ජල ක්‍රීඩා සංගමය තහනම් කරයි | දිනමිණ

ජල ක්‍රීඩා සංගමය තහනම් කරයි

ෆවුස් මොහොමඩ්

කිසිදු දැනුම් දීමකින් තොරව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත් කරනු ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU - Sri Lankan Aquatic Sports Union ) තහනම් කිරිමට ලෝක ජල ක්‍රීඩා සම්මේලනය (FINA - Fédération internationale de natation) තීරණය කර තිබේ. අතුරු කමිටුවක් පත් කිරිම පිළිබඳ ජල ක්‍රීඩා සංගමයේ හිටපු නිලධාරින් ලෝක සම්මේලනයට කළ දැනුම්දීමක් මත මේ තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.

මවු සංගමය මෙතෙක් පිළිගෙන තිබෙන ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ හිටපු නිලධාරී මණ්ඩලයේ අනුදැනුමකින් තොරව අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුව විසින් මේ මස මැද භාගයේදී ඉන්දියාවේ බැංග්ලෝර් නුවර පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගි කරවීමට කටයුතු කරන බවට හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා කළ දැනුම් දීමකට අනුව මේ පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

තම නිලධාරී මණ්ඩලය ඉවත් කරමින් අතුරු කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ බවට එම නිලධාරී මණ්ඩලය ආසියානු ආධුනික පිහිනුම් සම්මේලනය දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා ජල ක්‍රීඩාවට අතුරු කමිටුවක් පත් කිරිම නීත්‍යානුකූල නොවන බැවින් දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කර නොගන්නා මෙන් එම සම්මේලනය ඉන්දියානු ජල ක්‍රීඩා සංගමයට දැනුම් දී තිබිණි.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තහනම් කිරීමට ජාත්‍යන්තර සම්මේලනය තීරණය කර ඇතැයි ආසියානු ආධුනික පිහිනුම් සම්මේලනයේ ලේකම් තාහා අල් ක්‍රිස්රි මහතාගේ ලේකම් තමාට මේ බව දැනුම් දුන්නේ යැයි ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා ‘දිනමිණ‘ කළ විමසුමකදී ප්‍රකාශ කළේය.

‘තහනම් ලිපිය අනිවාර්යයෙන්ම එනවා. අපිට ලිඛිතව තවම එවැනි ලිපියක් නොලැබුණත් ශ්‍රි ලංකා ජල ක්‍රීඩා සංගමය තහනම් කරන බව වාචිකව දන්වා තිබෙනවා.‘ මහින්ද ලියනගේ මහතා පැවැසීය.

එසේ වුවත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කිරීමට තීරණය කළේ නාමයෝජනා සම්බන්ධව මතුවූ ගැටළු හේතුවෙන් බව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා අතුරු කමිටුවේ සභාපති රුවන් සත්කුමාර මහතා ‘දිනමිණ‘ට කියා සිටියේය.

මහින්ද ලියනගේ මහතා පුහුණුකරුවකු ලෙස කටයුතු කරන බවත්, එය මෙරට ක්‍රීඩා නීතියට අනුව නිලතලවලට පත්වීමට අවසර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. කෙසේවුවද තමා පුහුණුකරුවකු ලෙස කටයුතු කරන බව පිළිගත් මහින්ද ලියනගේ මහතා මෙවර නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් නොකළ බව කියා සිටියේය.

‘ජල ක්‍රීඩා සංගමයට අතුරු කමිටුවක් පත් කළේ යම්කිසි පාර්ශ්වයක අවශ්‍යතාව මතයි. මම ඇතුළු පුහුණුකරුවන් ලෙස කටයුතු කරන කිසිදු නිලධාරියෙක් නිලවරණයට ඉදිරිපත් වුණේ නෑ. එය නීතිවිරෝධි බව අප දන්නවා. ක්‍රීඩා නීතියට ගරු කරමින් අප එවැනි පියවරක් ගත්තා. නමුත් අතුරු කමිටුවක් පත් කිරීම ගැන පැහැදිලි කරුණු ඉදිරිපත් කිරීමට එවකට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළේ නෑ.‘ ලියනගේ මහතා පැවැසීය.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවකු වන මහින්ද ලියනගේ මහතා තම විදුහල් පිලේ ජල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර පිහිනුම්, කිමිදුම් සහ ජල ක්‍රීඩා ශූරයෙකි. හෙතෙම ශ්‍රී ලංකා ජල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයකු, පුහුණුකරුවකු සහ නිලධාරියකු ලෙසත් කටයුතු කර ඇත. ‘අතුරු කමිටුව මෙවර දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම ගැටළු සහගත තත්ත්වයක් මතුකළා. තේරිම්වලදි පක්ෂග්‍රාහීව කටයුතු කළා. තෝරාගැනීමේ තරගවලට සහභාගි නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමට ඇතුළත් කර තිබුණා. පසුගිය මාස දෙක ඇතුළත මේ ශූරතාවලියට සහභාගි වන කණ්ඩායම අවස්ථා කිහිපයකදීම වෙනස් කළා. ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ගුවන් ටිකට්පත් සඳහා මුදල් අයකිරීමේදී අදාළ මුදලට වඩා වැඩි මුදලක් අය කර තිබුණා.‘ ලියනගේ මහතා සඳහන් කළේය.කෙසේවෙතත් දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියට වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවීමට නියමිතව සිටි ශ්‍රී ලංකාවට අවසන් මොහොතේදී මෙවැනි තත්ත්වයකට මුහුණපෑමට සිදුවීම නිසා එම ශූරතාවලියේ තරගකාරීත්වය අඩුවීමෙන් එය කල් දැමීමට ඉන්දියානු ජල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ.

මිට පෙර 2015 වසරේදීද ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තහනම් කිරීමට ලෝක සම්මේලනය පියවර ගෙන තිබිණි.


නව අදහස දක්වන්න