විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් කතානායක ස්ථාවරයේ වෙනසක් නෑ | දිනමිණ

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් කතානායක ස්ථාවරයේ වෙනසක් නෑ

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් කතානායකවරයා දැරූ ස්ථාවරයේ වෙනසක් නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට ඊයේ (8) දැනුම් දුන්නේය.

විපක්ෂ නායක ධූරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ගෙන ඇති තීන්දුවෙන් පසුව පැන නැගුණු කරුණු ගැන කතානායකවරයා ගැඹුරින් අධ්‍යයනය කර ඇති බවත් නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.

මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරන බවට එම සන්ධානයේ ලේකම්වරයා විසින් ලිපියක් එවා ඇතැයි ද ඒ අනුව විපක්‍ෂ නායකවරයා ලෙස රාජපක්‍ෂ මහතා පිළිගන්නා බවට ද කතානායකවරයා තීරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් විධිවිධානවලට අනුකූලව එම කරුණු කතානායකවරයාගේ බලසීමාවට අදාළ කාර්යක් නොවන බවත් කතානායකවරයා තීරණය කර ඇති බව නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.

මෝල්ටාවේ පවත්වන කතානායකවරුන්ගේ සමුළුවට සහභාගීවීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා පිටව ගොස් ඇති නිසා කතානායකවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඉහත නිවේදනය සභාවට දැනුම් දෙමින් නියෝජ්‍ය කතානායකවරයා ඒ බව කීය.

එමෙන්ම මෙම කරුණ සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් අනතුරුව කතානායකවරයා තීරණය කර ඇත්තේ යම් මන්ත්‍රීවරයකුගේ අසුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධානයන්ට අනුකූලව නීතිය ක්‍රියාත්මක වීම මගින් අහිමිවීම පිළිබඳ හෝ යම් මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමිවීම, ඉල්ලා අස්වීම පිළිබඳ වන සිද්ධිමය කාරණා හෝ තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් විධිවිධානවලට අනුකූලව කථානායකවරයාගේ බලසීමාවට අදාළ කාරණයක් නොවන බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නිශ්චය කිරීමේ බලය අධිකරණය සතු කාර්යක් වන බව ද කතානායකවරයා තීරණය කර ඇති බව කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බව නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.එසේම, මෙම කරුණ පිළිබඳ සොයා බැලීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනාවක් භාර දී තිබේ‍‍.

එම කරුණ පිළිබඳ ද කථානායකවරයා විසින් සලකා බලා ඇති අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රී කණ්ඩායමක් විසින් එහි සුළුතරයක් නියෝජනය කරන කණ්ඩායමක, අභ්‍යන්තර කටයුතු පරීක්ෂා කර බැලීම සඳහා වන යෝජනාවක් පිළිගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට එකඟ නොවන සහ පටහැනි වන බවට ද කතානායකවරයා දැනුම් දී ඇති බවත් නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.

නව අදහස දක්වන්න