බණ්ඩාරනායක යුගය මේ රටේ වෙනස්කම් රැසක් සිදුකළ පර්වර්තන යුගයක් | දිනමිණ

බණ්ඩාරනායක යුගය මේ රටේ වෙනස්කම් රැසක් සිදුකළ පර්වර්තන යුගයක්

මහින්ද අලුත්ගෙදර

දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ යුගය රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකළ ශ්‍රී ලාංකීය ජන සමාජයේ පර්වර්තනීය යුගයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

එය සමාජ ප්‍රගමනයේ එක් යුගයකින් නව යුගයක් කරා ගමන් කළ සංක්‍රාන්ති කාලයක් වූ බව පෙන්වා දුන් ඒ මහතා වැඩකරන පොදු ජනතාවගේ හදවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි යන තේමාව ඔප්පු කරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ තුන් අවුරුදු පාලන කාලයේ අපේ රටට සිදුකළ අමිල සේවය ජන හදවත් තුළ සදාකාලිකවම පවතින බවද පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ, ගාලුමුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියස දී ඊයේ (08) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවය අමතමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සැමරුම් උත්සවය පැවැති අතර මේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිවරයා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියස මල් කළඹක් තබා සිය ආචාරය පිරිනැමීය.

එහිදී වැඩිදුරටත් දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. එතුමාගේ ජීවිතය ගැන අධ්‍යයනය කරන පිරිසක් අද අපේ රටේ ඉන්නවා. 1951 වසරේ දී ඒ මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉවතට පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළ දවසේ සිට මේ රටේ වාමාංශික ප්‍රගතිශීලී ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා එතුමා අරගෙන ගිය ක්‍රියාදාමය අපේ ජීවිතවලට, දේශපාලඥයන්ට, අනාගත පරපුරට විශාල අත්දැකීම් සමුදායක් උරුමකර දී තිබෙනවා. එදා තිබුණ ලිබරල්වාදයෙන් ඉගෙන ගත්, සමාජවාදයෙන් ඉගෙන ගත් පාඩම් සමඟ අන්ත දෙක මැදින් යාහැකි මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්ත ජාතිකවාදී, ස්වදේශකවාදී ව්‍යාපාරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ආරම්භ කළා. ලිබරල්වාදයෙන් ගන්නට හැකි ප්‍රජාතන්ත්‍රවාදය වගේම මිනිස් අයිතිවාසිකම් එතුමා අපේ දර්ශනයට ඇතුළත් කළා.

ඒ වගේම සමාජවාදයෙන් ගන්න පුළුවන් සමානාත්මතාව, දුගීබව තුරන් කිරීම එතුමා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම ප්‍රතිපදාව තුළට ඇතුළත් කළා. ඒ නිසාම තමයි එක් පැත්තකින් අද ගොවි පනත වැනි පනත් ඒ මහතාගේ ආණ්ඩුවෙන් ගෙනවිත් අපේ රටේ දුප්පත් මිනිසුන්ට අවශ්‍ය කරන ශක්තිය ලබාදුන්නා. එතුමාගේ ආණ්ඩුව සමයේ සිදුවුණ වර්ජන රැල්ල මර්දනය කරන්න එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා උත්සාහ කළේ නැහැ. ඉතාම සාමකාමී ලෙස ඒවාට මුහුණ දුන්නා. ඒ නිසා අපිට ඉගෙන ගන්න ගොඩක් දේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ ජීවිත කාලයෙන් අපිට ලැබී තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙක්. ඒ නිසා තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය එතුමා අපිට උගන්වා තිබෙන්නේ. ඒ නිසාම ඒ කාලයේ දී සංක්‍රාන්ති සමයක් අපිට තිබෙනවා කියා කිවුවා.

ලෝකයේ ලිබරල්වාදීන් නොමැති නම් තිබුණු ආර්ථික ක්‍රමවේදයෙන් ඉගෙනගත් ස්වදේශික ව්‍යාපාරයක් ආරම්භ කර එතුමා එම ක්‍රියාදාමය රැගෙන ගියා. මේ රටේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ක්‍රියාදාමය එතුමා ගෙනගියා වගේම මිය යන්නට ටික දිනකට පෙර දෙමළ ජනතාව වෙනුවෙන් පනත් සම්මත කර සාධාරණත්වය ඉටුකරන්න අවශ්‍ය පියවර ගත්තා. අපිට එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ ගුණ සුවඳ අපේ ජීවිත කාලයේම හදවත් තුළ රැදෙයි කියා විශ්වාස කරනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි සියලු දෙනාම එකට එකතු වෙලා එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ගෙනගිය ක්‍රියාදාමය සොයා යන්න මෙය හොඳ අවස්ථාවක් කර ගනිමු. අපේ පක්ෂය තවදුරටත් ආරක්ෂා කරගත යුතු වෙනවා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ගිය අඩිපාරේ යමින් අපේ පක්ෂයේ ඉදිරි ගමන ආරම්භ කරමු.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නැදගමුවේ විජය මෛත්‍රී නාහිමි-

අද වනවිට අපේ රටේ තරුණ පරපුරට එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නම අමතක වී තිබෙනවා. ඒ මහතා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කළ සේවය කිසිදා අමතක කළ නොහැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තියක් නැහැ. අපි ළඟ තමයි ඒ ප්‍රතිපත්ති තිබෙන්නේ කියා එක්තරා අවස්ථාවක විරුද්ධවාදීන් ප්‍රකාශයක් කර තිබෙනවා. ඔවුන් එම ප්‍රතිපත්ති විශ්වාස කළා. අද රටේ ඉහළ තනතුරු දරන සියලු දෙනාටම ඉහළ තනතුරුවලට එන්න පරිසරය උදාවුණේ බණ්ඩාරනායක මහතා නිසයි. 1948 වසරේ දී අපි නිදහස ලැබුවත් අපි එංගලන්තයට බැඳී සිටියා. යුද කඳවුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා අපි දැක්කා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශීයත්වය අගය කරමින් ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සලසන්න උත්සාහ කළා.

මහජන බැංකුව, ලංකා බැංකුව සාමාන්‍ය ජනතාවගේ ගනුදෙනු වෙනුවෙන් විවෘත කළා. මෙලෙස විශාල සේවාවක් රට වෙනුවෙන් සිදුකළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා සෑම අයෙක් විසින්ම සිහිපත් කළයුතුයි. අපි වැනි පිරිස්වලට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යාහැකි පරිසරයක් නිර්මාණය කළා. 1956 න් පසුව අපේ රටේ සංස්කෘතික අමාත්‍යාංශයක් ඇතිකළා. එතුමා මියගියත් එම සේවා ඉදිරියට සිදුකරගෙන යාහැකි තත්ත්වයක් ඇතිකර තිබෙනවා යනුවෙන් පැවසූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට මල්දමක් පළඳවා පුෂ්පෝපහාර පුද කළේය. නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයීය දරු දැරියන් විසින් බණ්ඩාරනායක ජන්ම දින සමරු ගීතය ඉදිරිපත් කළහ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, විජිත් විජයමුණි සොයිසා, ශාන්ත බණ්ඩාර, ෆයිසර් මුස්තාෆා, දුමින්ද දිසානායක, හිටපු ඇමැතිවරුන් වන අතාවුද සෙනෙවිරත්න, ජීවන් කුමාරතුංග, බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය, සුනේත්‍රා බණ්ඩාරනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස් 1ක් ඇත

ethumage darsanayen desapalanika darsanaya miniisun thulin wenas wuweya!

නව අදහස දක්වන්න