යටිනුවර - තාත්තා! | දිනමිණ

යටිනුවර - තාත්තා!

මහනුවර නගරයට අයත්; යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ඇති වූ හදිසි ගින්න පිළිබඳ සිද්ධිය මේ වන විට මුළු රට ම කතා කරන දෙයක් බවට පත් වී ඇත. එම සිද්ධිය තුළ බුද්ධිමය සංවාදයකට අවශ්‍ය බොහෝ දේවල් තිබේ. එක අතෙකින් හයවන මහලේ සිට; සිය දරු පවුල බේරාගත් පියා සමාජයේ වීරයකු බවට පත් ව සිටී. තව අතෙකින් ප්‍රමිතියකින් තොරව ගොඩනැගිලි සැලැසුම් කරන හා ඉදිකරන කොන්ත්‍රාත්කරුවන් දැඩි විවේචනයට ලක්වන්නට පටන්ගෙන තිබේ. තවත් අතකින් මේ අවදානම් සහගත අවස්ථාව වීඩියෝ කරමින් එයින් ආස්වාදයක් ලැබීමට තැත් කළ නරඹන්නන් කෙරෙහි පොදු සමාජයේ කෝපය හා විරෝධය එල්ලවන්නට පටන්ගෙන තිබේ. කතාබහට ලක්විය යුතු සිදුවීම් ගණනාවක් මෙහි ඇත.

ඉහත කී ගොඩනැගිල්ල මහල් හයකින් යුතුය. අපගේ කතාබහට ලක්වන දරු පවුල වාසය කර ඇත්තේ හයවන මහලේය. නැතහොත් ඉහළම මාලයේ ය. ගින්න හටගෙන ඇත්තේ උදෑසන හතට පමණ බව කියති. ඒ පෙරේදා ය. පහත මහල කඩ - සාප්පුවලින් සමන්විත අතර ඒවා කිසිවක් විවෘත කර නොතිබිණි. හදිසි දොරටු හෝ පිටතින් ගමන් කළ හැකි තරප්පු හෝ එම ගොඩනැගිල්ලට නැත. ගින්න වහ - වහා පැතිරෙයි. ඉහත සඳහන් දරු පවුලට ගොඩනැගිල්ලෙන් පිටවීමට කිසිදු ක්‍රමයක් නැත. පියා වීදුරු ජනේලයක් කඩා පිටත සිටි පිරිසට සංඥා කරන අතර නිවසෙහි වූ කොට්ට - මෙට්ට ඉවතට දමා ඒ මතට දරුවන් හෙලුවේ ය. බිරිය ද ඒ අයුරින් ම බේරාගත් සැමියා බටයක ආධාරයෙන් බිමට බැස්සේ ය.

මේ පියා හැබෑවට ම වීරයෙකි. ඔහු රටේ අනෙක් පියවරුන්ට ද ආදර්ශයකි. ඔහු කලබල වී පිස්සු නටන්නට පටන්ගත්තේ නම්; සියලු දෙනාගේ ම ජීවිත අනතුරක වැටෙන්නට ඉඩ තිබිණි. ඔහු කලබලයකින් තොරව මනස සන්සුන් කරගෙන කළ යුතු බුද්ධිමත් ම ක්‍රියාව ඉටුකර තිබේ. පියා තමන්ගේ දරුවන් තිදෙනා ද, බිරිය ද බේරාගෙන තමන්ගේ ජීවිතය ද ආරක්ෂා කරගෙන තිබේ. එක දරුවකුගේ වයස අවුරුදු අටකි. තව දරුවකුගේ වයස අවුරුදු හතකි. අනෙක් දරුවාගේ වයස අවුරුදු තුනකි. මෙබදු බාලවයස්කාරයන් තිදෙ‍නකු හදිසි අවස්ථාවක දී හසුරුවාගැනීම පවා විස්මිත ක්‍රියාවක් ලෙස සැලැකිය හැකි ය. පියාගේ බුද්ධිමත් හැසිරීම අප කාගේත් ඇගයීමට ලක්විය යුතුය.

සිද්ධියෙන් පසු දරු පවුල හා පියා රෝහල්ගත කර සිටිති. වෛද්‍යවරුන්ගේ ප්‍රකාශවලින් පෙනීයන්නේ කිසිවකුට බරපතළ තත්ත්වයක් නැති බව ය. දරුවන්ට හා මවට සුළු සීරීම් තුවාල ඇති බව කියති. ඔවුන්ට ඇති වී තිබෙන කම්පනය නිසා යම් රෝගී තත්ත්වයක් ඇති බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. මෙබඳු සිද්ධියකට මුහුණදුන් අය බලවත් මානසික කම්පනයකින් පෙළීම සාමාන්‍ය සිද්ධියකි. කාලයත් සමඟ එය පහව යනු ඇත. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ ආරක්ෂාව හා විවේකය යැයි කියන්නට පුළුවන. එය සැලැසීම අපේ සමාජයේ යුතුකමක් බව කිව යුතුය. විපතකට මුහුණ දුන් කෙනකුට එක අතෙකින් අවශ්‍ය භෞතික සම්පත් ලබා දිය යුතුය. තව අතෙකින් සහනදායී මානසික වටපිටාවක් ඇති කළ යුතුය.

අපේ රටේ ගොඩනැඟිලි හිටිහැටියේ කඩා වැටෙයි. තව ගොඩනැඟිලිවල හිටිහැටියේ ගින්න පැතිර යයි. මෙබඳු සිද්ධි ගණනාවක් පසුගිය කාලය තුළ වාර්තා වී තිබිණි. මේවාට අදාළ ව සිදුකරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ ඇතැම් ගොඩනැගිලි කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදි වී ඇති බව ය. යටිනුවර වීදියේ අප කියන ගොඩනැගිල්ලට ද හදිසි දොරටු නැත. පිටතින් පිවිසිය හැකි තරප්පු ද නැත. බස්රථයක පවා හදිසි දොරටුවක් තිබේ. එහෙත් මේ ගොඩනැගිල්ලට එවැන්නක් නැත. ගොඩනැගිල්ලේ සැලැසුම් ශිල්පියා කවු ද? එය ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දුන්නේ කවු ද? ගොඩනැගිල්ලට අදාළ කොන්ත්‍රාත්තුව ගෙන එය ඉදිකළේ කවුද? යන ගැටලු මෙහි දී මතුවෙයි. ඊට අදාළ කිසිවකු තමන්ගේ වගකීම් වටහාගෙන නැති බව පෙනෙයි.

පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි ගණනාවක් ගිනි ගත්තේ ය. ඒවා පිළිබඳ පරීක්ෂණ පවත්වා ගින්නට හේතු සොයනු මිස; ගොඩනැගිලිවල ගින්නක් පැතිර යන්නේ කෙසේ ද? ඉන් ආරක්ෂා වීමට ඇති ක්‍රමවේද මේ ගොඩනැගිලි තුළ තිබේ ද යන්න කිසිවකුගේ අවධානයට ලක් වන බවක් පෙනෙන්නට නැත. ගොඩනැගිලි ඉදිකළ යුත්තේ ගින්නක් පැතිර නොයන ආකාරයෙන් ය. එලෙසම ගින්නක් ඇති වුවහොත් එය නිවා දැමිය හැකි ක්‍රමවේද එම ගොඩනැගිල්ල තුළ ම තිබිය යුතුය. ගොඩනැගිලි ඉදිකිරීම හා මහජන ආරක්ෂාව යන සාධක දෙක ම මෙහි දී සැලැකිල්ලට ගත යුතුය.

සමාජ මාධ්‍ය මේ සිද්ධිය වාර්තා කරමින් අවට සිටි පිරිස විවේචනයට ලක්කර තිබේ. එම විවේචනයෙහි යුක්ති සහගත බවක් ද තිබේ. හයවන මහලේ සිටි පියා සිය පවුල බේරාගැනීම සඳහා ජීවිතයත් -මරණයත් අතර සටනක නිරත වන අතර ගොඩනැගිල්ල අවට රැස්ව සිටි ඇතැමුන් ජංගම දුරකථනය ඔස්සේ එය වීඩියෝ ගත කරනු දක්නට ලැබිණි. පියාගේ වීර ක්‍රියාවට සහයෝගය දක්වා ඇත්තේ කිහිප දෙනකු පමණි. පොලිස් නිලධාරීන් පවා ඉහළ මාලය දෙස කට අයාගෙන බලා සිටිනු දක්නට ලැබිණි. මෙවන් අවස්ථාවක දී වඩාත් වැදගත් වන්නේ මනුෂ්‍ය ජීවිත බේරා ගැනීම ය. අවට සිටි පිරිසගෙන් ඊට බලගතු සහයෝගයක් ලැබී නැති බවක් පෙනෙන්නට තිබේ. එය යුක්තිසහගත නැත. සමාජයේ තරම - තිරම ද එයින් පැහැදිලි වෙයි.

හදිසි අනතුරක දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නිසි පුහුණුවක් අපේ සමාජයේ වැඩි දෙනකුට නැත. ඇතැම් රටවල මෙබඳු පුහුණුවීම් ලබා දෙන්නේ පාසල් මට්ටමේ සිට ය. අනතුරකට ගොදුරු වූ තැනැත්තා මෙන්ම ඒ අවට සිටින තැනැත්තන් ද පුහුණුවක් ලද අය වෙතොත් අනතුරෙන් සිදුවන හානිය අවම කරගත හැකි ය. පුහුණුවක් ඇතිව හෝ නැතිව හෝ ඉහත කී පියා තැනට සුදුසු නුවණ භාවිතකොට සිය දරු පවුල බේරාගෙන තිබේ. ඒ ගැන මුළු රට ම සතුටු විය යුතුය. රටේ නායකයන්ගේ පවා අවධානයට ලක්විය යුතු සිද්ධියක් ලෙස මෙය සැලැකිය හැකි ය. බොහෝ විට අපට දකින්නට ලැබෙන්නේ සිය දරු පවුල අතහැර යෑමට උප්පරවැට්ටි සොයන තාත්තලා ය. ඒ අතින් බලන විට මේ පියා විශිෂ්ට මිනිසෙකි.

මේ සිද්ධියෙන් අපට ඉගෙනගත හැකි පාඩම් ගණනාවක් තිබේ. වැදගත් ම පාඩම වන්නේ පදිංචියට සුදුසු ස්ථානයක් සොයා ගැනීමේ වගකීම ය. හදිසි දොරටුවක් නැති මහල් නිවාස පදිංචියට සුදුසු නැත. ගින්නක් ඇතිවුවහොත් එය නිවා දැමිය හැකි ක්‍රමවේද නැති ගොඩනැගිලි මිනිස් කටයුතුවලට යෝග්‍ය නැත. ඕනෑම ගොඩනැගිල්ලක මානව කටයුතු ආරම්භ කිරීමට පෙර එහි ඇති ආරක්ෂාව ගැන ද සොයා බැලිය යුතුය.

 


නව අදහස දක්වන්න