ශ්‍රී ලංකා ක්‍රිකට් වංචා-දූෂණ පිළිබඳ තොරතුරු අයි. සී. සී.කොළඹ කාර්යාලයට දෙන්න සති දෙකක් | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් වංචා-දූෂණ පිළිබඳ තොරතුරු අයි. සී. සී.කොළඹ කාර්යාලයට දෙන්න සති දෙකක්

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව යම් වංචාවක්, දූෂණයක් පිළිබඳ තොරතුරු දන්නේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ දිනවල කොළඹදී පවත්වාගෙන යන කාර්යාලය වෙත ලබාදෙන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රණාන්දු මහතා ඉල්ලා සිටියි.

එම කාර්යාලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ හා වංචා පිළිබඳ වාර්තා කිරීමට සති දෙකක සහන කාලයක් ලබාදී ඇතැයිද එම කටයුතු මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල දූෂණ මර්දන ඒකකයේ නියෝජිත ස්ටීව් රිචට්සන් මහතා පැමිණ ඇති බවද පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසූවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන් හා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරින් පිරිසක් කැඳවා ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති හමුවකදීය.

“මගේ වගකීම යුතුකම තමා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ තොරතුරු ලබා දෙන සියලු දෙනා රැක ගැනීම. මා ආරක්ෂාව ලබා දෙනවා තොරතුරු සපයන අයට. දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා මේ සම්බන්ධ අවශ්‍ය නීති සකස් කිරීමට. මාර්තු වෙන විට පාර්ලිමේන්තුවට යොමු කර නීති සම්මත කොට ක්‍රිකට් දූෂණයට එරෙහි පිළියම් යොදෙනවා. යම් කිසි දූෂණ වරදකට කෙනෙක් අහුවුනොත් වසර 5ක් දක්වා සිර දඬුවමක් හා විශාල මුදලක් දඩ ගෙවන්න සිදු වේවි” ඇමැතිවරයා පැවැසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ඔබ සියලු දෙනාටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසිදු කරනවානම් ඒක කළ යුත්තේ අප සියළු දෙනාම එක්වෙලා. ක්‍රිකට් පිරිසිදු කරනවානම් ඒ හැකියාව තිබෙන්නේ ඔබටයි. ක්‍රිකට්වල අයිතිකාරයෝ ඔබයි. අප නොවෙයි. ඔබට වන අසාධාරණකම් සම්බන්ධව මා විශාල සැලකිල්ලක් දක්වනවා. ක්‍රීඩකයෙක්ට හම්බෙන මුදල කීයද, පහසුකම් මොනවාද යන්න පිළිබඳ මා අවධානයෙන් ඉන්නේ”

“අපිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විශාල චොදනාවක් එල්ලවී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හමුවේදී ඔවුන් පැවැසූවේ ක්‍රිකට් වලින් දූෂිතම රට ශ්‍රී ලංකාව බවයි. සිම්බාබ්වේ රටට වඩා අපේ තත්ත්වය හොඳ නෑ. ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට එහා ගිය පාතාලය එක්ක සම්බන්ධ බව ජාත්‍යන්තරයේ මතයයි. මේක දරුණු චෝදනාවක්. මම පැහැදිලිව එක පොරොන්දුවක් වෙනවා. මේ තත්වයෙන් ක්‍රිකට් මුදවා ගන්න අවශ්‍ය වටපිටාව සකසන බවට. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න සූදානම්. නිළවරණ ගැන, අතුරු පාලක කමිටු ගැන අපි කළබල විය යුතු නෑ. එන කෙනෙක් එයි. යන කෙනෙක් යයි. අපි සියලුදෙනා එකතුවෙලා ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කරමු” ඇමැතිවරයා පැවැසීය.

යොවුන් ක්‍රීඩකයන් විවෘතව ප්‍රශ්ණ ගැන සාකච්ඡා කළ යුතු බවත් ක්‍රීඩකයන් වෙන් වෙන්ව නොව කණ්ඩායමක් විදියට පැමිණ ප්‍රශ්න ඉදිරිපත් කිරීම වැදගත් බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

“පසුගිය දින කීපයේ මම දැක්කා ක්‍රීඩකයන්ගේ භාර්යාවන් ගැටළු ඇති කරගෙන යම් යම් සංවාදවල යෙදෙන ආකාරය. මා සියලු ක්‍රීඩකයන්ගෙන් ඉල්ලනවා බිරිය ගෙදර තියලා පිට්ටනියේ ක්‍රිකට් ගහන්න කියලා. එවැනි අනවශ්‍ය මැදිහත්වීම් ඉතා ශෝචනීයයි. එහෙම වෙනකොට ශ්‍රී ලංකාව ගැන ලෝකය දකින්නේ කොහොමද?”

ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමේ විශාල මුදල් ප්‍රමාණයක් ඇදී එන ක්‍රීඩාවක් බවට පත් වෙලා. මෙපමණ මුදල් ප්‍රමාණයක් සංසරණය වෙද්දී අපට අවධානයෙන් ඉන්න සිදු වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපිට ලබාදී ඇති මේ සති දෙකක සහන කාලය තුල ක්‍රිකට් දුෂණ වංචා පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස අනෙක් යාලුවන්ටත් කියන්න” ප්‍රනාන්දු මහතා පැවැසීය.

ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරින්ගේ හමුවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ නියෝජිත ස්ටීව් රිචට්සන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලාන්නද පෙරේරා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න