මහානාමට-පියදාසට විදෙස් ගමන් තහනම් | දිනමිණ

මහානාමට-පියදාසට විදෙස් ගමන් තහනම්

අමෝදා ජයමහ

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රෝපකරණ හා ගොඩනැගිලි එම්.ජී.සුගර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට පවරා දීමට රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධව ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (9) නියෝගයක් නිකුත් කළාය.

අල්ලස් කොමිසම විසින් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් පවසා සිටියේ සැකකරුවන් දෙදෙනා විදේශ ගත වීමට සුදානමක් පවතින බවට කරුණු අනාවරණය වන බවය.

තව ද ඔවුන්ට අධිකරණය විසින් ඇප ලබා දුන් අවස්ථාවේ විදේශගත වීම වළක්වාලමින් නියෝගයක් නො කළ බැවින් සැකකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කරමින් සුදුසු නියෝගයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර විදේශ ගමන් තහනම පිළිබඳ සැකකරුවන් දෙදෙනාට ලිඛිතව අධිකරණය විසින් දැනුම් දෙන බව ද පැවැසීය. එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ද මේ පිළිබඳ දැනුම් දීමට කටයුතු කරන බව මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.

විදේශ ගමන් තහනම පිළිබඳ අදාළ පාර්ශ්ව වෙත දැන්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට දන්වා සිටියාය.

නව අදහස දක්වන්න