බදා­ගෙන කරන්න ගියොත් එපා­ වෙ­නවා | දිනමිණ

බදා­ගෙන කරන්න ගියොත් එපා­ වෙ­නවා

ගමින් ගමට ගොස් සතුන්ට සේවය කරනවා - කලාවේ කෙනෙක්ව බඳින්න කිසිම අදහසක් නෑ

කලා ලෝකෙට කාලෙන් කාලෙට විවිධ තරු පායනවා. මෑතක සිට කලාවට අලුතෙන් පියනගන බොහො­් තරු හැකියාවත්, ලස්සනත් දෙකින්ම යුක්තයි. එවැනි

රුවැත්තියක් තමයි පූජනී භාග්‍යා. 2018 හිරු අවුරුදු කුමරිය ලෙස කිරුළ පැලඳි ඇය මේ වන විට රංගන ශිල්පිනියක සහ නිරූපණ ශිල්පිනියක ලෙස කලාව තුළ දිගු ගමනක් යන්නට පෙරුම් පුරනවා.

 මුලින්ම ඔබ ගැන හඳුන්වා දුන්නොත්...?

මම පූජනි භාග්‍යා. මගේ පියා සේවය කරන්නෙ වරාය අධිකාරියෙ. අම්මා ගෘහණියක්. නංගිලා දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් නිවුන් සොහොයුරියන්. මම දැනට රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක ලෙස කලාවේ නියැළෙනවා.

රංගනය පැත්තෙන් මොනවද මේ දක්වා කළ නිර්මාණ...?

ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑවා. ජාතික රූපවාහිනියේ විකාශය කෙරෙන 'මංසල' ටෙලි නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් විකාශය වෙනවා. පසු ගිය දිනවල සනත් අබේසේකර මහතා අලුතෙන් කළ ටෙලි නාට්‍යයක චරිතයක් කළා. එය ඉදිරියේදි හිරු නාළිකාවෙන් විකාශය වීමට නියමිතයි.

රංගනයට පිවිසුණේ කොහොමද...?

රංගනට පිවිසුණේ වයස අවුරුදු දොළහෙදි. ඒ සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගේ 'දරුවනේ' චිත්‍රපටයෙන්. අම්මාගේ යෙහෙළියක් තමයි මාව එම චිත්‍රපටයට සම්බන්ධ කළේ. ඉන් පසුව උසස් පෙළ අවසන් වනතුරු කිසිම නිර්මාණයකට සම්බන්ධ වූයේ නැහැ. උසස් පෙළ අවසන්ව සිටින කාලයේ දිලීප් තිවංක අයියා ෆොටෝ ෂූට් එකකට කතාකළා.ෆොටෝ ෂූට් එකෙන් පසුව රූපවාහිනී දැන්වීම් කිහිපයක පෙනී සිටින්න අවස්ථාව ලැබුණා.

පාසල් කාලයේදිත් කලා කටයුතුවල නියැළුණාද...?

මම පාසල් ගියේ කැලණියේ ගුරුකුල විදුහලට. උසස් පෙළ දක්වා කිසිම කලා කටයුත්තක නියැළුණේ නැහැ. 2016 වසරේ ගුරුකුල විදුහලේ ක්‍රීඩා නායිකාව වූණේ මමයි. දිවීමේ තරග ගණනාවකින් ජයග්‍රහණ ලැබුවා. පාසල් කාලෙ මගේ වැඩ හරියට කොල්ලෙකුගේ වගේ. මට හිටියේ පිරිමි යහළුවන්. කොල්ලෙක් වගේ කැප් එක දාගෙන බොටම් කලිසම ඇඳගෙන වැඩි වේලාවක් ගත කළේ පිට්ටනියෙම තමයි. උසස් පෙළ සඳහා ‍වාණිජ විෂයන් හැදෑරුවා. පසුව ක්‍රීඩා උපදේශකවරියක් වෙන්න හිතාගෙන රැකියාවකට ඉල්ලුම්පතක් දැම්මා. එහි පළමු සහ දෙවැනි සම්මුඛ පරීක්ෂණ සඳහාත් සහභාගි වුණා. පස්සෙ මට හිතුණා මේ රස්සාවට ගිහින් දුෂ්කර පළාතකට දැම්මොත් අව්වෙ පිච්චෙන්න වෙයි කියලා. ඒ නිසා එම රැකියාවට යන්නෙ නැහැ කියා තීරණය කර සිටින කාලයේදී තමයි හිරු අවුරුදු කුමරිය තේරීමේ තරගයට ඉදිරිපත් වෙන්නේ.

හිරු අවුරුදු කුමරිය වීම ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයයක්...?

ඔව්. මගේ මව තමයි හිරු අවුරුදු කුමරිය තරගයට මගේ අයැදුම්පතක් යොමු කෙළේ. එතකොට ඉස්කෝලෙන් අස් වුණා විතරයි. මම තරගයට ඉදිරිපත්වෙන්න බැහැම කිව්වා. නමුත් අම්මගෙ වදේට බේරෙන්නම බැරි නිසා ගියා. 2018 හිරු අවුරුදු කුමරිය වීමේ භාග්‍ය ලැබුණා. ඉන් පසුව තමයි රංගනය, නිරූපණය, මියුසික් වීඩියෝ රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබුණේ.

පූජනී රඟපාන්නේ විනෝදාංශයක් විදිහටද...?

ඔව්. රංගනය මගේ වෘත්තිය වුණා නම් මම මේ වන විට නිර්මාණ රාශියකට සම්බන්ධවෙන්න අවස්ථාව තිබුණා. ඒත් මම හැම වැඩක්ම කරන්නේ ප්‍රමාණයකට. ඒ නිසයි පසුගිය දිනවල ලැබුණු චිත්‍රපට තුනක්ම ප්‍රතික්ෂේප කළේ. ඒ වගේම මම කැමැති නෑ රූපවාහිනියේ නිතර දකින මුහුණක් වෙන්න. හැමදේම බදාගෙන කරන්න ගියොත් එපාවෙනවා. නමුත් ඉදිරියේදි සිනමා රංගන ශිල්පිනියක් වීමට කැමැතියි.

සීමාවන් පනවාගෙන කො‍හොමද සිනමා රංගන ශිල්පිනියක වන්නේ...?

මනාලියක ලෙස නිරූපණය කරද්දී වුණත් මම අඳින විදිහක් තියෙනවා. ඕනවාට වඩා සිරුර කැපිල පේන ඇඳුම් අඳින්න කැමැති නැහැ. ඒ වගේ රංගනයේදි වුණත් මගේ ප්‍රතිරූපයට හානි වන චරිත කරන්න මම කැමැති නැහැ. මගේ සීමාවන්ට කවුරුන් හෝ අකැමැති නම් එවැනි නිර්මාණ නොලැබුණා කියා කිසිම දුකක් නැ. මම කලිනුත් කිව්වේ මේක මගේ විනෝදාංශය විතරයි.

එතකොට සතුන් බලාගන්න එක විනෝදාංශය නෙමෙයිද...?

මගේ පුංචි කාලෙ සිට හීනයක් තිබුණා කවදා හෝ පසු වෛද්‍යවරියක් හෝ ගුවන් සේවිකාවක් වනවා කියා. එහෙත් තාත්තා කැමැති වුණේ නැහැ ගුවන් සේවිකාවක් වනවාට. පශු වෛද්‍යවරියක් වීමට නොහැකි වුණත් අද මගේ සුනඛ සුරතලුන් සහ පූස් සුරතලුන්ට බෙහෙත් කරන්න නිතරම අපේ ගෙදරට පශු වෛද්‍යවරයෙක් එනවා. ඔහුගෙන් බලාගෙන මටත් දැන් රෝගී සතුන්ට ප්‍රතිකාර කරන්න පුළුවන්.

රංගනයත් එක්ක කොහොමද සතුන් බලා ගන්නේ...?

ම‍ම විතරක් නෙවෙයි අපේ ගෙදර සියලු දෙනාම සතුන්ට ආදරෙයි. බලු පැටවු දාහතරක් සහ පූසන් එකොළහක් අපේ ගෙදර ඉන්නවා. ඒ සියලුම සතුන් මග තොටේ දමා ගිය සතුන්. අපි එහෙම සතුන් අරගෙන ඇවිත් ඔවුන්ව බලා ගන්නවා. කන්න බොන්න දෙනවා. මටයි නංගිලා තුන් දෙනාටයි බලු පැටවුන්ට කෑම දෙන්න කාලසටහනක් පවා හදලා තියෙනවා. කවදා හෝ ගමින් ගමට ගිහින් සතුන්ට සේවය කිරීමේ අදහසක් තිබෙනවා.

කියන්න පුළුවන්ද පූජනීගේ සුරතල් සතුන්ගේ නම්...?

බෲනෝ, ෂේනි, බනී, ජැකී, වගේ නම් බල්ලන්ට දමා තිබෙන්නේ. කික්කි පැටී, ඩුම් කෲස්, ලීනා, ලීසා වගේ නම් පූසි පැටවුන්ට දාලා තියෙන්නේ. බලු පැටවු හුරතල්, පූස් පැටවු නම් ආඩම්බරයි. එයාලත් එක්ක ඉඳලම දැන් ඒ අයගේ හැසිරීම් හොඳින් දන්නවා.

පූජනීගෙ ආදරවන්තයා ගැනත් කියමු නේද...?

තවම පෙම්වතෙක් නැහැ. දැන් මගේ වයස විස්සයි. විවාහයක් ගැන සිතන්න තව කල් තියෙනවා. මොන දේ කළත් මවුපියන්ගෙ කැමැත්ත මත සිදු විය යුතුයි කියල මම හිතන්නෙ. දැනටත් මම යන හැම රූගත කිරීමකටම මා සමග අම්මාත් පැමිණෙනවා. කොහොමත් කවදා හෝ මගේ සහකරු වන කෙනා කලාවට සම්බන්ධ කෙනෙක් වෙන එකක් නෑ. ඒ වගේම ඔහුත් අපි වගේම සතුන්ට ආදරය දක්වන හොඳ කෙනෙක් වෙන්න ඕනෑ. 

නයනා වෑත්තෑව

නව අදහස දක්වන්න