ඔස්ට්‍රේලියානු සංචාරයට බලාපොරොත්තු පොදි බඳින ඔබ්සර්වර්-මොබිටෙල් සම්මානලාභී පිතිකරුවා | දිනමිණ

ඔස්ට්‍රේලියානු සංචාරයට බලාපොරොත්තු පොදි බඳින ඔබ්සර්වර්-මොබිටෙල් සම්මානලාභී පිතිකරුවා

ජාතික ක්‍රිකට් පිලේ ස්ථානයක් තහවුරු කරගැනීමේ දැඩි උත්සාහයක නිරතව සිටින ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයේදී යළි කණ්ඩායමට එක්වී සිටී. ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් නවසීලන්ත සංචාරයේ මැද භාගයේදී කණ්ඩායට එක්වීමට අවස්ථාව උදාවූවත් දෙවැනි ටෙස්ට් තරගයට හෝ එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට නොලැබිණි. කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු සංචාරයේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවේදී පිටියට පිවිසීමේ අවස්ථාවක් උදාකරගැනීම සධීරගේ බලාපොරොත්තුව වී තිබේ.

වසර 2014දී සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ මේ විශිෂ්ට පිතිකරුවා පළමුවරට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ ඊට වසර 3කට පසුවය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගමාලාවේ ශ්‍රී ලංකා පිලේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සධීර එහිදී අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිස වේගවත් පිතිහරඹයක නිරතවෙමින් ලකුණු 38ක් රැස් කිරීමට සමත්විය. හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ඉනිම වර්ණවත් කළ මේ කෝඩුකාරයා එදා පාකිස්තාන පිලේ මොහොමඩ් ආමීර්, මොහොමඩ් අබ්බාස් වැනි වේගපන්දු යවන්නන්ටත්, යසීර් ෂා වැනි නොම්මර එකේ දඟපන්දු යවන්නන්ටත් නොබියව මුහුණ දෙමින් සිය කණ්ඩායම ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය අනාගත ශ්‍රී ලංකා පිලේ පෙරළිකාර පිතිකරුවකු බවට පත්වීමේ පෙරනිමිති පහළ කළේය.

එමීර් රාජ්‍ය යේදීම එක්දින හා විස්සයි20 තරග වරම් දිනාගත් සධීර වසර 1987දී රොහාන් වීරක්කොඩිගෙන් පසුව මරදාන සාන්ත ජෝශප් විදුහලෙන් බිහිවූ ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි ක්‍රීඩකයා විය. ඔබ්සර්වර් -මොබිටෙල් සම්මානය දිනාගනිමින් සිය පාසල් ක්‍රිකට් ජීවිතයේදී සධීර ලැබූ ඉහළම ඇගැයුම ඔහුට ජාතික කණ්ඩායමට සේන්දුවීමට කදිම උත්තේජනයක් ලබාදී තිබිණි.

නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියට ඇතුළත්ව සිටිය ද ඔහුට අවසන් 11 දෙනා අතරට එක්වීමේ අවස්ථාව හිමි නොවිණි. හෙතෙම දෙපිල අතර හෙට (11) පැවැත්වෙන විස්සයි20 තරගයට ද ඔහු නම් කර තිබේ. එම තරගයේදී බොහෝ විට සධීරට අවස්ථාවක් ලැබෙනු ඇතැයි වාර්තා වෙයි.

එය කෙසේවුවත් ටෙස්ට් තරග බිමට වැඩි කැමැත්තක් දක්වන සධීර ඔස්ට්‍රේලියානු සංචාරයේදී වේගවත් තණතීරුවලට ඔබින පිතිකරුවකු වනු ඇත. ඔහුට එහිදී ලැබෙන අවස්ථාව මේ වසරේ මැද භාගයේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින තරගමාලාවට සහභාගි වීමේ අවස්ථාව ද උදාකරනු නිසැකය. මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කටත්, එක්දින තරග 6කටත්, විස්සයි20 තරග 5කටත් ක්‍රීඩා කර ඇති සධීරගේ විශිෂ්ට පිතිහරඹය මෙරට ක්‍රීඩාලෝලීන්ට දැකබලාගැනීමට අනාගතයේදී කදිම අවස්ථාවක් උදාවනු ඇත.

එංගලන්ත පිලේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ ක්‍රීඩා කළ සධීර එහිදී එක්දින තරග 3ටම ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ද වාර්තා කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත පිල සමග පැවැති පුහුණු තරගවලදී සිය දස්කම් මුවහත් කරගත් මේ දකුණත් කඩුලු රකින පිතිකරුවා ටෙස්ට් තරග බිමේදී වේගයෙන් ලකුණු රැස් කරන පිතිකරුවකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගැනිමට සමත්වන්නේ නම් අනාගතයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවධානයට ලක්වන ක්‍රීඩකයකු වනු නිසැකය.

ෆවුස් මොහොමඩ්


නව අදහස දක්වන්න