අලුත් ව්‍යවස්ථාවේ අනාගතය | දිනමිණ

අලුත් ව්‍යවස්ථාවේ අනාගතය

අසේල කුරුළුවංශ

සියලු සිංහලයන් සිංහලුන් නොවන්නා සේම, සියලු දෙමළුන් දෙමළද නොවන බව මහාචාර්ය අමරදාස ලියනගමගේ මහතා වරක් ප්‍රකාශ කළේය. එය සත්‍යයකි. අද සියලු ජාතීහු එකිනෙකට මිශ්‍රව සිටිති. සියලු ජන කොටස්වලට තමන්ගේය කියා දැනෙන ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම අපේ වගකීමය. එක් ජන කොටසක් අමතක කර හෝ ඔවුන්ට අසාධාරණයක් කරමින් ව්‍යවස්ථාවක් සකස් කිරීම පවතින ප්‍රශ්න තවත් උග්‍ර වීමට හේතුවනු ඇත. දේශපාලනඥයන්ට අවශ්‍යව තිබෙන්නේ රටේ ප්‍රශ්න විසඳීමට පෙර පක්ෂවල ප්‍රශ්න විසඳා ගැනීමටය. ගෙන ඒමට කටයුතු කරන බව කියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද දැන් එහි ගොදුරක් බවට පත්ව තිබේ.

මෙරට වාසය කරන සියලු ජාතීන්ට අයත් ජනතාව ශ්‍රීලාංකීය ජාතියක් ලෙස සාමයෙන් හා සමඟියෙන් ඇද බැඳ තැබිය හැකි ජාති, ආගම්, වර්ග ‍හෝ සමාජ පසුබිම පිළිබඳ කිසිදු භේදයක් නොසැලකෙන නව ව්‍යවස්ථාක් සකස් කිරීම සඳහා වන වැඩපිළිවෙළ සම්බන්ධව යළිත් කතා බහක් ඇතිව තිබේ. පළාත් පාලන මැතිරවණය හා එහි ප්‍රතිපලය සමඟ මෙම වැඩපිළිවෙළ යම්තාක් දුරට අකර්මණ්‍ය විය. පසුව යළිත් ඒ සම්බන්ධයෙන් රජය යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී අගමැති වෙනස ඔස්සේ මතුවූ දේශපාලනික අර්බුදයත් සමඟ ඒ පිළිබඳ පැවැති උනන්දුව යළිත් යටපත්ව ගියේය. පසුගිය ජනපතිවරණය සමයේදී රටට ගැලපෙන නව ව්‍යවස්ථාක් සකස් කරන බවට පොදු අපේක්ෂක හා ඔහු වටා ගොනුවූ පක්ෂ නායකයින්ද සිවිල් සංවිධානද ජනතාවට පොරොන්දුවක් ලබා දුන්හ. අගමැතිවරයා විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මස 09 දාය.

දේශපාලන අර්බුදය

පාර්ලිමේන්තුව විසින් එම යෝජනාව ඒකඡන්දයෙන් සම්මත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පරිවර්ථනය විය. එම කටයුත්ත සිදුවී වසර එකහමාරකට පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. අතුරු වාර්තාව සම්බන්ධයෙන් ඉදිරිපත්වූ යෝජනා හා විවේචන පදනම් කර ගනිමින් සකස් කළ විශේෂඥ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සුපුරුදු පරිදි මේ සමඟ ෆෙඩරල් හා රට දෙකඩ කිරීමේ කතා බහ කරළියට පැමිණ ඇත. මෙය නව ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම් පතක් නොවන බව මුලින් තේරුම් ගත යුතුව තිබේ. නව ව්‍යවස්ථාව කෙටුම් පත් කිරීමට පෙර මෙම වාර්තාව සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව තුළ විධිමත් කතා බහක් සිදුවීම අත්‍යවශ්‍ය කරුණක් වන නමුත් එවැන්නක් සිදු නොවන ලකුණු දැන් සිටම දක්නට ලැබෙයි. විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය බෝලය එන්නටත් පෙර බැට් කරන්නට පටන් ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් අවශ්‍ය බව පසුගිය දිනවල රටේ පැවැති දේශපාලන අර්බුද තුළින් යළිත් තහවුරු විය. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස කටයුතු කරන බව පිළිගෙන ඇත. කතානායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වන අතර නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන විසි එක් දෙනකු ගෙන් යුත් මෙහෙයුම් කමිටුවේ සභාපති වන්නේ අගමැතිවරයාය. ව්‍යවස්ථායක සභාව යටතේ මූලික අයිතිවාසිකම්, අධිකරණ පද්ධතිය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවය, මධ්‍ය පර්යන්ත සබඳතා ලෙස අනු කම කමිටු පැවතිණි. ඒවා මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් සකස් කිරීම සඳහා සාමාන්‍ය ජනතාව, සිවිල් සංවිධාන, විද්වතුන් ඇතුළු නොයෙක් සංවිධාන මගින් ලබාදුන් යෝජනා හා අදහස් වෙන් වෙන් වශයෙන් ගෙන සමාලෝචනය කරනු ලැබීය. පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නියෝජිතයින් මෙම කමිටු හයෙහි සාමාජිකයින් ලෙස කටයුතු කළහ. රාජ්‍ය හා මූල්‍ය කමිටුවේ සභාපතිවරයා වූයේ ඒකාබද්ධ විපක්ෂය නියෝනය කරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාය. ඔහු සභාපතීත්වය දැරූ කමිටුව මගින්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව සඳහා වැදගත් යෝජනා ඉදිරිපත් කර තිබිණි. එහෙත් එකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු මෙන්ම ඇමැතිකම් දරා දැන් විපක්ෂයට ගොස් සිටින කමිටු සාමාජිකයන් ඉහත ක්‍රියාවලිය සම්බන්ධව වැරදි චිත්‍රයක් රටට පෙන්වීමට උත්සාහ කිරීම කණගාටුදායක තත්ත්වයකි.

ආණඩුවට ව්‍යවස්ථා

නිදහස් ශ්‍රී ලංකාවේ මෙයට ප්‍රථම සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම ඒ වනවි‍ට බලයේ සිටි පක්ෂයේ හෝ පක්ෂවල අවශ්‍යතාව මත සකස් කළ ඒවාය. මේ නිසා එම ව්‍යස්ථා සියලු ශ්‍රීලංකිකයින්ට පොදු නොවූ ව්‍යවස්ථා බවට පත් විය. එහි ප්‍රතිඵලය වූයේ සංශෝධන පිට සංශෝධන ගෙන එමින් රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සිදු වීමය. බලයේ සිටින පක්ෂය හා බලයේ සිටින පුද්ගලයා ශක්තිමත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒම ආරම්භ කරමින් 1972 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගෙනආ ජනරජ ව්‍යවස්ථාවත් සමඟ බ්‍රිතාන්‍යය කිරීටයෙන් මිදී ශ්‍රීලංකාව ජනරජයක් වීම නිසා මෙරට ජනතාව ඉන් සියුම් ආස්වාදයක් ලැබීය. රට ඒකාධිපති දිශාවකට යොමු කිරීම සඳහා වන පදනම එමඟින් වැටුණු පසු ජේ. ආර් ජයවර්ධන ජනපතිවරයා වත්මන් ඒකාධිපති ව්‍යවස්ථාව ගෙනඑමින් විධායක ජනපති ක්‍රමය හඳුන්වා දුන්නේය. මෙම ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරන ප්‍රතිසංස්කරණ නොගැලපෙන බව පැහැදිලිය. ගතවූ දශක හතරක කාලය තුළ මෙම ව්‍යවස්ථාවට ගෙන ආ සංශෝධන දහ නවයෙන් තුනක් හැරෙන්නට සෙසු සියල්ල ජනතාවාදී නැත. දහතුන් වන, දාහත් වන හා දහනව වන ව්‍යවස්ථා සංශෝධන හැරෙන්නට සෙසු සංශෝධන මගින් සිදුවූයේ පාලකයා හා ඔහුගේ පක්ෂයේ බලය තහවුරු වීමය. දාහත් වන සංශෝධනය මගින් ජනතාවට ලැබුණු ජයග්‍රහණ සියල්ල දහඅට වන ව්‍යවස්ථා සංශෝධය මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා කණපිට හැරවූයේ තමන් වෙත තව තවත් බලය ළඟා කර ගනිමිනි. පවතින ව්‍යවස්ථාවට අණ්ඩ දැමීමෙන් එක් ප්‍රශ්නයක් යටපත් වන විට තවත් ප්‍රශ්නයක් මතුවන තත්ත්වයක් දක්නට ලැබුණු අතර නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව බරපතළ ලෙස පැන නැඟීමට එය හේතුවක් විය.

රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවීම යන කරුණු සම්බන්ධව දෙමළ සන්ධානය ඇතුළු සියලු පක්ෂ ගැටලුවකින් තොරව එකඟතාවන්ට එළඹ තිබෙන බව අතුරු වාර්තාව අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මෙම කරුණු විකෘති කර ජනතාව නොමග යැවීම පිණිස පිරිසක් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම බලය පිළිබඳ උමතුවෙන් මිස රට ගැන හැඟීමකින් නොවන බව අප තේරුම් ගැනීම වැදගත්ය. රට ගැන නොසිතා බලය පිළිබඳව පමණක් සිතන දේශපාලන සංස්කෘතියක් පවතිත්දී ජනතාව ජාති, පක්ෂ හා ආගම් බේදයෙන් තොරව එක‍ට එකතු කර එක් ගමනක් යෑම අසීරුය. මෙවැනි දේශපාලන සංස්කෘතියක් මතුවීම සඳහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ප්‍රතිපාදන සපයා තිබේ. මෙය වෙනස්කර ගැනීමෙන් යහපත් වූ දේශපාලන ගමනකට මාර්ගය සැලසෙන බව දන්නා බල ලෝභි දේශපාලනඥයන් කිහිප දෙනකු මෙම වැඩිපිළිවෙළ අවුල් කිරීමට පියවර ගනිමින් සිටිති. ඊට ඇතැම් භික්ෂූන් වහන්සේගේද සහය ලැබී තිබීම ඇත්තෙන්ම කණගා‍ටුවට කරුණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක් තවමත් සකස් නොමැතිව තිබියදී ව්‍යවස්ථා බිල්ලෙක් මවන්නට කරන උත්සහය දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. වර්ග වාදයෙන් බලයට පැමිණීමට උත්සාහ කරන දේශපාලනඥයන් විසින් මවා පෙන්වන බිල්ලන්ට අවර ගනයේ ජනමාධ්‍ය ආයතන හුස්ම සිටී. රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නාවූ සියලු මහජන නියෝජිතයින් පිළිගෙන තිබියදී අද වනවිට මුලින් නව ව්‍යවස්ථාව වෙනුනේ පෙනී සිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුද හොරගල් අහුලන්නට පටන් ගෙන සිටිති. ඒ තුළ මුළුමනින්ම දක්නට ලැබෙන්නේ දේශපාලන අවස්ථාවාදය මිස වෙනකක් නොවේ.

අවංක වුවමනාව

එක්සත් ජාතික පක්ෂයද නව ව්‍යවස්ථාව ගෙන ඒම පිණිස අවංකව කටයුතු කළ බවක් පෙනෙන්නේ නැත. යහ පාලන ආණ්ඩුව බලයට පත්ව මේවන විට වසර හතරකට ආසන්න කාලයක් ගතව තිබේ. මුල් කාලය තුළ කළ යුතුව තිබූ දෙය අවසන් භාගයේ කිරීම සඳහා ඉඩ පවතින්නේ ඉතා අවම මට්ටමකය. වත්මන් පාර්ලිමේන්තුව තුළින් නව ව්‍යවස්ථාවක් සඳහා තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට හැකිවේ යැයි සිතිය නොහැකිය. වත්මන් ක්‍රියාකලාපය තුළින් ඒබව පැහැදිලිව තේරුම් ගැනීමට පුළුවන.

රටට අවශ්‍ය බෙදී සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව එකතු කරන ව්‍යවස්ථාවකි. අවස්ථාවාදී දේශපාලනඥයින් හා ඔවුන්ට ආවඩන භික්ෂූන් වහන්සේලා අද ව්‍යවස්ථාව පිළිබඳ බිල්ලන් මවමින් කරන්නේ තව තවත් ජනතාව බෙදීමය. සියලු සිංහලයන් සිංහලුන් නොවන්නා සේම සියලු දෙමළුන් දෙමළද නොවන බව මහාචාර්ය අමරදාස ලියනගමගේ මහතා වරක් ප්‍රකාශ කළේය. එය සත්‍යයකි. අද සියලු ජාතීහු එකිනෙකට මිශ්‍රව සිටිති. සියලු ජන කොටස්වලට තමන්ගේය කියා දැනෙන ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම අපේ වගකීමය. එක් ජන කොටසක් අමතක කර හෝ ඔවුන්ට අසාධාරණයක් කරමින් ව්‍යවස්ථාවක් සකස් කිරීම පවතින ප්‍රශ්න තවත් උග්‍ර වීමට හේතුවනු ඇත. දේශපාලනඥයන්ට අවශ්‍යව තිබෙන්නේ රටේ ප්‍රශ්න විසඳීමට පෙර පක්ෂ වල ප්‍රශ්න විසඳා ගැනීමටය. ගෙන් ඒමට කටයුතු කරන බව කියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද දැන් එහි ගොදුරක් බවට පත්ව තිබේ.

අවසන් ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ සකස් කර නොමැති අවස්ථාවක රට බෙදන, බුද්ධාගමට හිමි තැන නැති කරන ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට කරන ප්‍රකාශ හුදු දේශපාලන වාසිය සඳහා කරනු ලබන ඒවා බව අප තේරුම් ගත යුතුය. ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට පෙර ඒ පිළිබඳ ජනතාව නිවැරදි ලෙස දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වන ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ගියහොත් ඊට ජනතා අනුමැතිය ලැබෙනුයේ ද ලබා ගත හැක්කේ ද එවිටය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ පිරිසට අවශ්‍යව තිබෙන්නේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන ඒම වලක්වා ගැනීමටය. ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ එයට විරුද්ධව ඡන්දය දීමෙන් ඔවුන්ගේ ඡන්ද පදනමට බලපෑමක් වන බව දන්නා නිසා ඔවුන් උත්සාහ කරන්නේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියද වළක්වා ගැනීමටය. ඔවුන් එය කරන්නට පසුබිම සකස් කර ගනිමින් සිටින්නේ සිංහල බෞද්ධ ජන විඥානයට කතා කරමිනි. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව හා බෞද්ධාගමට හිමි ආරක්ෂාව අහිමි කෙරෙන බව දැක්වෙන කතා කරළියට පැමිණෙන්නේ එම පදනම නිසාය. කවර අරමුණක් පෙරදැරිව ව්‍යවස්ථා විරෝධීන් කටයුතු කළද, අලුත් ව්‍යවස්ථාවට අකුල් හෙළීම යනු රටේ අනාගතයට අකුල් හෙළීමකි.


නව අදහස දක්වන්න