තිරසර දැක්මේ හරිත නගරය | දිනමිණ

තිරසර දැක්මේ හරිත නගරය

වසන්ත ප්‍රිය රාමනායක

ලග්ගල නව නගරය ඒ හා සමාන අනෙක් නගරවලට සාපේක්ෂව අංගසම්පූර්ණ දැවැන්ත නගරයකි. මහා විද්‍යාල, කනිටු විද්‍යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වෙළෙඳ සංකීර්ණ, මහජන පොළ, නව රෝහල, පොදු ක්‍රීඩාංගණ, බස් නැවතුම් පොළක්, තැපැල් කාර්යාලයක් හා බැංකු ආදී වශයෙන් නගරයකට අවශ්‍ය සියලු පහසුකම්වලින් ලග්ගල සමන්විතය.

අපේ ඉතිහාසයේ යුග සීමා ඉක්මවූ සොබා දහමේ නිමැවුම්ද, මිනිස් ශ්‍රමය මුසුවූ නිමැවුම් ද අතර මහවැලි ගංගාව කැපී පෙනේ. එය ඉන්දියාවේ ගංගා නදී මෙන්ම ශුද්ධ ජලයෙන් යුක්ත වූ පූජනීය ගංගාවක් ලෙස මෑත යුගයේ පවා ගැමියන් විශ්වාස කළ බැව් පෙනේ.

දිවයිනේ භූමිභාගයෙන් හයෙන් එකක පමණ ප්‍රදේශයකින් යුත් මහවැලි ගංගා මණ්ඩලය විශාලත්වයෙන් ශ්‍රී ලංකාව පුරා ව.කි.මීටර් 10,448ක් (ව.සැ. 4034) වඩා වැඩි ප්‍රදේශයක පැතිර ඇත. ශ්‍රී ලංකාවේ එක් ගංගාවක් ආශ්‍රිත වැඩිම පෝෂක ප්‍රදේශය අයත් වන්නේද මහවැලි ගංගාවටය. මහවැලි මහ සැලැස්ම නිමවූ විට එහි දියවර පැතිරෙන දිස්ත්‍රික්ක අතර අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක මෙන්ම වව්නියාව, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්ක ද අයත් වෙනු ඇත.

මේ වනවිට පුරා වසර 40ක් තිස්සේ ක්‍රියාත්මක වී ඇති මහවැලි මහ යෝජනා ක්‍රමයේ අවසන් ව්‍යාපෘතිය ලෙසින් සැලකුණේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරයයි. එහෙත් පසුගිය සමයේ නොසලකා හරින ලද්දේද මෙම ව්‍යාපෘතියම බව පෙනේ. එසේම බොහෝ අය සිතාගෙන සිටියේ ද මධ්‍ය කඳුකරය ආශ්‍රිත මහ වේලි නිමවීමත් සමග මහවැලි ව්‍යාපාරයේ වැඩ කටයුතු අවසන් වී ඇති ලෙසිනි. එදා කඩිනම් මහවැලිය ලෙසින් හැඳින්වූයේ ද මේ වේලි පහ ආශ්‍රිත සංවර්ධනයයි. රජරට සිට උතුර දක්වාද, නැගෙනහිරින් ත්‍රිකුණාමලය මඩකලපුව දක්වාද, දැවැන්ත කෘෂි ප්‍රදේශ ජලයෙන් තෙත් කරනු ලැබීමට නියමිතව පැවතියේ මහවැලියේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම තුළිනි. එහෙත් විදුලියට ප්‍රමුඛත්වය දෙමින් ඇරඹි කඩිනම් මහවැලිය ගොවිතැනට හා බීමට ජලය පිළිබඳ කාරණය දෙවැනි තැන ලා තිබුණි.

රජරට ගොවිතැන

රජරට ජනතාවට ගොවිතැනට හා බීමට ජලය ලැබෙන මහවැලි මහ සැලැස්මේ අවසන් යෝජනා ක්‍රමය ලෙසින් සැලකෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය සැලසුම් අදියරෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට පටන්ගනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙනි. එතුමා පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙසින් පාර්ලිමේන්තුවට පත්වූ දා සිටම මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය ඇරඹීම සම්බන්ධයෙන් නැඟූ හඬ ක්‍රියාවට නැගෙන්නේ 2005 පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගයේය. අවසනේ එහි සක්‍රීය ක්‍රියාකාරිත්වය ඇරඹෙන්නේ 2015 ජනවාරි 8 වැනිදායින් පසු මෛත්‍රී යුගයේදීය. එදා මෙදාතුර මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරයේ මූලික වේලිවල කාර්යයන් අවසන් කිරීමට මෙන්ම මෛත්‍රී දුටු සිහිනය ප්‍රායෝගිකව නිම කිරීමට වසර 4ක කාලයක් තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් වත්මන් රජයට හැකිවීම රටේ සංවර්ධනය පැත්තෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයකි. එසේම රටේ කෘෂි ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරකි.

මෙය දැවැන්ත පියවරක් වන්නේ උතුර, රජරට හා වයඹ උතුර කලාපවල වියළි කර්කශක බව හා එම ප්‍රද්ශවල ජීවත්වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ප්‍රබල බලපෑමක් කිරීමට ‍මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය සමත්වීම නිසාය. මෙහි ඇළ මාර්ග නිමවී යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතව ඇත්තේ 2023 දීය.

මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය මගින් රඳවාගනු ලබන අක්කර අඩි 660,000 පමණ වන ජල ධාරිතාවෙන් 90%ක්ම වෙන්වන්නේ රජරට, උතුර නැගෙනහිර හා වයඹ උතුර ජනතාවගේ කෘෂි හා පානිය ජල අවශ්‍යතා වෙනුවෙනි. මෙය මහවැලි මහ සැලැස්මේ අනෙක් ව්‍යාපෘතිවල දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. මෙමඟින් පෝෂණය වන ලොකු හා කුඩා වැව් ගණන 1601කි.

මේ සා විශාල දැවැන්ත යෝජනා ක්‍රමයක් මේ මහ පොළොවේ ස්ථාපිත කිරීමට යම් සුවිශාල ප්‍රදේශයක් ජලයෙන් යට කළ යුතුය. එසේම රට වෙනුවෙන් එසේ ජලයෙන් යටවන ප්‍රදේශවල ජීවත්වන ජනතාවට යම් කැපකිරීමක් කිරීමට සිදුවේ. වැඩිවශයෙන්ම එම කැප කිරීම කිරීමට සිදුවූයේ පැරණි ලග්ගල නගරය ආශ්‍රිතව එම නගරයෙන් සේවා පහසුකම් බුක්ති විඳින ජනතාවටය. ඊට හේතුව කළුගඟ ජලාශයේ ප්‍රධාන වේල්ල ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ ඉදිවීමයි. එහි දිග මීටර් 618කි. උස මීටර් 68කි. මේ නිසා ලග්ගල නගරය සම්පූර්ණයෙන්ම වාගේ ජලාශයට යටවන හෙයින් නව නගරයක් ඉදිකිරීමට සිදුවිය.

මේනිසා ඉවත් කරනු ලැබූ පවුල් 3000ක් කළුගඟ පහළ නිම්නයේ පදිංචි කිරීමට සිදුවිය. ඒ සමඟම අංගසම්පූර්ණ නව නගරයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීමට මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරයට අයත් ප්‍රධාන කාර්යයක් වී තිබුණි. විවෘත කිරීම් සියයකට අධික ප්‍රමාණයක් සමගින් ඊයේ (2019 ජනවාරි 8) දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත වූයේ එම නව ලග්ගල නගරයයි. නැතිනම් මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය දැයට තිළිණ කරනු ලබන නව නගරයයි. ඊට අදාළ විවිධ විවෘත කිරීම් ඊයේ දිනයේම මැති ඇමතිවරුන් අතින් සිදු විය.

ජනපති පදවිප්‍රාප්තිය

ජනාධිපති පදවිප්‍රාප්තියට සිව් වසරක් සපිරෙන දින රටේ ප්‍රධාන නගරයක් විවෘත කිරීමට ලැබීම ද සුවිශේෂ සිදුවීමකි. මෙය මෛත්‍රීපාල සිරිසේන දැක්මට අදාළ තිරසර සංවර්ධන කතිකාවතේ හරිත නගරයක් වීම තවත් විශේෂත්වයකි.

මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය සඳහා අත්පත් කරගත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 4148කි. මින් පෞද්ගලික ඉඩම් හෙක්ටයාර් 631ක් අයත් වේ. ජලාශ දෙකට යටවන ග්‍රාම නිලධාරි වසම් 23ට අයත් නිවාස ගණන 3500කි. නිවසක් අහිමි වන එක් පවුල් ඒකකයක් සඳහා ගොඩ ඉඩම් අක්කර 1/2ක් හා මඩ ඉඩම් අක්කර 1 1/2ක් ලබා දී තිබේ.

හෙක්ටයාර් 75ක වපසරියකින් යුත් නවීනතම පහසුකම්වලින් හෙබි ලග්ගල නව නගරය ඉදිවන්නේ ජලාශයට යටවන පැරණි නගරය හා ඒ ආශ්‍රිතව ජීවත්වූ පවුල් 3000ක් වෙනුවෙනි. නගරය උදෙසා පමණක් කරනු ලබන සමස්ත ආයෝජනය රු. මිලියන 4500කි. මෙහි රාජ්‍ය ආයතන සඳහා පමණක් ගොඩනැගිලි 112ක් ඉදිකර තිබෙන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රු. මිලියන 2043කි.

ලග්ගල නව නගරය ඒ හා සමාන අනෙක් නගරවලට සාපේක්ෂව අංගසම්පූර්ණ දැවැන්ත නගරයකි. මහා විද්‍යාල, කනිටු විද්‍යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, වෙළෙඳ සංකීර්ණ, මහජන පොළ, නව රෝහල, පොදු ක්‍රීඩාංගණ, බස් නැවතුම් පොළක්, තැපැල් කාර්යාලයක් හා බැංකු ආදී වශයෙන් නගරයකට අවශ්‍ය සියලු පහසුකම්වලින් ලග්ගල සමන්විතය.

පැරණි නගරයේ සිට මාතලේ නගරයට ගමන් කිරීමට මෙතෙක් ගතවූ කාලය පැය 4 1/2කි. එසේම දඹුල්ලට පැය 4කි. නව ලග්ගල නගරය එම ගමන් කාලය පැය 1 1/2කට සීමාකර ඇත. එමෙන්ම දඹුල්ල වාණිජ නගරයට පැයකින් ළඟා විය හැකි අයුරින් නව මාර්ග පද්ධතියකින් නව ලග්ගල නගරය සමන්විත වේ. දඹුල්ල, මාතලේ, මොරගහකන්ද, වස්ගමුව, ගිරාඳුරුකෝට්ටේ සිට මහියංගණය දක්වා පහසුවෙන් ළඟාවිය හැකි මාර්ග පද්ධතියක් මගින් ලග්ගල නව නගරය දිවයිනේ අනෙක් ප්‍රදේශ සමග කෙටි කාලයකින් සම්බන්ධ වීමට නියමිතය. මේ අනුව මොරගකන්ද කළුගඟ ව්‍යාපාරය නිසා සිය වාසස්ථාන සමඟින් පැරණි නගරය අහිමිවන ලග්ගල ජනතාවට ඊට වඩා පන්සිය ගුණයකින් යුත් නව නගරයක් දායාද කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් වත්මන් රජයට හැකිවී තිබේ. මෙහි ඉදිකිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විටින් විට පෞද්ගලිකවම මැදිහත්වීම නිසා ජනතාවගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නව නගරය සැලසුම් කිරීමට හැකිවීම එම ජනයා ලැබූ භාග්‍යයකි.

වන්දි මුදල්

එසේම ලග්ගල පැරණි නගරය ඇතුළුව ඉඩම් අහිමි වූ ජනතාවට මේ රටේ වැඩිම තක්සේරුවක් සහිතව වන්දි මුදල් ලබාගැනීමට ද හැකිවී තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල රු. කෝටි 1100කි. නව ගම්බිම්වල පදිංචිවන ජනයාට එහි වගාදිගා කරමින් යමක් උපයාගන්නා තුරු නව නගරය අවට පදිංචි වූ පවුල්වලට ආධාර කිරීමට ද මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය සමත්වී තිබේ. රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් සිය ගම්බිම් පරිත්‍යග කිරීමට කැපවූ ජනතාවට කිසිදු අඩුවක් නොවන අයුරින් පමණක් නොව සිය දිවියේ ඉතිරි කොටස ගෙවීගිය කාලයට වඩා වාසනාවන්ත අයුරින් ගෙවා දැමීමට හැකි පසුබිමක් සැකසී තිබීම මෙහි ඇති අනෙක් විශේෂත්වයයි. එය ජනයා ඉවත් කරනු ලබන ඉදිරි සංවර්ධන ව්‍යාපෘතිවලට ද ආදර්ශයකි.

නගරයේ එකතුවන කැළිකසළ මඟින් කාබනික පොහොර හා ජීවවායු නිපදවීමට අවැසි තාක්ෂණික සහාය පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් ලබාදී ඇති පසුබිමක විදුලිය නිපදවීම සඳහා සූර්ය බලශක්තිය උපයෝගී කරගැනීමේ වැඩපිළිවෙළක් ද ලග්ගල නව නගරය ඇසුරින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද දැනගැනීමට තිබේ.

මේ අනුව මෙවර ජනපති පදවි ප්‍රාප්තියේ සිව්වැනි වසර සැමරෙන්නේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය මඟින් බිහිවන හරිත නගරයක් නිර්මාණය කරමිනි. එය 2015 ජනවාරි 8 පෙරළියෙන් බලාපොරොත්තු වූ තිරසර සංවර්ධන ඉලක්ක වෙත ළඟාවීමකි.


නව අදහස දක්වන්න