සුනාමි ගම්මානයේ අඩුපාඩු නිමක් නෑ | දිනමිණ

සුනාමි ගම්මානයේ අඩුපාඩු නිමක් නෑ

අක්මිමන බඹරගොඩ කටුපොල්කැල්ල ස්ලැස්බර්ග් සුනාමි ගම්මානයේ නිවාසවල වැසිකිළි පද්ධති වර්ෂා දිනවලදි උතුරායාම නිසා මෙම ගම්මානයේ පදිංචිකරුවන් ගැටලු රැසකට මුහුණ දි සිටිති.

මෙම සුනාමි ගම්මානයේ නිවාස ඉදිකොට ඇත්තේ වගුරුබිමක් ගොඩ කිරිමෙන් බව මෙම ගම්මානයේ පදිංචිකරුවෝ පවසති. වැසිකිළිවළවල් සඳහා යොදා ඇත්තේ ප්ලාස්ටික් ටැංකි බවද ඔවුහු පෙන්වා දෙති. වගුරුබිමක් නිසා ජලය උරා ගැනිම ඉතා සෙමින් සිදුවන නිසා වැසිකිළිවළවල් උතුරා යන බවද ගම්මු පවසති.

වර්ෂා දිනවලදි මෙම තත්ත්වය දැඩිලෙස බලපාන බව පවසන මෙහි පදිංචිකරුවන් මේනිසා දැඩි දුර්ගන්දයක් වහනය වන බව පවසති. ඇතැම් වැසිකිළි වල බට කාණු පද්ධතිවලට හරවා තිබේ. මේ නිසා පාරිසරික වශයෙන්ද ගැටලු රැසක් ඇතිවී තිබේ. මෙකි ගම්මානයේ පදිංචිකාරියක් වන මහේෂිකා මධුවන්ති මහත්මිය මෙසේ කිවාය.

මෙම සුනාමි ගම්මානයේ නිවාස 79ක් තියෙනවා. වගුරු බිමක් ගොඩකරලා තමයි මෙහි නිවාස ඉදිකරලා තියෙන්නේ. වාර්ෂාදිනවලදී මේ ගම්මානයේ පාරක යන්න බැහැ. මාර්ග පද්ධතිය අබලන්වෙලා. නිවාස ප්‍රමිතියකට හදලා නැහැ.

උළුවහු ජනෙල් දිරාපත්වෙලා. නිවාස දෙකකට වැසිකිළි වළවල් සඳහා යොදා තියෙන්නේ එක් ප්ලාස්ටික් ටැංකියක්. යමක් කමක් තියෙන අය වැසිකිළිවළවල් සඳහා සිලින්ඩර යොදලා හදාගෙන තියෙනවා. සිලින්ඩර දැම්මත් වැසිකිළිවළවල් උතුරා යනවා. වගුරු බිමක් නිසා ජලය උරා ගන්නේ නැහැ. මදුරුවන් බෝවෙනවා. සෞඛ්‍ය හා පාරිසරික වශයෙන් ගැටලු රැසක් මතුවෙලා . කාණු පද්ධතිය අක්‍රමවත්. අඩුම තරමින් වීදී පහන්වත් දමලා නැහැ.

මේ පිළිබද අක්මිමන ප්‍රා දේශිය ලේකම් පුෂ්පිකා තුෂාරි ජාගොඩ මහත්මියගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවාය.

ගම්මානයේ පදිංචිකරුවන් කිහිප දෙනකු ඇවිත් ඔය ගැටලුව මටත් ඉදිරිපත් කළා. පළාත් සභාව මගින් වැසිකිළි ආධාර ලබාදිමේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා යොමුකරවීමට තමයි බලාපොරොත්තු වන්නේ. මදුරු උවදුර පාලනය කරන්න වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. කාණු පද්ධති කිහිපයක් අලුත්වැඩියා කරලා තියෙනවා.

අක්මීමන බඹරගොඩ කටුපොල්කැල්ල

සටහන සහ ඡායාරූප ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

 

නව අදහස දක්වන්න