගත කිරීමේ දර්ශකය (Banking Sustainability Rating Index/BSRI) 2019 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තවද, බාහිර විශේෂඥ දායකත්වය ලබාගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් විදේශිකයන්ගේ සේවාව ලබාගැනීම සඳහා පුළුල් ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ඇත. බැංකු කටයුතුවල සහ වෘත්තීය ගිණුම්කරණ / විගණන ක්ෂේත්‍රයේ සැලකිය යුතු වර්ධනය සැලකිල්ලට ගනිමින් බාහිර විගණන නිලධාරින් පත්කිරීමේ අවම නිර්ණායක දැනටමත් සමාලෝචනය කර ඇති අතර, සුදුසුකම්ලත් විගණන නිලධාරි මණ්ඩලය ඒ අනුව සංශෝධනය කිරීමට නියමිතය.

නියාමන අධිකාරින් අතර අන්තර් සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අප දැඩි ලෙස විශ්වාස කරන බැවින්, අවදානම් පදනම් කරගත් ඒකාබද්ධ සුපරීක්ෂණය පිළිබඳව අවබෝධතා ගිවිසුම් මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ රක්ෂණ නියාමන කොමිසම අතර අත්සන් කරනු ලැබූ අතර, මහ බැංකුව ප්‍රධාන නියාමක ලෙස කටයුතු කරයි. බොහෝ අවස්ථාවලදී අප අවධාරණය කොට ඇති පරිදි, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කරගනිමින් ආර්ථිකයේ මූල්‍ය අවශ්‍යතා ඵලදායි ලෙස සපුරාගැනීම සඳහා ශක්තිමත් සහ ගතික බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වෙළෙඳ පොළ පදනම් කරගත් ඒකාබද්ධකරණ වැඩපිළිවෙළක් සඳහා අප විසින් පහසුකම් සලසනු ඇත.

ණය වර්ධනය අඩුවීම, ලාභදායිත්වය අඩුවීම සහ අක්‍රීය ණය වැඩිවීම හේතුවෙන් 2018 වසරේදී බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස අඩුවිය. මෙම අංශයෙහි මන්දගාමී ක්‍රියාකාරිත්වය සඳහා අඩු ආර්ථික වර්ධනය සහ 2017 වසරේදී සහ 2018 වසරේ පළමු භාගයේ දී පැවති ගංවතුර සහ නියං තත්ත්ව වැනි ස්වාභාවික විපත්ද බලපෑවේය. මෝටර් රථවාහන ආනයනය සඳහා පැවති අධික ඉල්ලුම පාලනය කිරීම සඳහා අනුගමනය කරන ලද ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ද මෙම අංශයේ ක්‍රියාකාරිත්වය සඳහා සැලකිය යුතු ලෙස බලපෑවේය.

2018 වසරේදී බැංකු නොවන මූල්‍ය ආයතන ශක්තිමත් කිරීම සඳහා නියාමන පියවර කිහිපයක් හඳුන්වා දෙන ලදී. පාරිභෝගික අවශ්‍යතා සුරක්ෂිත කිරීම සහ මෙම අංශය පිළිබඳ පාරිභෝගික විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුවක් හඳුන්වා දෙන ලදී.

අවදානම් කළමනාකරණය පිළිබඳ දැඩිව අවධාරණය කිරීමට සහ එම අංශයෙහි දැනට සිදුවෙමින් පවතින අවදානම් තක්සේරු කිරී‍ෙම් හැකියාවන් වර්ධනය කිරීම දිරිගැන්වීමේ අරමුණ ඇතිව බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා නව ප්‍රාග්ධන ප්‍රමාණාත්මක රාමුවක් ක්‍රියාත්මක කරන ලදී. මෙම නව රාමුව තුළ රුපියල් බිලියන 100 ට වඩා වැඩි වත්කම් සහිත සමාගම් සඳහා ඉහළ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාත පවත්වා ගැනීම අවශ්‍ය වේ.

එමෙන්ම, ප්‍රාග්ධන අවශ්‍යතා ඉහළ නැංවීම හේතුවෙන් මෙම අංශයෙහි ප්‍රාග්ධන මට්ටම් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂිතය. එයට අනුකූල නොවන බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ස්වේච්ඡා පදනම මත ඒකාබද්ධ වීම සඳහා දිරිගන්වනු ලැබේ. අනුකූල නොවීම හේතුවෙන් තැන්පතු සහ ව්‍යාපාර ප්‍රසාරණය සඳහා සීමා පනවනු ඇති අතර, අවශ්‍ය විටකදී එම ව්‍යාපාර කටයුතු නවතා දැමීමද සිදුකෙරෙනු ඇත. එබැවින් නුදුරු අනාගතයේදී බලපත්‍රලාභී මුදල් සමාගම් ප්‍රාග්ධන වර්ධන සැලසුම් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම අවශ්‍ය වනු ඇත. මේ සම්බන්ධයෙන් කිසිදු නියාමන දුර්වලතාවයක් හෝ අවහිරතාවක් නොපවතිනු ඇත.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතට අදාළ විධිවිධාන ප්‍රකාරව දැනට නොවිසඳී ඇති අර්බුදයට ලක්වූ සමාගම්වල ගැටලු විසඳීම සඳහා අප විසින් ක්‍රියාමාර්ග ගනිමින් පවතී. අර්බුදයට ලක් වූ සමාගම් දෙකක බලපත්‍ර අවලංගු කර ඇති අතර, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ තැන්පත්කරුවන්ගේ වගකීම් නිරවුල් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී. අර්බුදයට ලක්වූ මුදල් සමාගම්වල ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම පහසු කිරීම සඳහා මුදල් ව්‍යාපාර පනත සඳහා සංශෝධන යෝජනා කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය, මින් පෙර නොවූ විරූ අයුරින් එකිනෙක හා බැඳුණු මෙන්ම, සංකීර්ණ බවට පත්වී ඇති කම්පනවලට වඩාත් විවර වෙමින් පවතියි. ඒ අනුව, තනි ආයතන සුපරීක්ෂණය කිරීම වෙනුවට රටේ සමස්ත මූල්‍ය ස්ථායිතාව වෙත බලපෑම් කළ හැකි වෙළෙඳ පොළ සහ ආර්ථික අංශ වෙත සමස්තයක් ලෙස අවධානය යොමු කිරීමට හැකියාව සහිත පුළුල් සාර්ව විචක්ෂණ ප්‍රවේශයක වැදගත්කම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන ඇත.

අවදානම් කළමනාකරණය මහ බැංකුවේ ප්‍රධාන උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන ඇති අතර, සෑම තරාතිරමක දැනුම්වත් වීමකින් අනතුරුව අවදානම් භාර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින්, අවදානම් කළමනාකරණය සඳහා අන්තර්ග්‍රාහී ප්‍රවේශයක් ක්‍රියාවට නැංවීම සඳහා අපි කටයුතු කරමින් සිටිමු. ඒ අනුව 2018 වසරේදී මහ බැංකුවේ අවදානම් යහපාලන රාමුව සහ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තිය මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර, මෙම රාමුව ක්‍රියාවට නැංවීම සඳහා අදාළ කමිටු ස්ථාපිත කිරීම සහ රැස්වීම් පැවැත්වීම සිදුකරන ලදී. 2019 වසරේදී, අවදානම් ලේඛනයක් සකස් කිරීමට සහ සිදුවීම් වාර්තාකරණ යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීමට අප අපේක්ෂා කරන්නෙමු. මූල්‍ය අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් ගත් කළ, අරමුදල් කළමනාකරණයට අදාළ අවදානම් කළමනාකරණ රාමුව තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.

තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීමේ ප්‍රමුඛතාව මෙන්ම, ඵලදායි හා තිරසර ආයෝජන අවස්ථා තුළින් හරිත හා පරිසර හිතකාමී වර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව 2017 වසරේදී තිරසර මූල්‍ය ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. ඒ අනුව මූල්‍ය අංශය සඳහා ප්‍රතිපත්ති විධාන ලබාදීම අරමුණු කොටගෙන මහ බැංකුව විසින් මේ වනවිට ශ්‍රී ලංකාවේ තිරසර මූල්‍ය සඳහා ඉදිරි දැක්මක් පිළියෙල කෙරෙමින් පවතී. මෙම ක්‍රියාවලිය සඳහා ලෝක බැංකුවෙහි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව වෙතින් තාක්ෂණික සහාය ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ වෙතින් මූල්‍ය සහාය ද අපි ලබාගන්නෙමු. සියලුම පාර්ශ්වකරුවන්ට ඔවුන්ගේ තිරසර මූල්‍ය ප්‍රතිපත්ති සඳහා වන මඟපෙන්වීමේ “තිරසර මූල්‍ය සඳහා ඉදිරි දැක්මක්” 2019 වසරේදී මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

 

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න